“ මේ රට මගේ රට මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට…”
එළබෙන පෙබරවාරි 04 වැනිදා, අඟහරුවාදා අපි මේ සමරන්නේ නිදහස ලබා 77 වැනි වසරයි. මෙසේ කියූ කළ ඇතැමෙක් අපි සමග එකඟ නොවනු ඇත්තේ අපට තවමත් ඔය කියනා නිදහස තිබේදැයි අපගෙන්ම ප්‍රශ්න කරමින්ය.
එනමුදු සුදු ජාතීන් කිහිපයකට විටින් විට යටත්වී අනේකවිධ තර්ජන ගර්ජන දුක්පීඩා විඳි රටක් ඔවුන්ගෙන් මිදී නිවහල් රටක්, ස්වෛරී රාජ්‍යයක් වීම සැමරිය යුතු නොවේද?
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යනු ශ්‍රී ලංකාවේ ජාතික නිවාඩු දිනයක් පමණක් ලෙස සිතන මානසිකත්වයෙන් අපේ ඔළු ගෙඩි දැන්වත් මුදවා ගත යුතුය. ගිලිහෙමින් තිබෙන ජාත්‍යාලය, ශ්‍රී ලාංකිකයකු වීමේ ආඩම්බරය නතර කරගත යුතුය. එසේ වුවහොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් පෙරදා විරුදාවලි ලත් මේ දිවයිනේ ඉතිහාසය ගැන අද ඉන්න කොයි කවුරුත් වෙනදට වඩා වැඩියෙන් සිතනු ඇත.
ඈත අතීතයේ සිට මේ දිවයිනේ නිදහස වෙනුවෙන් හුස්ම පොද පවා පූජා කළ බොහෝ ආගමික නායකයන් රාජ්‍ය පාලකයන් මෙන්ම ලක් මවට ණය නැති දූ පුතුන් සිටි බව සිහිපත් වනු ඇත. එහෙව් සිහිපත් වීමකදී නිදහස් දිනයේ අංකය කුමක් වුවත් මහා ලොකු උත්සව නොකළත් චාමෙට හෝ ඔවුන් අභිමානයෙන්ම සමරනු ඇත. එම නිසා කවුරුන් කෙසේ කීවත් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ලැබූ නිදහස සැමරීමට අපට ජාතික උත්සවයක අවශ්‍යතාව තිබෙනු ඇත.
එහිදී අපගේ ජාතික සමගිය ගොඩනගාගැනීමේ අවස්ථාවක්ද ඉන් එහාට යමින් ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතිය ලොවට විදහා පෙන්වීමේ අංගෝපාංග සමඟ ත්‍රිවිධ හමුදාවේ ප්‍රබලත්වයන් ලොවට පෙන්වීමේ බලයක්ද ලැබෙනු ඇත. මෙය හුදකලා ලෙස ගමනක් යා නොහැකි රාජ්‍යයක් බව තේරුම් ගැනීම අතිශ්‍යයින්ම වැදගත්ය. එම නිසා 77 වැනි නිදහසටත් නාස්තියෙන් තොර චාම් එහෙත් ගාම්භීර නිදහස් දින උත්සවයක් රටකට අවැසිය.නිර්භීතකම, විශ්වාසය, කැපවීම, දේශප්‍රේමීත්වය, ජාතිකත්වය, සාමය, ජාතික වගකීම සහ ජාතික ඉතිහාසය පිළිබඳ ලොවට කියන අභිමානවත් ජාතියක් බව මෙහිදී අපටද දැනෙනු ඇත.