කොළඹ නගරයේ ප්‍රධාන ප්‍රදේශ කිහිපයකම දැන් බැලු බැලු අත තිබෙන්නෙ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පාය. තවත් කොටසක් බියුටිපාලර් හෝ සැලෝන් දොරට මුවාවී ඇතුළේ කෙරෙන්නේ ස්පාවල වැඩය. කොළඹ පමණක් නොව මේ වනවිට සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන මීගමුව, කොච්චිකඩේ, සීදූව මිරිස්ස, බේරුවල, හික්කඩුව සහ තලවතුගොඩ වැනි ප්රදේශවලටද මේ ස්පා වසංගතය අඩු නැතුව ව්‍යාප්ත වී ඇත.
වෙනත් රටවල ස්පාවල කෙරෙන සම්බාහන කටයුතුවලට වඩා මේ රටේ ඒවා තුළ කෙරෙන කටයුතු හාත්පසින්ම වෙනස් වී ඇත. කොටින්ම කියතොත් මේවායේ වැඩ නීති විරෝධීය. ඇතැම් විට මේවායේ විකිණෙන්නේ අවුරුදු දහ ගණන්වල සහ විසි ගණන්වල ගමෙන් නගරයට ආ තරුණියන්ගෙ සියුමැලි ශරීරය. ඔවුන්ටද ඒවාට විරුද්ධ විය නොහැක්කේ ආත්ම ගෞරවයට වඩා මුදල් අවශ්‍යතාව හරස් වන නිසාය.
මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්බාහන මධ්‍යස්ථාන යන පුවරුවට මුවාවෙන් පවත්වාගෙන ගිය ගැහැනු ඇඟ විකුණන මධ්‍යාස්ථානයක අභිසාරිකාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙලිවූ බව කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය.
ඒ බව තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව කරන ලද වැටලීමකදී මීගමුව හා ඒ අවට සම්බාහන මධ්‍යස්ථාන පනස් තුනක් වසා දැමීමටත් අභිසාරිකාවන් ලෙස සැක කළ හැකි කාන්තාවන් එකසිය තිස්හත් දෙනෙකු අත්ඩංගුවට ගැනීමටත් පොලීසියට හැකි වී ඇත.
මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නෙ ලිංගික සංසර්ගයේදී මෙන්ම රුධිරය සහ ශාරීරික තරල මාර්ගයෙන් HIV වෛරසය ආසාදනය වීමයි. එම නිසා මීගමුව, කොච්චිකඩේ, සීදූව වැනි ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන නමට මුවා වී පවත්වාගෙන ගිය අභිසාරිකා නිවාසවලට හොරෙන් හෝ ගොඩවැදුණු යම් කෙනෙකු සිටී නම් වහාම HIV පරීක්ෂාවකට යොමු විය යුතුය.
එසේ යොමු වී ඔවුන් HIV වාහකයෙකු බවට පත්වීද නොවීද යන්න රුධිර පරීක්ෂණයක් මඟින් තහවුරු කරගත යුත්තේ තම ආදරණීයයන් ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන්ය. විනාඩි කිහිපයක සැපක් පතා කවුරුන් හෝ සම්බාහන මධ්‍යස්ථානයකට රිංගුවේ නම් දැන් නම් ඔවුන්ට බුදුසරණමය.
තවද බුද්ධ දේශනාවේ පවා සදහන් කළ අනාචාරයෙ හැසිරීම වර්තමානයේ සෙල්ලමක් තරමට ව්‍යාප්ත වී ඇත්තේ මෙවැනි තැන් සොයා නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන්ද යන්න අපට සැකයක් ඇති අතර ඉදිරියේදී එසේ නොකිරීමෙන් සමාජය වල් වැදීම නතර කළ නොහැක.