මිනිස් ජාවාරම නොකරන රටක් ලෝකයේ දැන් නොමැත. ඒ තරමට මිනිස් ජාවාරම ලොවම වෙලාගෙන ඇත. අද වනවිට මිනිස් ශ්‍රමය පමණක් නොව මිනිස්සුන් ශරීරයේ ඇති ප්‍රධාන අවයව ලබා ගැනීමටත් ඒවා ලක්ෂ ගණන්වලට විකිණීමටත් මිනිස් ජාවාරම සමත් වී ඇත.මිනිස් ජාවාරමේ අලුත්ම ප්‍රවණතාවය වී ඇත්තේ ලොව පවතින යුද්ධවලට යුද සහයකයන් අවශ්‍ය බව පවසමින් මිනිස් ශ්‍රමය ඩැහැ ගැනීමයි.
මෙවැනි ජාවාරම්කරුවන් මෙම ඩැහැ ගැනීම සඳහා ආදරයෙන් යොමු වී ඇත්තේ දකුණු ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ජනතාව පහසුවෙන් අල්ලා ගැනීමටයි. ඔවුන් මාන බලන්නේ ධරිද්‍රතාවය සහ නූගත් බව ඔවුන්ගේ නීති විරෝධී වැඩවලට බොර දියේ මාළු බෑමක් ලෙස යොදාගැනීමටය.
මේ වනවිට රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයට හමුදා සහායකයන් අවශ්‍ය බව පවසමින් අපේ රටෙන්ද දුප්පත් ජනතාව ලක්ෂ ගණන් මුදල්වලට ජාවරම්කරුවන් විසින් හසුකරගෙන ඇති පුවතක් වාර්තා වී තිබේ.
මිනිස් ජාවාරම්කරුවන් ඔවුන්ට පවසා ඇත්තේ එක් පුද්ගලයකු සඳහා ලක්ෂ දහයේ සිට ලක්ෂ පහළව දක්වා වැටුපක් යුද සහය සෙබළෙකු ලෙස වැඩ කිරීමෙන් ලබාගත හැකි බවයි. ඔවුන් මේ වනවිටත් විශ්‍රාමික යුධ සෙබලුන් මේ ජාවාරමට හසුකරගෙන ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් එසේ රැවටුනු පුද්ගලයන් යුධ දේශසීමාවේ දුක් විඳින බවත් අනාවරණය වී තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයට දැන් වසර දෙකහමාරක ඉතිහාසයක් තිබේ. තවමත් අප දන්නා තරමට රටකින් අවශ්‍ය යුද්ධ බලඇණි එම යුද්ධයට යොමු කරගත් පුවතක් වාර්තා නොවේ.
තවද ස්වාධීන රටක යුද්ධ හමුදාවකට තවත් ස්වාධීන රටකින් රාජතාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් සහ අනුමැතියක් නොමැතිව යුද්ධය සඳහා හෝ නීතිමය හමුදාවක් යැවිය නොහැකි වේ. එසේ නම් මෙය තනිකරම මූල්‍යමය ජාවාරමකි.
තවමත් රුසියානු තානාපති කාර්යාලයවත් එවැනි නිල නිවේදයක් ගැන හාන්කවිසියක්වත් නොදනී. එහෙව් වාතාවරණයක මුදල ගැන පමණක් සිතා තමන්ගේ වටිනා ජීවිතය ලෝකයේ පවතින දරුණුතම යුද්ධයකදී නිරපරාදේ බිල්ලට දෙන්න සිත හදාගන්නේ කෙසේදැයි අපිට ඇත්තේ මවිතයකි.
එම නිසා මොන තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් සාමාජීය ප්‍රශ්න තිබුණත් මිනිස් ජීවිතයක වටිනාකම තේරුම් නොගෙන තම ආදරණීයන්ට ඔබේ වටිනාකම තක්සේරු නොකර මෙවැනි තකතීරු තීරණ ගන්නේ නම් ඔබ මිනිස් ප්‍රාණියකු විය නොහැකිය. ජීවිතය යනු සම්පූර්ණයෙන්ම මුදල් නොවේ.