ශ්‍රී ලංකා පොලිසිය මේ දවස්වල වැඩිපුරම අමනාප වී ඇත්තේ රියදුරන් සමඟය. එම අමනාපයට අවිනීත රියදුරන් මෙන්ම විනීත රියදුරන්ද මෙවර ඇතුළත්ය. නමුත් මේ වාක්‍ය නෙත ගැටෙන ඕනෑම කෙනෙකුට රියැදුරන් සහ පොලිසිය අතර ඇතිවන අමනාපකම්, බත ඉදෙනකම් පමණක්ය යැයි කියමින් සාමාන්‍ය දෙයක් ලෙස විග්රහ කළ හැකිය. මෙවර එය එසේ නොවනු ඇත.
දැන් හොඳින්ම රඟ දැක්වෙන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” ය. එහි තිබෙන උද්වේගකාරී අවස්ථා සියල්ල ප්‍රධාන නාලිකා සියල්ලෙන්ම ප්‍රවෘත්තිවලට අපට දැකගත හැකිය. ක්ලීන් ශ්‍රී ලංකා සමඟින් තදාසන්න නගරවලට මෙන්ම කොළඹටත් වෙනදටත් වඩා එක් රැස් වූ පොලීසිය උකුසු ඇසින් සොයන්නේ වාහනවල මොඩිෆයි කර ඇති කොටස් සහ ශබ්දවාහිනී යන්ත්‍රය.
බොහෝ රියදුරන් උජාරුවෙන් පැද්ද ත්‍රීවිලයේ, බසයේ, මෝටර් සයිකලයේ පමණක් නොවෙයි මෝටර් රථයෙ මෙන්ම ජීප් රථයෙද සුදු යකඩ බාර්, මඩ්ගාඩ්, නළා, සෙටප්, නානාවිධ ලයිට්, විසිතුරු කෑලිබෑලි ගැලවෙන්නේ රියදුරන්ගේ හිතත් පපුවත් දෙකම පොලිසිය අතට අරගෙනය. ඒ නිසා මේ දවස්වල ශෝක ගීතිකා නොඇසේ.
මෙලෙස ගැලවෙන දේවල් අතරින් රියදුරන්ට අමතක වී ඇත්තේ මෙරට වැඩිවී ඇති හදිසි අනතුරුවලදී මේවා වැදි මියගිය කොටසක්ද සිටින බවය. පසුගිය කාලයේ සිදුවූ බොහෝ රිය අනතුරුවලදී වාහනවල මොඩිෆයි කරන ලද කොටස් ඇඟේ වැදී මියගියේ ඔවුන්ගේ කෙනෙකු නොවන බැවින් එහි රිදුම ඔවුන්ට ගානක්වත් නැත.
එසේ බලන කල අපට නම් ක්ලීන් ශ්‍රී ලංකා එක අතකින් හොඳය. පාට පක්ෂ පසෙකලා බලන කල නීතියටත් කරන්නට බැරිවී තිබූ වැඩ කොටසක් පොලිසියත් ක්ලීන් ශ්‍රී ලංකාත් එකතුවී හරි ලස්සනට කරගෙන යන හැඩය.
ඒ අතරම අපට තැනින් තැන ඇසෙන්නේ වාහන මොඩිෆයි කිරීම සහ එවැනි බඩු අලෙවි කිරීම වෘත්තිය කරගත් මිනිසුන්ට මේ වැඩෙන් බඩේ පහර වැදී ඇති බවය. එය කෙසේ වුවත් ඔවුන්ට මේ රටේ හොඳින් මුදල් ඉපැයීමේ විකල්ප රස්සාවල් ඕනෑ තරම් නොමැතිද?
හදිසි අනතුරක් නිසා පූර්ණ කාලීන අබ්බගාතයෙක් හෝ අර්ධ කාලීන අබ්බගාතයෙක් වන පිරිස බලා ගැනීමට රජයටත් සෞඛ්‍ය අංශයටත් මහා පරිමාණ මුදලක් වාර්ෂිකව වැය කරන්නට වන අතර ඒවා අවම කර ගැනීම සඳහා මෙවැනි වැඩසටහන්ද පිටිවහලක් වන බව අමතක නොකළ යුතුය. ක්ලීන් ශ්‍රී ලංකා අනෙක් ක්ෂේත්රවලට කෙසේ වුවත් වාහනවල ගැජමැටික් ගැලවීමට යොදාගැනීම නම් රජයට ප්‍රශංසාවක් දිය යුතුම ක්‍රියාවක් බව අපගේ විශ්වාසයයි.