දුප්පත් පොහොසත් භේදයකින් තොරව බඩගින්න කාටත් දැනෙනු ඇත. එලෙස දැනෙන බඩගින්න මෙලොව පවතින සියලු ගිනිවලට වඩා ලොකු බවත් කියයි. එය එසේ වුවත් පොඩි මිනිහාගේ බඩගින්න ලොකු මිනිහාට දැනෙන්නේ අඩුවෙන්ද? එය විසඳීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් කාටවත් ගත නොහැකිද?
හැමදාමත් මේ රටේ පුරවැසියන් වූ අපට දක්නට ලැබුණේ පැල්පතේ බඩගින්න තෝරාගෙන මෙරට පැවැත්වෙන සෑම ඡන්දයක් පාසාම එය දේපාලඥයාගේ ඡන්ද මනාපයක් බවට පරිවර්තනය කර ගැනීමක්ය.
එය හරියටම කියනවා නම් හිඟන්නාගේ තුවාලය වැනිය. එම තුවාලය නිට්ටාවට සුව නොවන්නට නොදෙන්නේ මේ රටේ බහුතර දේශපාලඥයන්මය. එය යම්කිසි විදියකින් නිට්ටාවටම සුව වුවහොත් කාලෙන් කාලට එම තුවාලය පාරමින් ලබා ගන්නා මනාපයක් මැෂිම නොදැනුවත්වම අක්‍රීය වනු ඇත.
මෙය අවබෝධයට ගත නොහැකි ජනතාවක් සිටින කල්හි ඔවුන් මර නින්දේ සිහින දකිමින් ලබාදුන් ඡන්දයට මෙරට දේශපාලඥයා හරි අපූරු විදිහට කෘතවේදී වී ඇත්තේ හාල්, පොල් පෝලිම්වල සිට ලබා ගැනීමේ අවස්ථාව කලකට පසුව ඔවුන්ට උදාකරමින්ය. එය එසේ වුවද දේශපාලඥයා දැන් කතා කරන්නේද දියවන්නාවේදී ඔවුන් කන කෑමවේලේ මිල රුපියල් දෙදහා දක්වා වැඩි කිරීම පිළිබඳවය.
මෙරට දියවන්නා සාමාජිකයන්ට එහිදී ලබාගන්නා දෛනික ආහාර සඳහා යම් මුදලක් දියවන්නාවට ගෙවීමට සිදුවූ බව අපි දනිමු. එලෙස ගෙවන මුදලට වඩා වැඩි මිලක ආහාර ප්‍රමාණයක් ඔවුන් බඩට දාගත් බව ද අපි දනිමු.
එලෙස ගෙවූ දෛනික මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කිරීම පිළිබඳව ඔවුන් මැසිවිලි නගන්නේ මේ රටේ සියලු ජනතාව දියවන්නාව සහ ඔවුන්ව නඩත්තු කිරීම නිසාම වැඩි මුදලක් ආහාරපානවලට ගෙවා කන බවද අමතක කරමින්ය.
දැන් ඔවුන්ගේ භෝජනාගාරයේ උදේ ආහාර වේලක් සඳහා රුපියල් 600 ක්, දවල් ආහාරවේල සඳහා රුපියල් 1200 ක් සහ සවස තේ වේල සඳහා රුපියල් 200 ක් ගෙවීමට සිදුවේ.
මේ රටේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් මෙලෙස හෝ ඔවුන්ගෙන් කෑමවලට අය කිරීම හොඳ යැයි දකින අතර ජනතාවට වැඩ කිරීමට පත්වූ මොවුන්ට ඔවුන්ගේ කෑම වේලේ වැඩිවීම පමණක් දැනීම සහ ඒ මුදල ගැන වාද විවාද කිරීම ගැන මීට වඩා සිතිය යුතු නොවන්නේද?
විශේෂයෙන්ම ඔවුන්ගේ බඩගින්න පමණක් බඩගින්න ලෙස සිතන සියලු දේශපාලඥයන් ගැන තීරණ ගන්නට කාලයක් තිබුණත් එය අමතක නොකළ යුතුය.