බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයට අනුව නිවන කරා යෑමට සූදානම් වන භික්ෂූන්ටත් භික්ෂූනීන්ටත් ගිහියන්ටත් නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයැයි අපි යෝජනා කරමු. එසේ නොවන කල්හි එය හරියටම රුවලක් නැති නැවක් මුහුදේ පාවෙනවා මෙන් එහෙට මෙහෙට පැද්දෙමින් ඉබාගාතේ යමින් සැඩ සුළි කුණාටුවලටද හසුවෙම්න් අවසානයේ නොදැනීම දියබත් වනු ඇත.
දැන් දැන් බෞද්ධ ශාස්ත්‍රය පිළිබඳවත්, බෞද්ධ ශාසනය ආරක්ෂා කිරීමට පෙරට පැමිණ ඇති භික්ෂූන් පිළිබඳවත් ඔවුන් මගයන්නට සැරසෙන ගිහි සමාජය පිළිබඳවත් මැවෙන පුවත් කිසිසේත්ම හොඳවන්නේ නැත.
බුදුන් වහන්සේ විනය නීති පනවා අකැප යැයි කියූ බොහෝ කරුණු කාරණා භික්ෂු සමාජය විසින් හොර රහසේම භුක්ති විඳීමට යෑමෙන් සහ ඒවාට ගිහි සමාජය විසින් අනුබල දීමෙන් සිදුවන විපාක අපි දුටුවෙමු. උදාහරණයක් වශයෙන් ඉතා මෑතකදී ඉහළ බෝමිරිය රක්ෂපාන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදී සිදුවූ චීවරධාරියාට පහර දීමත් කතුන් දෙදෙනා නිරුවත් කර වීඩියෝ කිරීමත් පෙන්වා දිය හැකිය. මෙවැනි සිද්ධීන් රටේ බොහෝ ප්‍රදේශවල සිදුවන අතර වාර්තාවීම් අවමය.
මෙහිදී එම සිද්ධියට අදාළව අප කිසිවෙකුටත් චීවරධාරියා වැරදි හෝ හරියැයි, එම කාන්තාවන් වැරදි හෝ හරියැයි එම අවස්ථාවේ කුපිත වූ ගිහියන් වැරදි හෝ හරියැයි නිගමන දීමක් අවශ්‍ය නැත. නමුත් සිතිය යුත්තේ මෙවැනි සිද්ධීන් සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීම තුළින් ඇති වන ශාසනික සහ සමාජීය පරිහානිය කොතෙක්ද යන්න පිළිබඳවය.
වගකීමෙන් කිව යුත්තේ ජංගම දුරකථනයක්, ස්ටිල් කැමරාවක් නැතහොත් වීඩියෝ කැමරාවක් අත තිබූ පමණින් සමාජය තුළ සිදුවන අසම්මත සිද්ධීන් වීඩියෝ කර හෝ ඡායාරූප ගත කර අමුඅමුවේ සමාජගත කිරීම තුළින් බලාපොරොත්තුවන ජනප්‍රියත්වයට වඩා බරපතල හානියක් ඔවුන් සිදුකරන බවය. ඒ මතයේ සිට ජංගම දුරකථනය, ස්ටිල් කැමරාව, වීඩියෝ කැමරාව දැළි පිහියක් ලෙස භාවිත කරන ඕනෑම කෙනෙකුට රටේ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුය. එපමණක්ද නොව සමාජ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාවයද දැනෙනු ඇත.
එම නිසා කිසිවිටෙකත් සිවිල් සමාජයේ පුරවැසියන්ට ඉහත භාණ්ඩ තිබූ පමණින් වෘත්තීය මාධ්‍යවේදියෙකු විය නොහැකි බව වටහා ගනිමින් ඔවුන් සමාජ පුරවැසියන් වශයෙන් ආරක්ෂා කළ යුතු විනය, හික්මීම, පාලනය ඇතිව ජීවත් විය යුතුය. එසේ නොවන්නේනම් අනාගතයේදී ඔවුන්ට දාව උපදින දියණියන් ඔවුන්ගේම සහෝදරියන් බිරින්දෑවරුන් හෝ මව්වරුන් දැන හෝ නොදැන තවත් පිරිසකගේ සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්තිමය ගොදුරක් වීම වළකාලිය නොහැකිය.