දවස් 365 ක් ගෙවී තවත් දවස් 365 ක් තියෙන නව වසරක් උදාවන තැන මිනිසුන්ගේ සිතේ බොහෝවිට ඇත්තේ සුබවාදී බලාපොරොත්තු ගොන්නකි. නමුත් ශ්‍රී ලාංකික අපට නම් ඇත්තේ 2024 පිළිබඳ බදු සහන ලැබෙනවා වෙනුවට තිබෙනවාටත් වඩා බදු ගසන බව දන්නා නව වසරකි. මේ අනුව ගෙවුණු 2023 ට වඩා එළැඹී 2024 ලෙහෙසි නොවනු ඇත.
15% ක තිබෙන වැට් බද්ද මේ ජනවාරියෙ සිට 18% ක් දක්වා ඉහළ යන බව රජය ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසරේ අග භාගයේදීය. එම ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ ජනතාවගේ ඡන්දයෙන් ජනතාවට සේවය කරන්නට දියවන්නාවට ගිය ජනතා සේවකයන්ට මිනිසුන්ගේ ජීවන වියදම ගැන වගේ වගක් නොතිබුණු බවය. එසේ වගක් හෝ තිබුණා නම් වැට් බද්ද වැඩි කිරීමේ යෝජනවාට ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ අත ඉස්සෙන්නට විදිහක් කොහෙත්ම නැත.
IMF ණය වාරිකය ලබාගැනීම වෙනුවෙන් ජනතාව බිල්ලට දුන් ආණ්ඩුවට හොඳ හැටි සැලකීමේ බලය 2024 ජනතාවට විටින් විට ලැබෙනු ඇත. ඒ නිසා මුල අමතක නොකළ යුතුය. මේ අනුව 2024 යනු කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් නොව බොහෝ පිරිසකට හාමතේ සිටින්නට සිදුවන වසරක් වනු ඇත.
මෙවන් අනාගතයක් තුළ ඕනෑම පුද්ගලයෙකු මාසිකව හම්බ කරන මුදලෙන් රු. 20000 කට වඩා වැඩි මුදලක් වැට් බද්ද ලෙස ගෙවන්නට වන බව මූල්‍ය අංශ දැනටමත් පෙන්වා දී තිබේ. එවන් වටපිටාවක හම්බ කරන රුපියල පවා වියදම් කරන්නෙ කෙසේදැයි අප සියලු දෙනාම හදවතට වඩා මොළයට මුල් තැන දී සිතිය යුතුව ඇත.
වැට් බද්ද වැඩි කිරීමත් සමග මේ රටේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම වළකාලිය නොහැක. එහෙත් අප සියලු දෙනාට ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් භාණ්ඩ හා සේවාවල උදව් ලබාගත යුතුය. ඉදිරියේදී ඒවා ලබාගත යුත්තේ අත්‍යාවශ්‍ය නම් පමණක්ය. එසේ නොකරන්නේ නම් ජීවිතයේ ඇතිවන හදිසි රෝගබාධයකදී හෝ ආපදා තත්ත්වයකදී හෝ ඔබට මූල්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇත.
ඉදිරියේදී ජනතාවට කුසගිනි නිවා ගැනීමට ආහාරවේල සපයා ගැනීම විනා ජීවිතයට අවශ්‍ය විනෝදාස්වාදය, සංචාරය, දැනුම එකතු කරගැනීම වැනි දෑ සඳහා අමතර වියදමක් දැරීම සිහිනයක්ම වනු ඇත. විශේෂයෙන්ම බෙහෙත් මිල ඉහළ යෑම නිසා බොහෝ අසරණ රෝගීන් තව තවත් අසරණ වනු ඇත.
එම නිසා ආදරණීය මිනිසුනි, 2024 අභියෝගාත්මක වසරක් බව තේරුම් ගන්න. මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න. මූල්‍ය විනය ඇති කරගන්න. එසේ නොවන්නේ නම් 2024 වඩාත් දුෂ්කර වසරක් වනු ඇත. තමා හිසට තම අතමය සෙවණැල්ල යන්න නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න.