රට ගියත් නොගියත් මේ රටේ ඕනෑම පුරවැසියකුට පාස්පෝර්ට් එකක් ලබාගැනීමේ අයිතියක් ඇත. එය කොටින්ම කියතොත් මානව හිමිකමකි. නමුත් දැන් දැන් පෙනෙන්නට තිබෙන්නේ එම මානව හිමිකම තරයේම උල්ලංඝනය වෙන හැඩකි. මෙයට මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෝ මේ රටේ අනෙකුත් අමාත්‍ය මණ්ඩලය වගකිවයුතු නොවන බව අපි දනිමු. මෙහි ඍජු වගකීම බාරගත යුත්තේ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.
මන්ද මේ වනවිටත් ශ්‍රී ලාංකික පුරවැසියකු එක් දින සේවයෙන් පාස්පෝර්ට් ලබාගැනීම සඳහා රු.20 000 ක මුදලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. එයද රු.20 000 තිබුණ පමණින් ලබාගත නොහැකිය. කට්ට කා යුතුමය. ඡායාරූප ඉදිරිපත් කිරීම, වලංගු උප්පැන්න සහතිකය, වලංගු ජාතික හැඳුනුම්පත සහ රැකියාව සටහන් කරන්නේ නම් සේවා සහතිකයක්ද ඉදිරිපත් කළ යුතුය.
එපමණින්ද එය ලැබෙන්නේ නැත. වරු ගණනක් බඩගින්නේ, අව් කාෂ්ටකයේ, පෝළිමේ අයදුම්කරුවකු දැන් යන ක්‍රමයට සිටිය යුතුමය. එසේ සිටියත් කවුන්ටර්වල රැස් නොබලන්නට වෙන අවස්ථා අයදුම්කරුවන්ට අල්පය. සාමාන්‍ය සේවාවද ඊට නොදෙවැනිය. සාමාන්‍ය සේවාවෙන් පාස්පෝර්ට් එක ලබාගැනීම සඳහා අයදුම්කරුවකු ඉහත සඳහන් ලියකියවිලිවලට අමතරව රු. 10 000 මුදලක් ගෙවිය යුතුමය. මේ මුදල පන්දහසේ සිට එක රැයකින් දසදහස දක්වා වැඩිවීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කේ,
සාමාන්‍ය සේවාවේ පාස්පෝර්ට් මාස හයකට හතකට කළින් අයදුම් කළ ඒවාවත් තවමත් ලැබී නැති නිසාය. ඉතින් මේවාට පලි විදේශගත වී හෝ වැඩි සොච්චමක්, වැඩි අධ්‍යාපනයක් සොයන්නට හිත හදාගත් මෙරට අයදුම්කරුවන්ද? වරද ඇත්තේ කොතැනද? පාස්පෝර්ට් ලබාදීම ප්‍රමාද වන්නේ එම තොරතුරු මුද්‍රණය කරන පොත් විදේශ රටක සිට ගෙන්වා නැති නිසාය.
පොත් ගෙන්වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල්ගේ අනුමැතියෙන් මිස ඇමතිවරයා හෝ අනෙක් අමාත්‍ය මණ්ඩලය නොවනු ඇත. දවසකට දළ වශයෙන් පාස්පෝර්ට් 4000 ක් පමණ නිකුත් කරන බව කියන්නේ ඔවුන්ය. ඒ අනුව සතියකට මාසයකට අවශ්‍ය පොත් ප්‍රමාණය ගෙන්වීමේ ටෙන්ඩර් කොතරම් කලින් දැමිය යුතුද?
මහජනතාවගේ සේවයට කැපවිය යුතු මෙවැනි ආයතන පාලනය කරන මිනිසුන් මර නින්දේද? මේ වැඩේවත් හරියට කරගන්න බැරි මොවුන් දැන් පුරසාරම් කියන්නේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් එකක් නිකුත් කරන්නට සූදානම් වන බවය. අමාත්‍යවරයා පසුගියදා කියා ඇත්තේ අත්‍යවශ්‍ය අයට පමණක් ඔක්තෝම්බර් මාසය වන තෙක් සාමාන්‍ය පාස්පෝර්ට් ඉල්ලුම් කරන ලෙසටයි.
නමුත් අපට ඇති ප්රශ්නය අමාත්‍යවරයා කියන අත්‍යවශ්‍යතාව කෙසේ මිනුම් කරන්නේද යන්නය. අවසාන වශයෙන් කියන්නට වන්නේ, පාස්පෝර්ට් පොත නිකුත් කිරීමත් හත්පළේ ගාගෙන ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇමතිවරයා කියන විදියට ඔක්තෝම්බර් මාසයේ නිකුත් කරන්නට යන ඊ පාස්පෝර්ට් එකද හත්පළේ පමණක් නොව හැමපළකම ගාගන්නා බවය.