ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ කතාව නැවත දිගහැරෙමින් තිබෙයි. මීට වසර දෙකකට ඉහත මැයි මාසයේ 21 වැනිදා අපේ රටේ මුහුදු සීමාවේදි මුහුදුබත් වූ මෙම නෞකාව සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය පවා වාර්තා කළේ ශ්‍රී ලංකාව ඉල්ලන් කෑමට සැරසෙන බවය.
ඈත මුහුදු තීරයේදීම ගිනිගෙන දැවෙමින් තිබූ නැවක් ඉන්දියාවේ නාවික නිලධාරීන් පවා ඇතුළුවීම ප්‍රතික්ෂේප කර තිබූ අවස්ථාවක අපේ රටේ කල දුටු කල වළ ඉහ ගන්නා දේශපාලනඥයන් නාවික කටයුතු පිළිබඳව විශේෂඥයන්ටත් උඩින් යමින් පර්ල් නෞකාවට උදව් දීමට ඉදිරිපත් වූයේ ඇයි දැයි දැන් අපට වඩාත් පැහැදිලිය.
ආරංචි මාර්ගවලට අනුව ඒ බොළඳ ඇත්තන්ට ගිනිගෙන දැවෙන නැව පෙනී තිබුණේ එවකට පැවති ඩොරල් අර්බුදයට විසඳුම් ගෙනෙන සුදු අලියෙකු ලෙසටය. ඩොලර් රස්නය මිස එහි තිබුණු කන්ටේනර්වල නයිටි්රක් කාන්දුවේ රස්නය ලද බොළඳ දේශපාලනඥයන්ට පෙනුණේම නැත.
එස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට ඇතුළු වූයේ එබඳු වටපිටාවකය. රසායනික ගින්නක් වතුර දමා නිවිය හැකියැයි සිතූ බොහෝදෙනාට දින 13 ක් එක ලෙසම දැවෙන නැවක් සියැසින් දැක ගත හැකි විය. පරිසරයට කෝස්ටික් සෝඩා, මෙතනෝල්, සෝඩියම් මොනොක්සයිඩ් ඇතුළු තවත් බොහෝ රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දැවෙමින් විෂ වායූ මුදා හැරිම, මුහුද ජලයට එකතු වීම පිළිබඳව අවබෝධයක් තිබුණේම නැත.
තවමත් සිදු වූ පරිසර විනාශය ගණන් බලා නොමැති බව කියයි. ඒ නිසා නැවට විරුද්ධව, නැව අයිති සමාගමට හෝ රටට විරුද්ධව නඩු දැමිමට නොහැකි වී ඇති බවද කියයි.
දැන් දැන් ආරංචි වන්නේ නඩු දැමීම ප්‍රමාද කිරීමට ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලස් වශයෙන් පුද්ගලයෙකු ලබාගෙන ඇති බවයි.මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ මෙලෙස අල්ලස් ගත් පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවයි.
මේ වනවිටත් පරිසරවේදීන් සහ සාගරවේදීන් පවසන්නේ මුහුදට සහ පරිසරයට එකතු වූ රසායන ද්‍රව්‍ය සහ ඒවායේ විෂ වායු බොහොමයක් අපගේ ආහාර දාම හරහා ශරිරයට එකතු වී ඇති බවයි. ඒ නිසා විශේෂයෙන්ම වත්තල සිට හලාවත දක්වා ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉදිරි කාලයේදි පිළිකාවට ගොදුරූ වීමේ අවදානම වැඩි වී ඇති බවයි.
ඔවුන් මෙසේ නිගමනය කරන්නේ එම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල චෙකොස්ලෝවැකියාවේ ප්රාග් විශ්වවිද්‍යාලයට යවා ලබාගත් වාර්තාවන්ට අනුවයි.අපට දැන් තීන්දු තිරණ ගත් මෝඩයන්ගෙන් අසන්නට වන්නේ ඩොලර් වෙනුවට පිළිකා ලබාගැනීම ප්‍රමාණවත් ද යන්නයි.