එල්ලුම් ගස’ වරදට දඬුවමක් ලෙස පැමිණිය යුතු යැයි සාධාරණීකරණය කරන සමාජයක දරුවන්ට තරවටු කිරීමෙන් හදාගත හැකි යැයි සිතීම පිළිබඳව මහාලොකු පුදුමයක් ඇතිවිය යුතු නැත. එබැවින් දරුවන්ට පහරදීම ගැන පමණක් නොව සමස්ත සමාජයේම ප්රචණ්ඩත්වය පිළිබඳ ඇති ආකල්ප වෙනස්විය යුතු නොවේද?
මෙයට ගැළපෙන උදාහරණයක් මේ දැන් නෙත ගැටෙන්නේ, සමාජ මාධ්‍ය හරහාය. අසල්වැසි කාන්තාවක් රූගත කර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇත්තේ මිත්තණියකගේ වයසේ සිටිනා කාන්තාවන් කිහිප දෙනෙක් වයස අවු 10 කට අඩු පිරිමි දරුවකුට අමානුෂික ලෙස එළව එළවා පහර දෙන අන්දමය.
රූගත කළ කාන්තාව පුනපුනා කියන්නේ, මෙම කොලු පැටියාට අමානුෂික ලෙස පහරදෙන අන්දම පොලීසියටත්, සමාජ මාධ්‍යයටත් මුදාහරින බවය. ඒ පිළිබඳව තඹයකට හෝ ගණන් නොගන්නා වයසක ගැහැනුන් කිහිප දෙනා දරුවා ගෙට දමාගෙන පහර දෙන ආකාරය වීඩියෝව තුළ දකින්නට නොලැබුණත් අසන්නට ලැබෙනු ඇත.
මෙය දරුවකුට පහර දුන් එකම සිද්ධිය නොවන අතර දැන් දැන් අඟිලි තුඩු අගට තාක්ෂණය පැමිණ ඇති බැවින් එවැනි සිද්ධීන් වාර්තාවීමේ ඉහළයාමක් පෙනෙන්නට තිබෙන බව නම් පැහැදිලිය.
කෙසේ වුවත්, මනුෂ්‍යයකුට වදදීම විවිධ ආකාරයෙන් සිදුකරන සමාජයක දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් නොකරන්නේ මන්දැයි ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවෙන් කිහිප විටක්ම ප්‍රශ්න කර ඇති බව සත්‍යයකි.
එවන් වටපිටාවක දණ්ඩ නීති සංග්‍රහයේ 308 A වගන්තියට අනුව දරුවකුට එරෙහි ප්රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන ඕනෑම පුද්ගලයකුට මේ රටේ දැනට පවතින නීතියට අනුව වසර දෙකක් දක්වා සිරගෙට යැවීම කළ හැකිය.
නමුත් මෙවැනි නීති රාමුවක් තිබියදීත් අපේ රටේ දරුවන්ට ඔවුන්ගේ සමීපතමයන් විසින් කරන අමානූෂීය පහරදීම්වලින් පෙනී යන්නේ නීතියත් සමාජයත් අතර දැනුවත්භාවයේ හිඩැසක් තිබෙන බව නොවේද ?
ඔවුන් අමතක කර ඇත්තේ, ළමාවියේදී පහර දීමකට හෝ අපයෝජනයකට ලක්වන දරුවා වැඩිවියට පත්ව සමාජගත වීමේදී අපයෝජකයකු හෝ ප්රචණ්ඩකරුවකු වීමේ සම්භාවිතාව ඉහළ යන කාරණයයි.
එම නිසා දරුවන් හදාගැනීමට පහරදීම කළ යුතුය යන වික්ටෝරියානූ ගෝත්‍රික සංකල්පයෙන් අප වහ වහාම බැහැර විය යුතුය. දරුවන් ආදරයෙන් රැකබලා ගත යුතුය.