සම්බුදු තෙමගුල යනු සිද්ධාර්ථ කුමාරයාණන්ගේ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් වූ අවස්ථාවන් ස්මරණය කිරීමයි. මෙහි තිබෙන වැදගත්ම කාරණය වන්නේ ලෝකවාසී සත්ත්වයන්ගේ හිත සුව පිණිස සිද්ධාර්ථ කුමාරයාණන් ලබාගත් සම්බුද්ධත්වයෙහි සැබෑ අර්ථය තේරුම්ගෙන එහි ගැඹුර සහ දර්ශනය වටහාගෙන කටයුතු කිරීමට වර්තමාන සමාජය පෙළඹවීමයි.
එබැවින් සම්බුදු තෙමගුල යනු හුදු වාණිජකරණයෙන් ඔබ්බට ගිය සිතේ ප්‍රීතිමත් බව වූ කුසල් වඩවන නොයෙක් ආකාරයේ ආමිස පූජාවලට වාගේම ප්‍රතිපත්ති පූජා වලටත් මුල් තැනක් ලබා දිය යුතු කාලයක් බව මෙරට සාමාන්‍ය ජනතාව වටහා ගැනීම ඉතා වැදගත් වේ. අතීතයෙන් එන දහම් කැරුණු පවා නියම බෞද්ධ දර්ශනය වැළඳ ගන්නා ඕනෑම කෙනෙකු පිළිගත යුත්තේ සබුද්ධික තර්කයෙන් බව හොඳින් පැහැදිලි වේ. එම නිසා ලෝකයා බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳ සිත් පහළ කරගන්නේ මෙය හුදෙක්ම ප්‍රායෝගික දහමක් වී ඇති බැවිනි.
නමුත් අද බුද්ධාගම වසර දෙදහස් පන්සිය හැට අටකට වඩා වැඩි කාලයක් රැකී ඇති ශ්‍රී ලංකා ද්වීපය තුළත් අර්ථාන්විත වෙසක් මංගල්‍යයක් සමරනවාද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් මතුවීම සාධාරණය. අද වන විට හුදෙක්ම සම්බුදු තෙමගුල වාණිජකරණයට ලක් වී ඇති බව පෙනෙන්නට ඇත. බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන කාරණාවලට වඩා වාණිජ අරමුණු පෙරදැරි කරගත් කාරණා සමාජය තුළ වැඩි වැඩියෙන්ම සිදුවෙමින් තිබෙන බව නොරහසකි.
නූතන වෙසක් මංගල්‍යය සමඟින් ජනතාව පෙළඹෙන්නේ වෙසක් සැරසිලි නිර්මාණය කිරීම, තොරණ ආදියෙන් ආලෝක පූජා පැවැත්වීම සහ ජාතක කතා සංස්කෘතිය ආවර්ජනය කිරීම මෙන්ම දන් දීම වෙනුවෙන් පවත්වන දන්සැල් සහ බුදුගුණ අර්ථාන්විතව සහ ලයාන්විතව ගායනා කරන බැති ගීතවලටය. මේවා සියල්ලම සැබෑ අරුතට එහා ගිය වාණිජ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ආකාරයක් අද වන විට මේ ධර්මද්වීපය තුළද දක්නට ඇත. එය ඛේදනීය තත්ත්වයකි.
බෞද්ධ, කිතුණු, ඉස්ලාම් සහ හින්දු මෙන්ම මේ රටේ සියලු ආගමික නායකයන් එකතු වී කළ යුත්තේ සැබෑ වෙසඟේ අරුත මේ රට තුළ ඇති කිරීමට කටයුතු කිරීමයි. වෛරයෙන්, ක්‍රෝධයෙන් හිංසාවෙන් මුලා වී සිටින සියලු ජීවිත පසෙකලා ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ආදරයෙන් ගෞරවයෙන් සාමයෙන් පෙළගැසීම මේ මංගල්‍යයේ අරමුණ විය යුතුය. එපමණක් නොව වෙසගේ සැබෑ අරුත ලෝක සත්ත්වයාට රැගෙන යාම පිණිස කටයුතු කිරීමෙන් බුදුන් වහන්සේ එදා දෙසූ අර්ථාන්විත බෞද්ධ දර්ශනයේ මහඟු ඵල වර්තමාන සමාජය නෙලා ගැනීමට මග විවර වනු ඇත.