නිදහස ලැබී වසර හැත්තැ හයක් හරියටම ගෙවී අවසන්ය. නමුත් අපට ඉන් කිව හැක්කේ 1948 දී ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් දේශපාලන නිදහස ලබා ස්වාධීන රාජ්‍යක් ලෙස ගොඩනැගීමේ අයිතිය පමණක් අභිමානයෙන් බාරගෙන ඇති බවය. ගෙවී ගිය වසර 76 තුළ අභිමානයෙන් බැලිය හැකි අන් කවරක් නම් මේ නිදහස් රාජ්‍ය තුළ අපට දැකිය හැකිවේද?
අප ආර්ථිකව දියුණු වී නැත. සමාජීයවද දියුණු වී නැත. සංස්කෘතිකවද දියුණු වී නැත. දේශපාලනිකවවද දියුණු වී නැත. ශ්‍රී ලාංකීය සමාජයේ බහුතරයක් තුළ අද ඇත්තේ මන්දගාමී යල් පැන ගිය සෘණාත්මක අදහස්ය.
ඒ අනුව අභිමානවත් ජාතියක ලක්ෂණ අපට කිසිසේත්ම නැත. බොහෝවිට කරන ඉතිහාස කතාවලදී අපට කිව හැක්කේ අතීත රජවරුන්ගේ, අතීත රණශූරයන්ගේ, අතීත දේශමාමක දේශපාලනඥයන්ගේ පුරාජේරුව පමණි. ඉන් එහාට කිසිවක් අපට හිතට එකඟව පැවසිය හැකිද?
අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව ණය වාරික නොලැබුණේ නම් එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් තිබුණේ නැත. ඉන්දියවෙන් චීනයෙන් ජපානයෙන් පමණක් නොව බංගලදේශයෙන් පවා විටින් විට ලැබුණු ආධාර නොලැබුණේ නම් හුස්ම ගන්නටවත් බඩ පුරවා ගන්නටවත් විදිහක් තිබුණේ නැත.
එම නිසා හැත්තැ හයවන නිදහස සමරන මේ මොහොතේ සිතිය යුත්තේ මල් වෙඩි පත්තු කිරීම ගැන නොව අපට වැරදුණේ කොතනද යන්න ගැන පසු විපරමක යෙදීමය.
දේශපාලනය වල්මත් වී ජරාජීර්ණ වූ පසුබිමක රටක් අතරමං වීම පුදුමයක් නොවනු ඇත. එහි ප්‍රතිඵලය වූයේ රටේ ආර්ථිකය විටින් විට උච්චාවචණය වෙමින් එකතැන පල් වීමය.
මෙතෙක් සිටි කිසිදු දේශපාලනඥයෙකුට ආර්ථිකය සවිමත් කරගැනීමට ජාතික ප්‍රතිපත්තියක් හෝ ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යතාවක් තිබුණේම නැත.
ඔවුන් බොහෝ දෙනෙක් සිතුවේ එක් අයෙක් එසේ කළොත් ඊළඟ වාරයේ රට කරවන්නට එන කෙනා දේශපාලනය දිනන බවය. ඒ හරහා හැමදාම ලොකු වූයේ මමත්වය මිස ජනතාව නොවේ.
එම නිසා දැන්වත් නිදහසේ අභිමානය ගැන කියමින්, වංශෙ කබල් ගාමින්, ගොඩබිමේ පෙළපාලි යමින්, මල්වෙඩි පත්තු කරමින්, උඩු ගුවනේ සහ මුහුදේ සැරිසරමින් එහි බලය පෙන්වමින් පුරසාරම් කීම වෙනුවට තානාපතිවරුන්, වෙනත් රාජ්‍ය නායකයින් ඉදිරියේ පෙන්විය යුත්තේ 76 දී වත් වෙනස් වී නැගිටින්නට සූදානම් වන ශ්‍රී ලාංකීය දේශපාලනය සහ මිනිසුන්ගේ ආකල්ප ගැන නොවේද?