මේ රටේ මාධ්‍යවලට සතියක් හෝ සති එකහාමාරක් පට්ට ගහන්නට තවත් හොඳ ප්‍රවෘත්තියක් ලැබී තිබේ. එහි ප්රවෘත්තිමය තරම කොතෙක්ද කියතොත් සමහර විද්‍යුත් මාධ්‍ය එම ප්‍රවෘත්තිය රේටින් ලබාගැනීම දක්වා මේ සටහන තබන මොහොත වනවිටත් ඔසවා තබා තිබේ. එයින් නොනැවතෙන වාරණයක් නොමැති සමාජමාධ්‍ය ඔවුන්ද ප්‍රධාන ජනමාධ්‍ය කාර්යභාරය ඉටුකරමින් සමාජමාධ්‍ය ඔස්තාර්ලා විසින් හිතු හිතු හෙඩින් දමමින්, විකාර කෑළි එකතුකරමින් වැඩිපුර ලයික් ගැනීමට සහ ශෙයාවීම සඳහා එකම ප්‍රවෘත්තිය විකෘති කරමින් සිටිි. ඊට එහාගිය සමාජමාධ්‍යවල කමෙන්ට් තීරුව විවිධ තරාතිරමේ නිල නොලත් සමාජ උපදේශකයන්ගේ උපදෙස්වලින් පිරී ඇත්තේ සිද්ධියට පාදක වූ සියලු තොරතුරු ඔවුන් සියැසින් දැක්කා මෙනි. මේ සියල්ල බලාගෙන සිටින සමාජ වගකීමක් ඇති මාධ්යයන්ටත් ජනතාවටත් කියන්නට සිදුවන්නේ අහෝ මෙවැනි ජඩ මාධ්‍ය සංස්කෘතියක් රටට පිළිලයක් වන බවය.
ඇයට වයස 16 කි. ඇය කළුතර පාසලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා සිසුවියක් වූ අතර වාර්තා වූ අන්දමට මීට පෙර කිහිපවතාවක්ම අනෙක් සිසුවියන්ට වඩා ටිකක් වෙනස් හැසිරීමක් තිබූ බැවින් පන්ති තහනමකට ලක්ව තිබේ. ඒ වෙනස් හැසිරීම කුමක්දැයි අද අපට හරියටම කිව නොහැකි වුවත් ඇයට දඬුවම් ලබාදුන් ගුරුවරුන් දඬුවම් ලබාදුන්නා විනා ඇගේ වෙනස් හැසිරීමට හේතුව කුමක්ද යන්න සොයාබලා එයට පිළියම් යෙදීමක් නොකළ බැවින් මෙම සිසුවිය අද මෙවැනි ඛේදනීය ඉරණමකට පත් වූවා යැයි සිතීමේ වරදක් නැත. එසේනම් මෙරට සාමාන්‍ය පෙළ, උසස් පෙළ හදාරන දරුවන්ට උගන්වන පාඩම් සහ ගුරුවරුන්ගේ ආකල්පවල පැහැදිලි වෙනසක් ඇතිනොවන්නේ නම් මෙවැනි සිද්ධීන් මතුවටත් සිදුවනු ඇත.
මෙම දැරියගේ සිරුරේ දකුණු පාදයේ සහ වම් පියයුරේ දත් පහරවල් තිබුණත් අතවරයට ලක්වී නොමැති බව මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණත් එයින් ඇය ඉගෙනගෙන ඇති ලිංගික අධ්‍යාපනය නිසා ලිංගික ක්‍රියාවන්ට ගොදුරු නොවු බවක් කියැවේ. එබැවින් දරුවන් පොතපතට සීමා කරන අධ්‍යාපනයට එහාගිය සමාජයීය සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳව පාසලෙන්, ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉගැන්වීමක් දරුවන්ට ලැබිය යුතු බව අවධාරණය කෙරේ.
මේවා උදාහරණයට ගනිමින් දෙමාපියන්ගේ කාර්යභාරය විය යුත්තේ දරුවන් ආශ්‍රය කරන යහළු යෙහෙළියන් ගැනත් දරුවන් යන එන ගමන් බිමන් ගැනත් වගකීමෙන් සොයා බැලීමකි. කළුතර පස් මහල් හෝටලයේ තෙවැනි මහලෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ මෙම දැරිය ගෙදරින් එළියට රැගෙන තිබුණේ ඇගේ පාසලේම උසස් පෙළ පන්තියේ සහෝදරියකි. ඇය මියගිය දැරියගේ මවට පවසා ඇත්තේ අදට විතරක් දන්සලක් වැඳීමට ඉඩදෙන්න යන්නයි.
නමුත් අවසානයේ සිදුවී ඇත්තේ විවාහක පුද්ගලයෙකු සමඟ යෙහෙළිය ලැගුම්හලකට ඇරලවීමකි. එම නිසා දෙමාපියන්ට දරුවන් අශ්‍රය කරන යහළුවන් සහ යන එන ස්ථාන ගැන සොයා බැලීමෙන් තත්පරයකටවත් මිදිය නොහැකිය. මෙවැනි සිද්ධීන් එකක් යටපත් වෙමින් තවත් එකක් මතුවන විට පමණක් සියලු කාරණා ගැන අවදානය යොමු නොකර දරුවන් කුමන වසසේ සිටියත් ඔවුන් රැවටෙනු ඇතැයි සිතා සහ රවට්ටනු ඇතැයි සිතා දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් මෙන්ම සමස්ථ සමාජයම ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා එකතු විය යුතුය.