ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව දනිමු. එම නිසා ජලයෙන් තොරව ජීවයක් පැවතිය නොහැකි බව අප ඔබට අමුතුවෙන් කිව යුතු නැත. තත්ත්වය එසේ තිබියදීත් ජනතාවගේ ජීවිතයේ තීරණාත්මක සාධකවලින් එකක් වන ජලය සම්පතක් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් අසන්නට ලැබෙන්නේ ඒ තරම් හොඳ පුවතක් නොවේ. පසුගිය දා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ මෙරට ජල බිල්පත 50% කින් වැඩි කිරීමේ සූදානම පිළිබඳවයි.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජාතික පුවත්පතකට පවසා තිබුණේ මෙරට ජල බිල්පත අවසන් වතාවට පාරිභෝගිකයන්ට දැනෙන ලෙස වැඩි වූයේ 2012 වසරේදී බවයි. නමුත් ගිය වසරේද යම් ප්‍රමාණයකින් මෙරට ජල බිල්පත වැඩි වුවත් එය මෙරට විදුලි බිලේ වැඩිවීමට සාපේක්ෂව අවම අගයක් ගත් බවත් ඔහු පවසා තිබේ.
ඒ සඳහා හේතූ ලෙස ඔහු පෙන්වා දෙන්නේ පාරිභෝගිකයාට විෂබීජවලින් තොර පිරිසිදු පානීය ජල සම්පතක් ලබාදීම සඳහා ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට යොදා ගන්නා රසායන ද්‍රව්‍යවලට පෙරට වඩා වැඩි මුදලක් වැය කිරීමට එම ආයතනයට සිදුව ඇති බවයි.විශේෂයෙන් මනු කියවන්නන්ට මනු කියවීම සඳහා යන ප්‍රවාහන ගාස්තුවේ වැඩීවීමත් මෙයට එක් වී තිබේ. මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ රටේ ජල නාස්තිය මහා පරිමාණයෙන් සිදුවන බැවින් එය අඩුකර ගැනීමේ උපක්‍රමයද ජල බිල්පත වැඩි කිරීමේ ක්‍රියාවලිය තුළ ඇති බවයි.
මේ මොන කාරණා ඔවුන් කීවත් දැන් ශ්‍රී ලාංකික අපගෙන් බඩගින්නේ මියයාමට බැරි තැන වතුර කෝප්පයකින් හෝ බඩකට පුරවා ගැනීමේ අයිතියද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් මෙරට රජයත් උදුරාගෙන තිබේ. අපේ රටේ බහුතරයක් සිටින්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා වතුර ලීටර් 500 ක් පමණ භාවිත කරන පිරිසක් බැවින් ඔවුන්ගේ
ජල ගාස්තුව 50% කින් වැඩි නොකර ඔවුන් වෙනුවෙන් දියහැකි උපරිම සහන ලබා නොදෙන්නේ නම් දැනටමත් කබලෙන් ළිපට වැටී ඇති මෙරට සාමාන්‍ය ජල පාරිභෝගිකයා ළිප තුළම මියයෑමක් විනා අන්කවරක් ද?
මේ වනවිටත් මෙරට භාණ්ඩගාරයෙන් වැඩි හරියක් යැපෙන මෙම ආයතනය ගොඩගැනීමේ අරමුණින් ඒ පීඩනය ජනතාව පිටම පැටනොවීමේ වගකීම ජනතාව පත්කළ රජයකට ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත. නැතිනම් සිදුවන්නේ එක පිට සිදුවූ විදුලි බිලේ වැඩි වීමත්, ඉන්ධනවල වැඩිවීමත් සමග ජල බිල්පතේ දරාගත නොහැකි වැඩි වීමත් නිසා කුඩා ව්‍යාපාර වැසීමත්, ගෘහස්ථ පරිභෝජනයෙන් ඉවත් වීමත් විය හැකිය.