මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වලින් ප්‍රධානම තැනක් ගන්නා අවශ්‍යතාවය වන්නේ ජීවත් වීමට ඇති ස්ථානයක්. එනම් නිවසක්. හිසට වහලක් යන නමින්ද ව්‍යවහාරයේ භාවිත වන නිවස සතුටින් ජීවත් විය හැකි ස්ථානයක් වීම සැමගේ කායික මෙන්ම මානසික සුවතාවයට හා විවේකයට මහඟු ඔසුවක් ලෙසද හැඳින්විය හැකිය.නමුත් මෙම නිවසම මහත් වූ පීඩාකාරි ස්ථානයක් වන්නේද අපගේම හැසිරීම් මතය. වාස්තු ශාස්ත්‍රය තුළ මෙම හැසිරීම් දෝෂ මගහරිමින් නිවසට ධනය සහ වාසනාව ලැබෙන ක්‍රමවේදයන් මෙන්ම සුබ සංකේතයන්ද වාස්තු ශාස්ත්‍රය තුළ මනාවට පෙන්වා දී ඇත. මෙම ක්‍රමවේදයන් මඟින් නිවසක ශ්‍රියාවද සශ්රිකත්වයද වර්ධනය කර ගත හැකිය.
ප්‍රධාන දොර ඉදිරියෙන් තබන මල් සහිත ජල භාජනය
නිවසක ජලය සහ ධනය එකිනෙකට බැදී පවතී. මෙහිදී නිවසක ජලය කරාම තුළින් නිකරුනේ ගලා යාම අසුබ කරුණක් වේ. මෙය නිවසක ධන හානියට හා සමානය. ස්ථාවර ජලය නිවසක ධනය තැන්පත් කිරීමටත් අස්ථාවර ගලා යන ජලය එනම් නිකරුනේ ගලා යන ජලය නිවසක ධනය විනාශ කිරීමටත් හේතුවකි. මෙහිදී නිවසක ප්‍රධාන දොර ඉදිරියෙන් තබන මල් සහිත ජල බඳුන ස්ථාවර ජලය සංකේතවත් කරයි. නමුත් මෙම ජල බඳුන තැබීම කල්පනාකාරීව නිසි පරිදි කළ යුතුය.
කිසිම විටක මෙම ජල බඳුනේ ජලය කාන්දු නොවිය යුතුය. එමෙන්ම දිනපතා එහි ඇති ජලය ඉවත්කර නැවත පිරිසිදු ජලයෙන් පුරවාගත යුතුය. එමෙන්ම මෙම ජල බඳුනද නිරන්තරයෙන් පිරිසිදු කර ගත යුතුය. තවද මෙම ජල බදුන මහ පොළව සමග සම්බන්ධ වන මැටි භාජනයක් වීමත් එය දණ හිසට වැඩි උසකින් තිබීමත් වඩාත් සුදුසය. ජල බඳුන තුළ සුදු පැහැති මල් තැබීම සුදුසුය. නොකැඩුණු, පර නොවුනු පිචිච මල් මේ සඳහා ඉතාම සුදුසු ය. තවද මේ සඳහා පිණි දිය ස්වල්පයක් එකතු කිරීමත් මෙහි ඇති සාර්ථකත්වය වර්ධනය කිරීමට මහඟු පිටිවහලක් වේ.
මෙම ජල බදුන තැබීමේදී නිවසේ ඇතුලත සිට පිටතට පැමිණීමේදී වම් පසින් තැබිය යුතුය. නිවසක ස්ථාවර ජල මූලය පදනම් කරගෙන ධන ආකර්ෂණය වැඩි වීම සඳහා උපකාරී වේ. නිවසින් ගමන් කිරීමේදී බාධක දෝෂයත් ඇතිවන පරිදි ප්‍රධාන දෙර ඉදිරියෙන්ම මෙම ජල බදුන නොතැබිය යුතු අතර දකුණු දිශාවද නුසුදුසුය.
නිවසක ප්‍රධාන දොර ඉහළින් රදවන වී කරල් මිටිය
සශ්‍රීකත්වය මනාවට විදහාපාන වී කරල් මිටියද නිවසක ප්‍රධාන දොරට ඉහළින් තිබීම වඩාත් සුදුසුය. විවිධ වර්ගයේ කර්මාන්ත, සේවා සපයන ආයතන හෝ සංගම්වල ඇති ලාංඡනවල මෙම වී කරල් දෙකක් සංකේතවත් කර ඇත්තේද මෙහි ඇති සශ්‍රීක බව නිසාය. නිවැසියන් පිටත සිට නිවසට ඇතුළුවීමේදී මෙම පිරුණු වී කරල් මිටිය ඇස ගැටීම සිත තුළ ධනාත්මක හැගීම් වර්ධනය වීමට පිටිවහලකි.
නිවසන ඇසෙන සීනු හඬ (සුළන් සීනු, වින්ඩ් චයිම් සීනු)
වාස්තු ධ්වනිතභාවය ඇති කරවන මෙවලමක් ලෙස සීනුව හැඳින්විය හැකිය. මෙම සීනු හඬ එනම් ලෝහ ගැටෙන ශබ්ධය මගින් උද්යෝගය වර්ධනය වේ. සියුම් ආකාරයට නාද වන මෙම සීනු ශබ්ධය නිවසක ධන ආකර්ෂණයද වර්ධනය වීමට හේතු වන අතර මෙම සීනු රැදවිය යුතු දිශාවන්ද ඇත. එනම් වයඹ දිශාවේ මෙම සීනු රැදවීම මගින් නිවසට වාසනාව ලබාගත හැකිය. උතුරු දිශාව යනු ධනයට මූලික වූ දිශාවය.
මෙම දිශාවෙන් නැගෙන මෙම සීනු නාදය මගින් රැකියාවේ දියුණුව මෙන්ම නිවසට සෞභාග්‍ය ලඟාකර ගත හැකිය. මෙම මිහිරි සීනු හඬ මඟින් සිදුවන්නේ එම අදාල දිශාවන්වල ඇති ශක්තීන් වැඩි වශයෙන් උද්දීපනය කරවීමකි.මෙම සීනු වර්ගය හෝටල් ආදි ව්‍යාපාරික ස්ථාන වලද බහුලව භාවිත කරනු ලබන වාස්තු මෙවලමක් වේ.
නිවස තුළ අලංකාරයට තබන මල් භාජන
මෙහිදී නිවස තුළ අභ්‍යන්තර අලංකාරය වර්ධනය කිරීමට තබන මල් භාජනවල අදාල දිශාවන්ට මූලික වර්ණ සහිත මල් වර්ග තැබීම සුදුසුය. උතුරු දිශාවට නිල් පැහැති මල් වර්ගද, දකුණු දිශාවට රතු පැහැති මල් වර්ගද, බටහිර දිශාවට කහ පැහැති මල් වර්ගද සුදුසුය. නමුත් නිවස තුළ මල් භාජන තැබීමේදී අරලිය වැනි විස සහිත මල් වර්ග තැබීම නොකළ යුතුය. කෘමි සතුන්ගේ වුවද ආකර්ෂණය අඩු වූ මල් වර්ගයක් ලෙස සලකන මෙම අරලිය මල් නිවසක තිබීමද නුසුදුසුය.
මුළුතැන්ගෙයි ලුණු දමන පොල්කටුව
නිවසක ලුණු දමන පොල්කටුව නිවසක සශ්‍රීකත්වය පෙන්වන දෙයකි. බොහෝදෙනා නිවසේ ලුණු පොල්කටුව හිස්වීමට ඉඩ නොදෙයි. මන්දයත් නිවසක ලුණු අවසන් වීම යනු නිවසකට අසුබ ගෙන දෙන සංකල්පයක් බව පැරැන්නෝ පවා හොඳින් දැන සිටි කරුණකි. නිවසේ ලුණු දැමීම සඳහා කිසිවිටෙකත් වීදුරු හෝ ප්ලාස්ටික් භාජන භාවිත නොකරන්න. මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ පෙර සඳහන් කළ පරිදිම ලුණු පොල්කටුවය.
ලුණු පොල්කටුව භාවිතයේදී පිටවන ලුණු කල් යත්ම පොල්කටුව වටේ ලුණු මලක් මෙන් බැදේ. අපේ ආදි පැරැන්නන්ද මෙම ලුණු මල නිවසකට සශ්‍රීකත්වය වර්ධනය වන කරුණක් ලෙස පිළිගෙන ඇත. තවද මෙම ලුණු මල යම් යම් රෝග සඳහා ඖෂධයක් ලෙසද භාවිතයට ගනී. මෙම හේතූන් මත නිවසක ආහාර ගැනීම සඳහා භාවිතයට ගනු ලබන ලුණු දැමීම සඳහා ලුණු පොල් කටුවක් භාවිත කිරීම ඉතාම සුදුසුය.
ආහාර මේසය මත පලතුරු වට්ටියක් හෝ ඒ අසල පලතුරු වට්ටියක රූපයක් තිබීම
නිවසක සශ්‍රීකත්වය පෙන්වනු ලබන තවත් සාධකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. නිතර පිරුණු පලතුරු වට්ටියක් කෑම මේසයේ තිබීම නිවසක පිරුණු ස්වභාවය පෙන්වීමකි. නමුත් නිතරම පලතුරු තැබීමට නොහැකි නම් පලතුරු වට්ටියක් සහිත පින්තූරයක් තිබීමද සුදුසුය.
පුන්කළස
නිවසකට අතිශයින්ම බලවත් වූ සංකේතයක් ලෙස පුන්කළස පෙන්වාදිය හැකියි. පිරුණු නැවුම් කළය වශයෙන් අර්ථගැන්වෙන මෙය නිවසකට මෙන්ම ව්‍යාපාරික ස්ථානයන්ටද සශ්‍රීකත්වය ලබා දෙන සුබ සංකේතයකි. නිවසක ප්‍රධාන දොරට කැටයම් කිරීමට, ගේට්ටුවට, නිවසක මල් ලෑලි වලටද වඩාත්ම සුදුසු මෙවලමක් වේ. තවද ඕනෑම දිශාවකට සුදුසු සලකුණකි.
ඉරහඳ සලකුණ
ඉරහඳ සලකුණද නිවසකට සශ්‍රීකත්වය ලබා දෙන බලගතු සංකේතයකි. ඇතමුන් මෙම සංකේතය අත්තිවාරමට යට කරනු ලැබේ. මෙය ඉතාම දෝෂ ගෙන දෙන්නකි. ලොවක් ආලෝකමත් කරන ඉරහඳ සංකේතය නිවසක බිත්තියක ඉහළින් රැඳවිය යුතුය. මෙහිදී ඉරහඳ සංකේත දෙස බලා සිටීමේදී ඉර සංකේතය වම් පසටද හඳ සංකේතය දකුණු පසටද සිටින ලෙස ස්ථානගත කළ යුතුය.
තවද නිවසක සුවඳ දුම් ඇල්ලීමද ඉතාම සුදුසු ක්‍රියාවකි. නිවසක ශ්‍රියාව වර්ධනය කිරීමටත්, සෞභාග්‍ය හා වාසනාව වර්ධනය කිරීමටත් මෙම සුවඳ දුම් නිවස පුරා ඇල්ලීම මගින් සිදු වේ. මීට අමතරව මෙමගින් අහිතකර ශක්තීන් නිවසින් පිටවීමත් සුබ ශක්තීන් නිවස තුළ ඇති වීම සහ වර්ධනය වීමත් සිදු වේ.
තම නිවසට කරනු ලබන ශාන්තිය තමාටම කරනු ලබන ශාන්තියක් වන අතරම මෙම සුබ සංකේත භාවිතය හා ක්‍රියාවන් සිදු කිරීම මගින් ඉතාම සශ්‍රීක සහ සෞභාග්‍යමත් නිවසක් ලබාගත හැකි මෙන්ම උදා වූ නව වසරද ඉතාම සුභ දායක වසරක් වනු ඇත.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes , මිනුවන්ගොඩ
ධම්මික හේවාවසම් ✍️