ප්‍රශ්න නිසා වැඩියෙන්ම ලෙඩවන ආයතන කිහිපයක් ලංකාවේ අපට හඳුනාගත හැකිය. එයින් පළමු තැන හිමිවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටය. දෙවනි තැන මෙරට සෞඛ්‍ය සේවාවටත් සෙසු තැන් බලශක්තිය සම්බන්ධ ආයතනවලටත් අධ්‍යාපනය සම්බන්ධ ආයතනවලටත් පිළිවෙලින් හිමි වනු ඇත.
ඕනෑම අයතනයක වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒවා දිනා ගැනීමටත් රැකගැනීමටත් සේවකයන්ට හඬනැගීමේ අයිතියක් ඇත. නමුත් ඒවා කරන පිළිවෙළක්ද ඇත. පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඔවුන් කළ යුත්තේ සාකච්ඡා
මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීම මිස ඒවාට මහජනතාව බිල්ලට තබා මස් රාත්තලම ඉල්ලා එක රැයෙන් වර්ජන දියත් කිරීම නොවනු ඇත.මෙලෙස සූදානම් වන්නේ පසුගියදා සිදුවූ දුම්රිය වර්ජනය නිසා ඇතිවූ ඛේදවාචකය පිළිබඳව විපරමක් කිරීමටය.
මොරගොඩ පදිංචි දිනිත් ඉඳුවරගේ මරණය සැබැවින්ම ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැක්කේ එම මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අයත් ඔහු සමඟ දුම්රියේ වහළය මත ගිය අයත් එක හඬින්ම කියා සිටින කතාව නිසාය. ඔවුන් කියන්නේ දිනිත්ව හිතාමතාම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මරා දැමූ බවය.
දැන්වත් වෘත්තීය සමිති ආණ්ඩුවට දොස් නැඟීම හෝ ආණ්ඩු වෘත්තීය සමිතිවලට දොස් නැඟීම නතර කළ යුතුය. දිනිත්ගේ මරණයට මේ සියලුදෙනාම අඩුවැඩි වශයෙන් වගකිව යුතු අතර තනතුර ඉල්ලා වර්ජනයේ යෙදුණු දුම්රිය රියදුරුන් 84 දෙනාම මෙම සිද්ධියේ චූදිතයන් විය යුතුය.
දුම්රිය වර්ජනය නිසා ආණ්ඩුවට මහත් පාඩුවක් සිදුවූ බවද ඒ පාඩුව රටේ සංවර්ධනයට සෘජුවම බලපාන බවත් ඇත්තය. එම නිසා නිතරම වර්ජනවලට එළඹෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිද තමන්ගේ වගකීම් ගැන මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතු නොවන්නේද? මන්ද දහසකුත් අඩුපාඩු මැද යම් මුදලක් ගෙවා මහජනතාව ගතින් නොහඬා සිතින් හඬමින් මේ
පහසුකම භුක්තිවිඳින්නේ කරන්නට කිසිත් නොමැති නිසාය. හොඳින් බැලූ කල සුද්දන් රට කළ කාලයේ ආරම්භ කළ දුම්රිය සේවාව සැළකිය යුතු වෙනසකට ලක්කරන්නට මෙතෙක් සිටි ප්‍රවාහන අමාත්‍යවරයෙක් හෝ රජයක් සමත් වී නොමැත. සිදුවූයේ ජපානයෙන් අපට ලැබුණු විද්‍යුත් දුම්රිය පද්ධතිය පවා බංගලාදේශය ඩැහැ ගන්නා කල් නිදිමතේ බලා හිඳීමය.
දුම්රිය වාර 118 ක් නැවතීම මැද්දෙ වුවත් ධාවනය වූ සීමිත දුම්රිය වාර ගණන නිසා තවත් ඕනෑ තරම් අකරතැබ්බයන් දුම්රිය මගීන්ට සිදුවන්නට ඇත. වාර්තා වූ මරණ ගණන අඩු වුවත් තුවාලවීම්, අපහසුතාවයට පත්වීම්, ලිංගික අතවර මේවා තුළ සිදු නොවූයේයැයි කියන්නට තරම් අපි බාලබොළඳ නොවිය යුතුය.
වර්ජන කරන උදවියත් වර්ජන කිරීමට ඔවුන්ව පොළඹවන උදවියත් ජීවිතය ගැටගසාගන්නට පිම්මෙ දුවන මහජනතාව ගැන මීට වඩා ගැඹුරෙන් සිතා නොබලන්නේ නම් දිනිත් වැනි තරුණයන් තවතවත් දුම්රියට බිළිවනු ඇත. එපමණක්ද නොව වරින් වර සිදුවන දුම්රිය වර්ජන ඉවසාගත නොහැකිව කුපිත වන ජනතාවගෙන් පහර පිට පහර වර්ජකයන් සහ වර්ජනයට පොළඹවන ඇත්තන් ළඟදීම කනු ඇත.