කෝපන්හේගන්හි පැවැත් වූ වැඩකරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්නික් විසින් 1910 දී ඇමරිකාවේ සමාජවාදී පක්ෂය විසින් පළමුවරට පැවැත්වූ ජාතික කාන්තා දිනය, ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි යෝජනා විය.
රටවල් 17 ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගී වූ එම සමුළුවෙහි එම ඉල්ලීම ඒකමතිකව ස්ථීර වෙමින් එහි ප්‍රතිඵලයක් වශයෙන් 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය හා ස්විස්ටර්ලන්තය යන රටවල් ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදා සමරන්නට විය.
අද අපි සමරන්නේ 114 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙය හුදෙක්ම දින සැමරීමක් නොවිය යුතු අතර රටක ජීවයට උරදෙන ශක්තිමත් සහ පෞරුෂවත් කාන්තාවන්ගේ භූමිකාව සිහිපත් කිරීමටත්, ඇය වෙනුවෙන් මගහැරුණු වගකීම් මතක් කරගැනීමටත්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අතීත කාන්තාවන් සිහිකිරීමට අවස්ථාවක් කරගැනීමටත් මාර්තු 08 හොඳ තෝතැන්නක් කරගත හැකිය.
සැබවින්ම ඇය ගැන සැමරීමට දිනයක් අවැසි නැත. ඇයගෙන් මුළුමහත් සමාජයකට, මුළුමහත් රටකට, මුළුමහත් ලෝකයකට කෙරෙන වැඩ ගැන කීමට එක දවසක් කිසිසේත් ප්‍රමාණවත් ද නැත.
උපන්දා සිට ඇය මුළුමහත් ලෝකයකට ජීවය දෙමින් ඇඟේ රුධිරය කිරට හරවමින් තවත් කෙනෙකුට ජීවයක් දිය හැකි එකම සත්ත්වයා ඇය පමණක් නොවේද ? ඇගේ ගර්භනීභාවය, මාතෘත්වය පමණක් අපට වසර ගණනක් වූවත් කතා කළ හැකිය.
අපේ රටේ ආර්ථිකයට ඩොලර් එකතු කරන තේ දලු පිටරට යැවීමට, ඇඟලුම් පිටරට යැවීමට, ගෘහ සේවිකාවක් ලෙස ප්‍රධාන භූමිකාවන් තුනම දරණ ඇය මේ භූමියේදීවත් සුරක්ෂිතදැයි සතුටෙන්දැයි කවුරුන් හෝ උවමනාවෙන් සොයා බලා ඇත්ද ?
මගහැරුණු කතා වෙනුවට අපි මේ සමරන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී රටේ කාන්තාවන් වැඩි පිරිසක් පළමුවරට තේරී පත්වී ඇති පාර්ලිමේන්තුවක ඇය වෙනුවෙන් ඇගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඇගේ සතුට වෙනුවෙන් මීට වඩා හොඳින් සිතා බලා තීන්දු තීරණ ගන්නේ නම් මීට පෙර මාර්තු 08 වැනි දා සැමරූ ජාත්‍යන්තර කාන්තා දින 113 වඩා අර්ථවත් වනු ඇතැයි යෝජනා කරමි.කාන්තාවනී, හැමදාමත් ඔබ ගැන සිතන්න… මන්ද ඔබ සොබාදහමේ අපූර්වතම නිර්මාණයකි.