ගෙවුණු මාසය කෙසේ ගෙවුණත්, අලුත් මාසයක උදාව අප සෑමවිටම හිතන්නේ සුබවාදීවය. නොවැම්බර් පළවෙනිදා එළඹුණේද එලෙසමය. නමුත් එළිවී පැය කිහිපයක් යන්නටත් මත්තෙන් මෙරට මාර්ගාශ්රිතව සිදු වූ ඉතාම දරුණු රිය අනතුරක් පිළිබඳව අසන්නට ලැබුණේ දුන්හිඳ ආශ්‍රිතවය. එය සිදුවී පැය දොළහක් ගතවෙන්නටත් මත්තෙන් තවත් රිය අනතුරක් පිළිබඳව අසන්නට ලැබුණේ නුවරඑළිය රදැල්ල ආශ්‍රිතවය.
මෙම රිය අනතුරු දෙකෙන් පමණක් මියගිය ගණන 06 කි. තුවාල ලැබූ සංඛ්‍යාව 62 කි. මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා මෙරට මාර්ග අනතුරු 1818 ක් සිදුවී ඇති බව සහ අනතුරුවලින් පුද්ගලයන් 1898 ක් ජීවිතය හැරගොස් තිබෙන බවය.
ලෝක බැංකුවද දත්ත නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව හදිසි අනතුරුවලින් වැඩිම පිරිසක් මියයන රට ශ්‍රී ලංකාව වී ඇති බවය. ඒ අනුව වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වටිනා ජීවිත 3,000 ක් පමණ අහිමිවීමත් 8,000 ක් පමණ දරුණු තුවාල හේතුවෙන් පූර්ණකාලීන ආබාධිතයන් වන බවය.
මෙහි නොවිසිඳිය හැකි ගැටලුව වන්නේ මෙම මාර්ග අනතුරුවලට ලක්වන තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසක් වයස අවු. 15-64 අතර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ වන පිරිස වීම නිසාය.
මේ අනුව මාර්ග අනතුරුවලින් වන මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටක වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර මූල්‍ය ප්‍රතිශතයක් රෝගී නඩත්තුව සඳහා වැය වන බවත් ඔවුන් පෙන්වාදී ඇත. මෙම දත්ත ගැන සිතීමේදී අප ලැජ්ජා විය යුතුය.
මන්ද මාර්ග අනතුරු සියල්ල මිනිසාගේ හෝ මිනිසා භාවිත කරන වාහන, මාර්ග සහ නොසලකා හරින නීති නිසා ඇතිවන බැවිනි.
නොවැම්බර් පළවෙනිදා සිදුවූ මාරක රිය අනතුරු දෙකම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ අපරික්ෂාකාරී රිය ධාවනය, මෙරට බොහෝ මාර්ග පද්ධති රිය ධාවනයට සුදුසු පරිදි නඩත්තු නොකිරීම, අධික වේගය වැනි හැමදාමත් රිය අනතුරකදී කතා කරන පොදු කාරණාමය.
අනතුරට ලක්වූ වාහනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ක්ෂේත්‍ර චාරිකාවේ යෙදුණු බසයේ කාර්මික දෝෂයක් තිබූ බව පමණක්ය. රියදුරාට ලයිසන් නොමැති බව ඔවුන් දැන නැත.
එපමණක් නොව දුන්හිඳ අඹගස්හන්දිය ප්‍රදේශයේ ජනතාව පැවැසුවේ වංගුවේ මාර්ගයට නෙරා පැවැති විශාල ගලක් ඉවත් නොකොට දීර්ඝ කාලයක් තිබීම නිසා මීට පෙර අවස්ථා කිහිපයකදීත් මාර්ග අනතුරු ගණනාවක් සිදුවූ බවය. මෙවැනි අවාසනාවන්ත සිද්ධිවලින් පෙනී යන්නේ රජයේ ආයතනවලත් වැටුප් සහ වරප්‍රසාද ලබමින් හොරුන්, මිනීමරුවන් තවමත් සිටිනා බවය. දැන්වත් මොවුන් සොයා ගමන් අරඹන්න. නීතිය ඉදිරියට ගෙනියන්න.