දරුවන් අප සමාන කරන්නේ මල්වලටය. ඒ ඔවුන් එතරම් සියුමැලි නිසාය. වැඩිහිටි සමාජය විසින් මලක් රැකබලා ගන්නේ යම් සේද ඊටත් වඩා පරිස්සමෙන් ආදරයෙන් දරුවන් රැකබලා ගත යුතු බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.
වැඩිහිටියන්ගේ රැකවරණය, අවධානය ගිලිහුණු තැන දරුවන්ට විය හැකි අනතුරුවල බරපතලකම සමහරවිට වැඩිහිටි අපිටවත් සිතා ගන්නට බැරි තරම්ය.
අවුරුදු තුනයි මාස හයක් වයසැති මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟී නෙතන්සා දැරියට සිදුවී ඇත්තේ එවැනි ඛේදවාචකයකි.
ධීවර පවුලකට දාව උපන් ඇය අකාලයේ මිලිනව යන්නේ පියාත් මවත් ඇගේ වැඩිමහල් සොහොයුරාත් සොහොයුරියත් ගෙදර සිටින අතරවාරයේදී වීමට සමාව දිය හැකිද?
පුංචි විහඟී ඇගේ ජීවිතයට සමුදෙන්නෙ නිවසේ වැඩිහිටියන් අනාරක්ෂිත ආකාරයෙන් අටවා තිබූ විදුලි පේනුවකට සම්බන්ධ කර තිබූ ජංගම දුරකථනයක් පපුවේ තබාගත් නිසාය.
කවදත් ළමා සහ මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකයන්, වැඩිහිටි ප්‍රජාවට පුන පුනා කියා සිටින්නේ ජංගම දුරකථනය දරුවන්ගෙන් ඈත් කළ යුතු මෙවලමක් බවය.
දැන් පෙනෙන්නේ නාගරික දරුවන් පමණක් නොව නගරෙන් ඔබ්බට මෙවැනි ප්‍රදේශවල ජීවත්වන දරුවන් පවා කුඩා කාලයේ සිටම ජංගම දුරකථනයේ යාවජීව සාමාජිකයන් බවට හොර රහසේම පත්වී ඇති බවය.
විහඟීගේ පියා පවසන ආකාරයට ඇයව බේරුවල රෝහලට ගෙනියන විටත් සිහිසුන්ව සිට ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය උත්සාහ කර ඇත්තේ නැති වූ ඇගේ සිහිය ලබා ගැනීමටය. නමුත් ඇය ඒ වනවිටත් මියගොස් තිබුණි.
මෙම මරණයට හේතු වී ඇත්තේ දැරියගේ පපුවට විදුලි සැර වැදීමක් බව වෛද්‍යවරු තහවුරු කර ඇත. මෙය සැබැවින්ම මිනී මැරීමක් වැනිය.
අනාරක්ෂිත විදුලි පේනු නිවසේ තිබෙනවා නම් ඒවා දරුවන්ගෙන් ඈත් කර තැබීමට තරම් මොළයක්වත් මෙම වැඩිහිටියන්ට නොතිබීම සහ කුඩා දරුවා ජංගම දුරකථනයෙන් ඈත් කර තැබීමේ අවශ්‍යතාවයක්වත් තිබීම දඬුවම් ලබාදිය යුතු වරදකි.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මේ මරණය පිළිබඳව අවධාරණය කරමින් පවසා සිටින්නේ විදුලි සැර වැදීමෙන් දරුවන් සියයට තුනක සිට සියයට පහළවක දක්වා ප්‍රමාණයක් මිය යා හැකි බවයි.
එවැනි මරණ සියල්ලකටම හේතු වන්නේ මොළයට සහ හෘද වස්තුවට විදුලියෙන් වන බලපෑමයි.
විශේෂයෙන්ම ස්නායු පද්ධතියටත් හෘද වස්තුවටත් අධික විදුලියෙන් හානි සිදුවී ‘Cardiac Arrhenius ’ තත්ත්වය ඇතිවීම බව පවසන වෛද්‍යවරයා වැඩිහිටියන් වෙත අවධාරණය කරන්නේ මෙවැනි මරණ වළක්වා ගැනීමට පියවර ගැනීම වැඩිහිටියන්ගේ පළමු රාජකාරිය වියයුතු බවයි.