වාර්තාකරණය පවා හිරිකිත වූ තවත් සියදිවිනසා ගැනීමක් මෙරටින් වාර්තා වූයේ පසුගිය සඳුදා සවස් භාගයේදීය. එම දැරිය සියදිවි නසා ගැනීමට තීරණය කර තිබුණේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ආරක්ෂා සහිතව ඉදිකර ඇතැයි කියන නෙළුම් කුලුනේ විසිහත් වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියෙන් බිමට පැනීමෙන්ය. එහි සිටි ආරක්ෂක නිලධාරීන්ගේ ඇස්වලටත් වසන් වී ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා මෙම සිසුවිය දිවිනසා ගැනීමට බිමට පැන ඇති අතර ඇගේ නිසල දේහය හමුවී තිබුණේ තුන්වෙනි මහලේ රැඳී තිබියදීය.
07 වැනි සඳුදා සිදු වූ මෙම සියදිවි නසා ගැනීම පිළිබඳව දැඩිදුර කාරුණු සොයාබැලූ පොලීසිය පවසා සිටියේ මීට මාස තුනකට ඉහතදී කොළඹ අල්තාරා ගොඩනැගිල්ලෙන් බිමට පනිමින් දිවි නසාගත් සිසුවියගේ සහ සිසුවාගේ මරණවලට බොහෝ සමානකම් මෙම සිද්ධියේද තිබෙන බවය. මොවුන් තිදෙනාම කොළඹ එකම පාසලක, එකම පන්තියක අධ්‍යාපනය ලබා ඇති යහළුවන්ය. දැරියගේ දේහය හඳුනාගැනීමෙන් පසුව වැලවත්තේ පදිංචි ව්‍යාපාරික පියා පවසා ඇත්තේ මිතුරන්ගේ සියදිවි නසා ගැනීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් සිටී බවය.
මියගිය දැරියගේ පියාගේ ප්‍රකාශය ඔස්සේ අපට සිතන්නට බොහෝ දේවල් ඇත. ඕනෑම දෙමව්පියකුගේ වගකීම දරුවන් බිහිකිරීම, ඔවුන් ලොකුමහත් කිරීම, නිසි කලට ගැළපෙන අධ්‍යාපනය රටේ තිබෙන හොඳම පාසලෙන් ලබාදීම, හොඳම ටියුෂන් යැවීම, හොඳම කෑම බීම කන්නට දීම මෙන්ම සමාජය විසින් පිළිගත් හොදම දේවල්වලට දරුවන් යොමුකිරීම පමණක්ද?
අවම වශයෙන් තම දියණිය ඉගෙනගත් පාසලේම, දියණියගේම පන්තියේම ඇගේ යෙහෙළිය සහ යහළුවා දිවි නසා ගත් මොහොතේ පටන් වත් තමාගේ දියණියගේ හැසිරීම වෙනස් බව හඳුනාගෙන ඇති මෙම තාත්තාත් ඒ ගෙදර අනෙක් වැඩිහිටියන්වත් මෙම දියණිය පිළිබඳව දැඩි අවධානයක් යොමු නොකළ හැඩය. එසේ කළා නම් ඇයට අවශ්‍ය මානසික සහනය පවුලෙන්, පාසලෙන්, එසේ නොමැති නම් මානසික සෞඛ්‍ය පිළිබඳව වෛද්‍යවරයෙකුගේ හෝ ආයතනයකින් ලබාදීමට ඔවුන් පෙළඹෙනු ඇත. එසේ කළා නම් ඇය තවමත් ජීවතුන් අතරය.
තවත් ප්‍රමාද නොවන්න. එම පන්තියේ සිටින අනෙක් දරුවන්ගේ මානසික තත්ත්වය කෙබඳුදැයි සොයා බලන්න. පන්තියේ ළමයින්ගේ දෙමව්පියන්, ගුරුවරුන් වහා එයට යොමුවන්න. සමාජීය ජීවීන් වශයෙන් අපද මානසික පීඩනය, මානසික රෝග, මානසික සෞඛ්‍ය පිරිහීම වැනි කාරණා පිළිබඳව මීට වඩා අවධානය යොමුකළ යුතුය. නොඑසේ නම් ශ්‍රී ලාංකික අපට අහිමි වන්නේ මෙවන් ලස්සන තරුණ ජීවිතයන්ය.
දැන්වත් අප සිග්මන්ඩ් ප්‍රොයිඩ්, සදර්ලන් වැනි විද්වතුන් ගැඹුරුන් අදහස් ඉදිරිපත් කරමින් පවසා ඇති සියදිවි නසා ගැනීමට ප්‍රබල හේතුව වන නූතන මිනිසා තුළ සමාජානුයෝජනය පිරිහීම බව තේරුම් ගනිමින් රටක් වශයෙන්, සමාජයක් වශයෙන් ඒ අභියෝගය විසඳාගැනීමට වහ වහා පියවර ගත යුතු වන්නේ අපට කිසිසේත්ම පතෝල වැනි කඩා වැටෙන දරු පරපුරක් අවැසි නොවන නිසාය.