“ උත්සාහය අත් නොහරින තුරු ඔබ පරාජිතයකු නොවේ.” මෙම සටහන අපේ රටේ ලාබාලතම දුවන්නී, තරුෂි කරුණාරත්නගේ නිල ෆෙස්බුක් පිටුවෙන් උපුටා ගතිමි. තරුෂි මෙලෙස සටහනක් තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ දහසකුත් බලාපොරොත්තු අතර තිබූ මෙවර Olympic වරම ඇයට හිමිවූ බව ඇයට ආදරය කරන ශ්‍රී ලාංකීකයන්ට දැන්වීම පිණිසමය.
03 වැනිදාට එළිවෙන්නට මෙරට බොහෝ සමාජ මාධ්‍ය 19 හැවිරිදි තරුෂි පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි යනුවෙන් පළකර තිබූ අතර එහිදී ඔවුන් බහුතරයක් සඳහන් කර තිබුණේ ඇය Olympic ආරම්භ වන දිනය දක්වා මානසික ඒකාග්රතාවකින් ගෙනයෑමේ වගකීම මෙරට ක්‍රීඩා බලධාරීන් ඇතුළු ශ්‍රී ලාංකික සියලු දෙනා සතු වගකීමක් වන බවය.
මේ අනුව තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 යේ ඉසව්ව නියෝජනය කරනු ඇත. ඊට අමතරව නදීශා දිල්හානි ලේකම්ගේ ද හෙල්ල විසිකිරීම සඳහා පැරිස් යනු ඇත.
මෙහි ගතයුතුම කතාව වන්නේ අවම පහසුකම් යටතේ තරග වැද ලෝකයා ඉදිරියේ ඉතා කෙටි කාලයකින් මේ රට ඔසවා තබන්නට තරුෂි සහ දිල්හානි වැනි දියණියන් කටයුතු කළත් ලෝකයේ තිබෙන හොඳම පහසුකම් සියල්ල ඇති ක්‍රීඩකයන් එකොළොස් දෙනෙක් එකට තරඟ වැද ශ්‍රී ලාංකික ක්‍රිඩාලෝලී ජනතාවගේ හදවතේ ගැඹුරේම තිබූ ක්‍රිකට් එපා කළ සහ ලෝකයා ඉදිරියේ රටේ නම හෑල්ලු කළ ක්‍රිකට් ක්‍රීඩකයන් අභිබවා මේ පුංචි කෙල්ලන් අධිෂ්ඨානයත් ධෛර්යත් නිසා බාධා මැද ඉදිරියට ඒමේ අගය නොවේද?. ඔවුන්ගේ මේ ගමනට මුලින් හොඳ සපත්තු තිබී නැත. ක්‍රීඩා කරන්නට සුදුසු පිට්ටනියක්වත් තිබී නැත.
අමතර විටමින් සහ ගැළපෙන ආහාර වර්ග කුසට වැටී ද නැත. නමුත් හොඳ පුහුණුකරුවන් වාසනාවකට මෙන් ඔවුන්ට ලැබී ඇත. ඔවුන්ට ඉලක්කයක් තිබී ඇත. රට ඉහළටම ඔසවා තබන අරමුණක් ද තිබී ඇත.
ඒ නිසා වයිල්ඩ්කාඩ් වටයට සුදුසුකම් ලබන ලෝකයේ ක්‍රීඩිකාවන් තුන්දෙනා තෝරාගන්නා මෙරට පැවති මීටර් 600 දිවීමේ තරගයට පුහුණු වන අවස්ථාවේ වැහි වතුර මත තරුෂි දිවෙව්වත් මානසික ඒකාග්‍රතාව කඩා වැටෙන වැඩ කළත් ශ්‍රී ලාංකික මළල ක්‍රීඩා සංගමයේ කට ඇය හරි අපූරුවට තදින් වසා ඇත.
මෙවැනි අසාධාරණකම් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. අවසන් අවස්ථාවද මෙය නොවන බව දනිමු. මෙවැනි අසාධාරණකම් නිසා ජාතික සහ ජාත්‍යන්තර මෙන්ම ඔලිම්පික් වරම් ද නොලැබූ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොතෙකුත් සිටීද?
සුසන්තිකාගේ සැබෑ කතාවද හොඳින් දන්නා අපට වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලිය හැක්කේ ක්‍රිකට්වලට ලබාදෙන ඔබේ දැඩි අවධානය මෙරට මළල ක්‍රීඩාවටත් ලබාදෙන ලෙසටය.
මළල ක්‍රීඩාවේ උන්නතියට වැඩ කරන බව පෙන්වන නිලධාරීන් පිළිබඳව ඇස ගසාගෙන සිටින ලෙසටය. එසේ නොකරන්නේ නම් අද ක්‍රිකට් බිස්නස්කාරයන්ගේ අතට ගියාක් මෙන් මළල ක්‍රීඩාව ද ඔවුන් අතට ගොස් ඉඳහිට හෝ මතුවන මිණි කැට වෙනුවට බොල් ගල් පමණක් මතු වී බිස්නස්කාරයන්ගේ කර මතින් එතෙර සංචාරවලට යනු ඇත.