රටක බලපවත්වන නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනයාගේ ජීවිතය, අයිතිවාසිකම්, දේපල, ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම පාලනය කිරීම තුළින් යුක්තිය ඉටු කිරීමය. එම නිසා නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මය වන රටක, සමාජය යුක්තිය සාමය සහ සුරක්ෂිතතාවය තෑතින්ම ආරක්ෂාවනු ඇත.
නමුත් දැන් දැන් සිදුවන සමාජ සිදුවීම්වලින් ශ්‍රී ලංකා දෙරණ මත මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි එහි වෙසෙන මහජනතාව වශයෙන් අපට ඇත්තේ සැකයකි. තිස් වසරක් පැවති කුරිරු යුද්ධය කාලයේදී මෙන් මරණය දැන් සාමාන්‍යකරණය වී තිබේ. උතුරට වඩා දකුණේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන සමාජයේ මහදවාලේ වෙඩි තියයි, කපයි කොටයි, මිනී මරයි, පහර දෙයි, මංකොල්ලකයි, ස්ත්‍රී දූෂණයන් ද සිදු වේ. එහි හොඳම හරිය වන්නේ මෙකී ඝාතකයන් මෙකී මංකොල්ලකරුවන් මෙකී දූෂකයන් අල්ලා ගැනීමට පොලිසියටත් ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ ආරක්ෂාවට වග කියන ආයතනවලට ලෙහෙසි නොවීමයි. ඔවුන්ගෙන් බහුතරයක් මේ ආයතනවල කනෙන් රිංගයි.
අධෝ මුඛයෙන් ජනතාව සිනාවන කාරණය වන්නේ මිලියන 22 කගේ ආරක්ෂාවට සිටි පොලිස්පති සැඟව සිටින තැනින් අල්ලා ගැනීමට මෙරට පොලිසිය සති ගණනක් මහජනතාවගේ සහාය පැතීමයි. එපමණක් ද නොවේ අලුත් කඩේ උසාවි භූමියේදී වෙඩි තැබීමට උදව් කළ සෙව්වන්දි නැමැති කාන්තාව සොයා ගැනීමටත් පොලිසිය මහජන සහාය ඉල්ලා සිටීමයි. එහෙව් විකාර දකින මහජනතාව මෙහෙව් පොලිසියකින් සහ මහජන ආරක්ෂාවකින් ඇති ඵලය කුමක්දැයි සිතීම පුදුමයක් ද නොවේ.
අලුත් ආණ්ඩුව පත්වීමට කලින් ඡන්ද වේදිකාවේ ත්‍රිල් වෙන්නට කියූ පෝය දෙකකින් මහජන ආරක්ෂාව තර කරන බවට, සියලු සමාජ විරෝධී වැඩ නැති කරන බවට කතා ආණ්ඩු බලය ලැබී තියෙන මොහොතක ඔවුන්ගේ ප්‍රධාන වගකීම නොවිය හැකිද? රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. නීතිය සැමට එක විය යුතුය. එක රටක් එක නීතියක අවශ්‍යතාවය අපට දැන් වඩ වඩාත් දැනෙමින් තිබේ.