එඩ්වඩ් – චරිතා
හිතන්නෙත් නැති මොහොතක පරණ සිංදුවක් වෛරල් වෙලා. මේ වෙනකොටත් ඒ සිංදුව බොහෝ තරුණ පිරිස් අතර ජනප්‍රියත් වෙලා. ඒ නවීන නාද රටාවකට.“හැබැයි ඒකත් නරකම නෑ. අලුත් අත්දැකීමක්.” එහෙම කියන්නේ ඒ ගීතයේ මුල් හිමිකාරිණීය…
“ පාවෙන වලා අතර
ඔබ සැඟවී… ඔබ හිනැහී…
සෙනහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි…//
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුලු ගීතිකා…”
චරිතා ප්‍රියදර්ශණී පීරිස් නමැති සුභාවිත ගීත ගයන්නිය ඒ දෙස බලන්නේ එහෙමයි.එහෙත් ඇය පවසන්නේ තවමත් පරණ නාද රටාවට ප්‍රිය කරන පිරිසක් මේ රටේ නැතුවාම නොවන බවයි. ‘අලුුත් පරපුර වෙනුවෙන් ‘නෙතු දැහැන්’ වගේ අලුත් ආරෙක ප්‍රසංගයක් ඕන බව මට දැනුනෙ ඒකයි.’
එහෙනම් කියන්නකො මොකක්ද මේ ‘නෙතු දැහැන්’ ?
‘නෙතු දැහැන්’ මගේ හිතේ ඇතිවුණු අදහසක්. 2019 දී තමයි ‘නෙතු දැහැන්’ එඩ්වඩ්, මම සහ පුතා කළේ. ඊටපස්සෙ කොවිඩ් ආවා. අවුරුදු 5 කට පස්සෙ තමයි නැවත අපි ‘නෙතු දැහැන්’ ආදර ගීත සැදෑව යළි කරන්නේ. මේක පවුලේ ගීත සැදෑවක්. මමත්, එඩ්වඩුත්, පුතා චන්දීපත්, දුව ශාරන්‍යාත් ‘නෙතු දැහැන්’ වල ගීත ගායනා කරනවා.
ඒ ජනවාරි 14 වැනි ඉරිදා BMICH හිදි. හරියටම සවස 6.30 ට පටන් ගන්න බලාපොරොත්තු වන ප්‍රසංගය පැය දෙකහාමාරක් වගේ කාලයක් තියෙනවා. ‘නෙතු දැහැන්’ වලට කථනයෙන් දායක වෙන්නේ ක්ලිෆඩ් රිචඩ් සහ පූර්ණිකා පීරිස්. අපිත් එක්ක ගායනයෙන් හා වාදනයෙන් පේෂල මනෝජ්, දිනේෂ් සුබසිංහ එකතු වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කරන්නෙ සුගත් හෙට්ටිආරච්චි. මේ ප්රසංගයෙ කවර් වර්ෂන් විතරක් නෙවෙයි මෑෂප් පවා තියෙනවා.
‘මේ මල් යායේ’ ගීතය පුතා සහ එඩ්වඩ් රයිගම් ටෙලි සම්මාන උළෙලකදී ගයනා කළා. ඒකට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සෙ දෙරණින් ‘ලෙය සහ ලය’ මුල්ම වැඩසටහනත් මේ දෙන්නා දාලා කළා. තාත්තලා පුත්තු, අම්මාල දූලා, තාත්තලා දූලා, අම්මලා පුතාලා ඒ කම්බිනේෂන්වලට මිනිස්සු ගොඩක් කැමති වුණා. කොච්චර වුණත් ඒ පවුල් සංස්කෘතියට මිනිස්සු තවමත් ආදරය කරනවා.
ඒ නිසා අපි හිතුවා සංගීත පවුලක් විදිහට ‘නෙතු දැහැන්’ අලුත් පරම්පරාවට ගැළපෙන්න කරන්න ඕනෙ කියලා. මේකේ වෙනස තමයි තාත්තාගෙ සිංදු පුතා ඒ විදිහටම කියන්නෙ නැහැ. මගේ සිංදු දුව ඒ විදිහටම කියන්නෙත් නැහැ. අපේ ළමයි එහෙම කියන්න කැමතිත් නැහැ.
එයාලා කොහොමටත් කියන්නෙ එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්රියාදර්ශණී කියලා එක්කෙනයි ඉන්න පුළුවන් කියලා. මේ ආදර සැන්දෑවේ එක එක සෙග්මන්ට් තියෙනවා. ඉංග්‍රීසි ගීත එකතුවක්, හින්දී ගීත එකතුවක් ඒ අතර තියෙනවා. හින්දි ගීත එකතුව මෙහෙයවන්නෙ යශෝධා විමලධර්ම.
තවත් ගීත 10 ක් විතර ඕඩියන්ස් එකත් එක්කම උඩින් මයික් දාලා ගායනා කරනවා. ඒක හරියට සින්ග්අලෝන්ග් එකක් වගේ. මගේ ලේලි දේශකීත් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා. මේක වෙනස්ම අත්දැකීමක් වේවී.
එතකොට එඩ්වඩ් වසර ගණනාවක් කළ මාරම්බරී අවසන්ද ?
මාරම්බරී අවුරුදු 15 ක් එක දිගට අපි පවත්වාගෙන ගියා. මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගයක්. ඒකේ ගීත කිසිදු වෙනස් කිරීමකින් තොරවයි අපි ගායනා කළේ. යුග ගීත නම් එකක් හෝ දෙකක් තිබුණා. ඊට අමතරව සමූහ ගයනා, නූර්ති ගී, ජන ගී, නාඩගම් සහ සම්භාව්‍ය ගීත කිහිපයක් එයට ඇතුළත් වුණා. අවුරුදු 15 ක්ම චරිතත් ඒ ප්‍රසංගයේ උපරිම විනාඩි 6 ක් තමයි ගීත ගායනා කළේ. අපි දෙන්නාම එකම ක්ෂේත්රයේ ඉන්න නිසා කාලයත් ගෙවිල යන නිසා මාරම්බරී එහෙම්ම තියෙද්දී තවත් ප්‍රසංගයක් නිර්මාණය කරන්න ඕන කියලා චරිතමයි කිව්වේ.
චරිතා, ඔබට දැනටමත් නෙතු දැහැන්වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මිනිස්සු අපට හරි ආදරෙයි. දැනටමත් ගොඩක් අය ප්‍රසංගයට එනවා කියලා තියෙන්නේ. මාධ්‍යත් අපට ගොඩක් උදව් කරනවා. මාරම්බරී 100 වෙනකන් අපිත් එක්ක එක දිගට හිටපු මාධ්‍යවේදීන් 10 දෙනෙකුට අපි සම්මාන දුන්නෙත් ඒ නිසා. අපි ඕස්ට්‍රේලියාවට වාර 14 කට වඩා වැඩියෙන් මාරම්බරී අරගෙන ගිහින් තියෙනවා. කාලෙකින් ගියේ නැති වුණොත් කතා කරලා අහනවා දැන් මේ පැත්තෙ ආවොත් හොඳයි නේද කියලා.
මට හිතෙන්නේ අපිට සිංදු කියන්න බැරිවෙන කාලෙක වුණත් මේ තරම් ආදරණීය මිනිස්සු අපව අතහරින එකක් නැහැ කියලා. ජීවිතයේ ඇතිවන බැඳීම් වටින බව මම හැම තිස්සෙම කියනවා. නිර්මාණකරුවෙකුට අවංකව ඇතිවන බැඳීම්, ආදරය සල්ලිවලට ගන්න බැහැ. මගේ දරුවෝ දෙන්නටත් මම කියන්නෙ මනුස්සකම තමයි පළවෙනි දේ කියලා. මම කවදාවත් මීඩියාවලට එකයි ඇතුළේ එකයි තියාගන්න කෙනෙක් නෙවෙයි. මම, මමම තමයි. තිරයේදී විතරයි අපි ස්ටාර් වෙන්නේ.
තාත්තා විදිහට දරුවෝ දෙන්න ගැන මොනවාද හිතන්නේ…
අපි කවදාවත් අපි සිංග් කරන නිසා එයාලටත් සිංග් කරන්න කියලා නැහැ. හැබැයි දුවටයි පුතාටයි දෙන්නටම සිංග් කරන්න පුළුවන්. චන්දීපට සිංග් කරන්නයි ප්ලේ කරන්නයි දෙකම පුළුවන්. ඕනෙම ඉස්න්ස්ටෘමන්ට් එකක් එයා හොඳට ප්ලේ කරනවා. එයාට තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී ගත්ත මූල්‍ය කළමනාකරණ ඩිග්රියක්. දැන් එයා විවාහ වෙලා පදිංචි වෙලා ඉන්නෙ කැනඩාවේ. එයා ගීතවලට තනු නිර්මාණය කළා.
චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයත් කළා. ජාතික රූපවාහිනීයෙන් විකාශය වුණු ‘ටෝන් පොයම්’ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙලත් හිටියා. ITN එකේ ‘නිරාශා’ ටෙලිනාට්‍යයේ රගපෑවා. උදයකාන්තගේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ දෙන්නාම රගපෑවා.දුව ශාරන්‍යා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයා තාම ඉගෙන ගන්නවා. එයාටත් හොඳට සිංග් කරන්න පුළුවන්. එයා වැඩියෙන්ම ආස ඉංග්‍රීසි ගීතවලට.
නෙතු දැහැන් කියන්නෙ ඔය විදිහට පස්දෙනාටම එකට ලංකාවේදි හමුවෙන්න ලැබෙන අපූරු අවස්ථාවක් නේද ?
අපොයි ඔව්… (දෙන්නම) පවතින තත්ත්වයත් එක්ක අපි පස්දෙනාට එකට හමුවෙන්න තියෙන වාර ගණන දැන් හරිම අඩුයි. පුතා ලංකාවට ආවේ අවුරුදු එකහාමාරකට විතර පස්සේ. ඒත් දුවයි පුතයි දෙන්නම අපේ පහුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී අපට මුණගැහුණා. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව තමයි දරුවෝ දකින එක.
චරිතා ඔබ රියැලිටි තරග විනිශ්චයට සහාභාගී වෙන්නෙ නැද්ද?
මම ටික කාලයක් ලිට්ල් ස්ටාර්වල හිටියා. මගේ එක දෙයක් තියෙනවා මම කැමති මුල ඉඳලම ඒ වැඩේ ඉඳගන්න. ඒක දඹුල්ලෙද තියෙන්නේ මම එතනට යනවා. ඒක මාතරද තියෙන්නේ මම එතනටත් යනවා. මුළු ප්‍රොසෙස් එකම මට බලන්න ඕනේ. කාර්ය බහුලත්වයත් එක්ක එහෙම කරන්න බැරිවුණා. නමුත් ඉදිරියෙදි හොඳ රියැලිටි වැඩසටහනකට සහභාගී වේවී. අද හරි දක්ෂ ළමයි ඉන්නවා. මේ හැමෝම හරියට මෙහෙයව ගන්නයි ඕනේ. එයාලගේ අරමුණ ජනප්‍රියවීම වෙන්න පුළුවන්.
හැබැයි එයාලට එයාලගේ දෙයක් කරලා අනන්‍යතාවයක් ගොඩ නගාගන්න අපිට උදව් කරන්න පුළුවන්. අපේ කාලේ අපි ජනප්‍රිය වෙන්න ගොඩක් සිංදු කිව්වෙ නැහැ. සිංදු දහයක් දොළහක් කියනකොට හතක් අටක් ජනප්‍රිය වෙලා අපේ අනන්‍යතාවයක් ගොඩ නැගුණා. එහෙමයි කියල ජීවිත කාලෙම සිංදු කිය කිය ඉන්න ඕනෙ කියල නියමයක් නෑ. අතහැරීමත් පුරුදු වෙන්න ඕනේ.
ගෙදර කටයුතු කරගන්නෙ කොහොමද ?
මම සාමන්යයෙක් අන්තිමට නිදාගෙන මුලින්ම ඇහැරෙන කෙනෙක්. දැන් ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නෙ මමයි එඩ්වඩුයි අම්මයි විතරයි. හැබැයි අපට පාළුවක් නැත්තේ අපේ සැරිසර මියුසික් ඇකඩමි එකට සංගීතයට කැමති ළමයි, වැඩිහිටියන් ඉගෙන ගන්න එන නිසා.
ඇකඩමිය පටන්ගෙන කොච්චර කල්ද ?
දැන් මේ ඇකඩමි එකට අවුරුදු 35 ක්. අපෙන් බිහි වෙච්ච ගෝලයෝ මේ රටේ හැම තැනම ඉන්නවා. හිමාලි සයුරංගී ඉඳන් එරංදී දක්වා ගෝලයෝ ඒ අතර ඉන්නවා. හැබැයි අපි කවදාවත් ක්ලාස් ෂෝ එකක් කරලා නැහැ. අපේ ඇකඩමියට ලොකුවට පබ්ලිසිටි දීලත් නැහැ. අපේ ගේ ඉස්සරහ සැරිසර මියුසික් ඇකඩමි කියල බෝඩ් ගහලත් නැහැ. ඒත් තවමත් සංගීතයට ආස ළමයි විතරක් නෙමෙයි සංගීතයට අස ගීතයක් ගායනා කරන්න කැමති විවිධ වෘත්තිකයන් පවා සැරිසරට එනවා.
ඔබ අම්මා විදිහට පිටරටක ඉන්න දරුවෝ දෙන්නට නිතරම කතා කරනවාද ?
අනෙක් අම්මලාට වඩා මම වෙනස්. මම පුරුද්දක් විදිහට හැමදාම එයාලට කතා කරන අම්මෙක් නෙමෙයි. දුවට මම ටිකක් වැඩියෙන් කතා කරනවා එයා තනියෙම ඉන්න නිසා. පුතාට නම් වයිෆ් ඉන්න නිසා එයාට එහෙම නිතර කතා කරන්නෙ නැහැ. දවස ගානේ උදේට ගුඩ් මොනින් පුතා, රෑට ගුට් නයිට් පුතා ඒවා මගේ ගාව නෑ. මම සාම්ප්‍රදායික අම්මා කෙනෙක් වෙන්න කැමතිත් නැහැ.
එහෙම කරන්න ගියාම ළමයින්ටත් අපි වදයක් වෙනවා. අමතක වීම්වලට බැරිවිම්වලට ඉඩදීල සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න පුරුදු වෙලා ඉන්නවා. සමහර වෙලාවට එයාලට ඕන කමක් තිබුණොත් එයාල මට හරි තාත්තාට හරි කතා කරනවා. මට ඕන කමක් තිබුණොත් මම කතා කරනවා. දවසක් දෙකක් තුනක් එක දිගට දෙන්නා නිශ්ශබ්දව හිටියොත් මම කෝල් කරලා බලනවා අසනීපයක්ද කියලා. මම ඊ නිවුස් අම්මා කෙනෙක් නෙවෙයි. මෙහේ ගොසිප් එහාටයි, එහෙ ගොසිප් මෙහාටයි කියන්න මට පුරුද්දක් නැහැ.
හරින්දී ලියනගේ ✍️