අද බදාද දවසකි. ඒ මාර්තු මාසේ 26 වැනි බදාදාය. උදේම දැක්කෙ කවුරුන් හෝ ජීවිතයේ දකින්න අකමැති අසුභම ප්‍රවෘත්තියකි. මුලින්ම තාත්තා ගියේය. ඊට පසුව මාමත් ඒ මඟම ගිහින් ය. අද උදේ අම්මාත් ඔවුන් හැරදා ගියාය.
අප්‍රේල් මාසේ පළවෙනිදට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන තුන් නිවුන් දරුවන් මෙලොව ඉතිරි කරේ දැනට ජීවතුන් අතර සිටින ඔවුන්ගේ අම්මාගේ අම්මාට බලා ගන්නටද? ඇයට මේ කිරි සප්පයන් තුන්දෙනාම බලාගන්නට පුළුවනිද? මාම හරි ඉතිරිවෙලා හිටියනම් මේ දරුවන් තුන්දෙනා කෙසේ හෝ බලාගනීවි යැයි සිත කියනු ඇත.
මිය යනතෙක්ම මාමාද, අම්මාද සිටියේ දැඩි සත්කාර ඒකකයේ මැෂින්වලට සවිකරය. ඔවුන් දෙදෙනාම ජීවත්ව සිටියත් යමක් කර දරුවන් බලා ගැනීමට හැකි වාතාවරණයකින් ගෙදර ඒදැයි සැක සංකා තිබුණි. එහෙම වෙනවාට වඩා මෙහෙම උන එක හොඳ යැයි කිව හැකි හේතු ගණනාවක් ද තිබේ. ඒවා පසුව කතා කළ යුතුය.
ජපුරෙන් ඉගෙනගෙන කැලණියේ විද්‍යාර්ථයින්ට පමණක් නොව ජනමාධ්‍ය ඔස්සේ මානසික විද්‍යාව පිළිබඳ දැනුම සහ ආකල්ප බෙදා දුන් ඔහු නික්ම ගියේ රටක්ම හඬවමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුරක් නිසාය. මේ බිහිසුණු මාරක රිය අනතුර නිසා අද වනවිට කිසිත් නොදන්නා දරුවන් තිදෙනෙකුට සියලු දේ අහිමි වී තිබෙන බව නොදන්නා කෙනෙකු නොමැත.
කිරි කැටියන්ගේ පෙර කළ කර්මය හෝ සරසවි ඇදුරුතුමන්ගේ හෝ මියගිය සියලු දෙනාගේ කර්මය පිළිබඳව එක එක කතා හොර රහසේ හෝ කියවනවාට වඩා දැන් අපට කරන්නට බොහෝ දේ තිබෙන බව අමතක නොකළ යුතුමය.
ඔවුන් මියගිය ද මාරක රිය අනතුරෙන් බේරී ජීවත්ව සිටින සියලු දෙනාගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයට පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන් වාගේම රටක පුරවැසියන් වශයෙන් අපට යමක් කළ හැකිද ඒ සඳහා එකතු විය යුතු නොවේද? දරුවන්ගේ කිරිපිටි වේල ලබාදීමේ සිට අද ඒ මිත්තණියට ප්‍රශ්න නැතුවා නොවේ. මරණ පිළිබඳව ශෝක වෙමින් දුක් වෙමින් සිටින අවස්ථාවක මේ ගැන සිතා අප කටයුතු කළ යුතුය.
එපමණක් නොව රටේ වැඩිවී තිබෙන රිය අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් මීට වඩා ජනතාව කල්පනා කළ යුතුය. සුක්කානම අතට ගත් පමණින් රියදුරකු වන සියලු දෙනාම යහපත් රියදුරෙකු වන්නේ ඔබේ අතේ ජීවිත රැසක් රැfඳන බව සිතා රථය මාර්ග නීතිවලට අනුව පරිස්සමෙන් ධාවනය කළ විටය. අඩු නින්ද මරු කැඳවයි. වැඩි වේගය මරු කැඳවයි. අඩුපාඩු ඇති වාහනය මරු කැඳවයි.
ප්‍රමිතියක් නැති මාර්ගයද මරු කැඳවයි. අධික ශබ්දය සහ අධික කේන්තිය මරු කැඳවයි. ජංගම දුරකථනය භාවිතය ද මරු කැඳවයි. රිය ධාවනය කිරීමේදී ගතයුතු තීරණය ඒ වෙලාවේ ගත නොහැකිවීම ද මරුකැඳවයි. තවමත් අපට මාර්ග අනතුරු අඩු කර ගැනීම සඳහා පෙළ ගැසිය හැකිය. පොලිසිය අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය. වැරදි කරන සෑම රියදුරෙකුටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.