ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හරිම පරිස්සමින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. මන්ද T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම කෙසේ වෙතත් ඔවුන්ට කලාතුරකින් ලැබෙන ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව උදා වූ බැවිනි.
ශ්‍රී ලාංකික ලොකු, පොඩි, බාල, මහලු සියලු ක්‍රීඩා ලෝලීන්ගේ වඩාත් අවධානය යොමූ වූ දිනය වූයේ 12 වැනි බදාදාය. ක්‍රිකට් ක්‍රීඩාව හදවතින්ම වැලඳගත් බොහෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලොලින් උදේ පහටත් පෙර සැදීපහැදී පුංචි තිරය ළඟ හිඳගත්තේ උදේ පහට නේපාලය සමග පැවැත්වෙන තරගයෙන් කලින් ලද දරුණු පරාජයන් දෙකම වසා සිංහ ධජ ලෙළවා ජය බන්දා එම තරගය ජයග්‍රහණය කරනු දැකීමටය.
ඔවුන් T20 අවසන් අට දෙනා අතරට පැමිණෙනු දැකීමටය. අවසනාවේ මහත වැහිවලා දෙවියන්ද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් බලාපොරොත්තුවටත් හරස් විය.
දැන් ඉතින් මාධ්‍යයත් ක්‍රීඩා ලෝලීනුත් ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමට පරිස්සමෙන් ගෙදර එන්න කියනවා මිස වෙන මොනවා කියන්නද?ක්‍රිකට් නිසා රටට ලැබුණ අවධානය, කීර්තිය රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගත් මොහොතක වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා කියන මැජික් කතාව සාවධානව අසන්නටවත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට අවශ්‍යතාවක් නැත. මන්ද ඇමතිට පෙනෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඳුර මැදින් එළියට එන ගමනක් මේ සම්මජාතියක පෙනෙන්නට නොමැති නිසාය.
හදවතේ ක්‍රිකට් තබාගෙන සිටින ක්‍රීඩා ලෝලීන්ට සිදුවන්නේ ඔවුන් අඳුරෙන් එළියට එන ආකාරය මනසින් මෙනෙහි කර ක්‍රිකට්වලට අත්පොත් තැබූ අලුත් කණ්ඩායම් වෙනුවෙන් හුරේ දැමීමටය.
ඇමතිවරයා තවදුරටත් පවසන්නේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරන විට කරේ තබාගෙන යෑමත් පැරදෙන විට එලව එලවා පහරදීමත් මේ රටේ ක්‍රිකට් සංස්කෘතියට ඇතුළත්වීම කණගාටුවට කරුණක් බවය. අපට ඉන්දියාව පැරදුණාට දුකක් නැත. බංගලාදේශයට එලව එලවා පහර දුන්නාට දුකක් නැත.
නමුත් අපට මේ තරම් දුකක් ඇත්තේ ක්‍රීඩාවේ ජීව ගුණය අරක්ෂා කරගැනීමට අවශ්‍ය කාරණා දහසක් පසෙකලා විනය විරෝධී වැඩ කරමින් රටේ ක්‍රීඩාවට වඩා තම තමන්ගේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් ක්‍රීකට් ජයග්‍රහණ පෙනි පෙනී පූජා කරන ක්‍රීකට් ක්‍රීඩාවට පැමිණ ඇති සල්ලාල මුදලාලිලා වැනි ක්‍රීඩකයන් ගැනය.
ක්‍රීඩා අමත්‍යවරයා වශයෙන් T20 වලට යන්නට පෙර සෝෂල් මීඩියා නොබලන්න යැයි කියා ඇති උපදේශයවත් ඔවුන් තඹයකට හෝ මායිම් කර නැත. මන්ද ඔවුන්ගේ සෝෂල් මීඩියාවලට එකතු වී ඇත්තේ ඇමරිකානු සංචාරයේ ඔවුන් කළ කී දෑය.
අන්තිම මොහොතේ එකපිට එක තරග පැරදුණ විට රටෙන් ඇතිවන පීඩනය අවම කරන්නට ලැබුණු අවම පහසුකම් ගැන, තණතිලිවල අඩුපාඩු ගැන, එරට දේශගුණය ගැන ගොම් බස් කියා තැම්බිය හැකි ජාතියක් මේ රටේ දැන් නැත.
මේ නිසා අමාත්‍යතුමනි මොවුන්ට විනය පිළිබඳව හොඳ පාඩමක් උගන්වන්න. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ කීර්ති නාමයත් සමඟ බව ගැළපෙන භාෂාවකින් කියා දෙන්න. ජයග්‍රහණය සඳහා විනය අවශ්‍ය බව යළි යළිත් මතක් කරන්න.