ගස්, ගල්වලට වැඳුම් පිඳුම් කරමින් බාරහාර වෙමින් සිටි මිත්‍යාදෘෂ්ටික සිංහලයා බෞද්ධයන් බවට පත් වූ දිනය ලෙස පොසොන් පොහෝ දිනය හැඳින්වූවාට වරදක් නොමැත.
වෙනත් විදිහකින් කියනවා නම් අශෝක අධිරාජ්‍යයේ ධර්මාශෝක මහා රජතුමා නොසිටින්න ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් වන්නට හෝ ධර්මය නිසා ලෝකයේ ප්‍රසිද්ධ වන්නටද විදිහක්ද නැත. මේ නිසා පොසොන් පොහෝ දිනය සහ පොසොන් මාසය බෞද්ධ අපට ඉතා වැදගත් බව කිව යුතුය.
එය එසේ වුවත් පොසොන් පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව කරනා ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට වඩා වැදගත් කාරණාවක් පිළිබඳව කිව යුතුව ඇත.
මේ වනවිටත් ශ්‍රී ලාංකික අප පමණක් නොව ලෝකවාසී ජනතාවම වසංගත රෝගවලින් එළව එළවා පහර කෑමකට ලක්ව තිබේ.
තවමත් කොවිඩ් වෛරසය ජාන සංයුතිය වෙනස් කරමින් විවධ ප්‍රභේද ලෙස අළුයට සැඟව ඇති ගිනි පුපුරු මෙන් විවිධ රටවලින් හමුවීමට සම්පූර්ණයෙන්ම තිත තබා නොමැති සමයක තවත් එවැනි වසංගතයක් ළඟ ළඟම එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වාර්තා වන අන්දමට එය කොවිඩ් වෛරසයට දෙවැනි නොවන බැක්ටීරියාවකි. මාංශපේශි කා දමන මාරාන්තික බැක්ටීරියා වර්ගයක් ලෙස මෙය ජපානයේ දී හඳුනාගෙන ඇති අතර මේ වසර ඇතුළත එම බැක්ටීරියා ආසාදිතයින් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් එරට දී හඳුනාගෙන ඇත. මෙය හරියටම කිවතොත් ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වාගේ යන්න තහවුරු කිරීමක් බව පැහැදිලිය.
STSS යන කෙටි නමින් හඳුන්වන ස්ට්රපේටොකොල් ටොක්සින් ෂොක් සින්ඩ්‍රෝම් නම් බැක්ටීරියාව ව්‍යාප්තිය වැඩි මරාන්තික රෝග ලක්ෂණ පෙන්වන බැක්ටීරියාවක් බව ජපාන සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට හඳුනාගෙන තිබේ.
මේ බැක්ටීරියා ආසාදිතයෙකු පැය 48 ඇතුළත මිය යන බවත් ඔවුන් පවසා තිබේ. ආසාදිතයන් අතර රෝග ලක්ෂණ ලෙස උණ, අඩු රුධිර පීඩනය, හන්දි වේදනාව, අධික ලෙස දහඩිය දැමීම ආදී සාමාන්‍ය බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව අස්ථි ක්ෂය වීම, අවයව අකර්මණ්‍යවීම සහ ශ්වසන අපහසුතා ද ඇති වනු ඇත.
මේ වනවිටත් ටෝකියෝ කාන්තා වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරුන් පවසන්නේ හොඳින් අත්සේදීම මඟින් මෙම බැක්ටීරියා ව්‍යාප්තියද පාලනය කළ හැකි බවයි. එමනිසා කොව්ඩ්වලට පුරුදු වූ හොඳ පුරුදු නැවත නැවතත් මතක් කර ගැනීම ආරම්භ කළ යුතු බව මතක් කරන අප තවම බැක්ටීරියාව මේ රටට පැමිණ නොමැති බැවින් විමසිල්ලෙන් පසුවීම ඇතිවන ජීවිත අවදානම අවම කරගැනීමට හේතුවක් වන බව සිහි තබා ගත යුතුය.