අසංග ප්‍රියමන්ත පීරිස්
ගායන ලොවට පායා ඉක්මණින් නිවී යන තාරකා අපේ රටේ ඕනෑ තරම්ය. ගායකයෙකු ලෙස මිනිසුන් අතරට පැමිණි දා පටන් වර්තමානය දක්වාම ගායකයෙකු ලෙසම සිටින්නේ එහෙමත් කෙනෙක්ය. අසංග ප්‍රියමන්ත පීරිස් ද ප්‍රසංග වේදිකාවට පායා අදටත් දිලෙන ප්‍රවීණ ගායන තරුවක් බව කවුරුත් දන්නා කරුණකි. ‘සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ, මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්, කවියක් වී තොල් පෙති මත මුමුණන්න, ආදරෙයි මං ඔය හිතට තාමත්’ වැනි අදටත් මුවග මිමිණෙන ගී විඩාබර මනසට ඖෂධයක් කළේ ඔහුය. කොටින්ම අසංග ප්‍රියමන්ත පීරිස් යනු ලංකාවේ සංගීත කලාවේ එක්තරා යුගයකි. අද සෙනෙහසකට අරුතක් පුරවන්නට මේ පිටු වෙන්වන්නේ අසංගගේ ආදරණීය කැදැල්ල වෙනුවෙනි..
අසංග මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
ප්‍රසංග කිහිපයක් තියෙනවා. පවුලේ ගී ප්රසංගයකටත් සූදානම් වෙමින් ඉන්නේ. මේ අවුරුද්දේ මැයි මාසේ ඒක පවත්වන්න හිතාගෙන ඉන්නවා. ස්ථානය නෙළුම් පොකුණ. සංගීතය සපයන්නේ නාද. මේකේ මගේ දුව අංජලීත් සිංදු කියාවි. ලොකු පුතා අසන්තනම් දැනටමත් සිංදු කියනවනෙ.
මුල් කාලේ තරම් දැන් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙනවා අඩුයිද?
ඔව්. මම දැන් අවුරුදු 35 ක් පුරාවට මේ ක්ෂේත්රයේ ගීත ගායනා කරනවා. ඉතින් අලුතින් බිහිවන අයටත් අපි අවස්ථාව දෙන්න ඕනේ. කොහොමත් ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. මම ප්‍රසංග වේදිකාවේ නැත්තෙම නෑ, ඉන්නවා. නමුත් අපිට වඩා අවස්ථාව අනිත් අයට ලැබෙනවා.
පවුලේ අයත් එක්ක ගෙවෙන කාලය මොන වගේද?
මේ දවස්වල දුවත් අපේ ගෙදර ඇවිත් ඉන්නේ. එයාට චූටි පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නා ආවා කියන්නෙ අපිට කොහෙවත් යන්න වුවමනාවක් නෑ. හරි විනෝදයි. ගෙදර ඉන්න එක ඇවිදින්න යනවට වඩා මට පහසුයි.
ඒ කියන්නේ දැන් අසංග සීයා කෙනෙක්?
සීයා නෙවේ දැන් දෙසීයා කෙනෙක්. (සිනාසෙමින්) දරුවෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන පදවිය ඒකනේ. අපි හදපු දරුවෝ ලොකු වෙලා එයාලටත් දරුවා ලැබෙද්දි තමයි අපිට සන්තෝස වෙන්න පුළුවන්.
ඔබ කලාවට පය තැබූ කාලය සහ වර්තමානයේ වෙනස වචන කළොත්…
1985 තමයි මම සරල ගී සමත් වෙන්නේ. 1990 මුල්ම ඇල්බම් එක එළිදැක්වුවා. එදා ඉඳන් මේ වෙනකල් මම මේ ක්ෂේත්රයේ ඉන්නවා. අපි ආපු කාලයේ අද වගේ පහසුකම් තිබුණේ නෑ. ඉස්සර කලාවට දායකයෙක් වෙන්නනම් සරල ගී සමත් වෙන්නම ඕනේ. ඒක එක්තරා ප්‍රමිතියක්.
මේ වෙද්දි වෙලා තියෙන්නේ කිසිම ප්‍රමිතියක් නැති වෙලා, තාක්ෂණය ඉදිරියට ඇවිත්, ගායකයො නොවන අයත් ගායකයෝ වෙලා. ඒකෙ ලොකු වැරැද්දක් තියෙනවා. මම තාක්ෂණයට දොස් කියනවා නෙවෙයි. නමුත් ඒ තාක්ෂණය සමහරු කලාවට පිවිසෙන්න වැරදි විදිහට යොදාගන්නවා කියන එකයි මගේ අදහස. මම ක්ෂේත්රයට එද්දි පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත ගායනා කළා.
නමුත් මං ඒ ගීත විකෘති කළේ නෑ. පාසල් යන කාලෙ මට කිව්වේ පොඩි අමරදේව කියල. ඒත් මං දිගටම අමරදේවයන්ගේ ගීතම ගායනා කර කර හිටියේ නෑ. මට ඕන වුණේ අලුත් නිර්මාණ බිහිකරන්න. මොකද මට අමරදේව මාස්ටර් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ.
දැන් ගොඩක් අය ලොකු වැරැද්දක් කරනවා ඔරිජිනල් ආටිස්ට්ගෙ සින්දු කවර්ස් කරලා. ඔරිජිනල් ගායකයා සමහරවිට ඒ සින්දුව ජනගත කළේ ලොකු කට්ටක් කාලා වෙන්න පුළුවන්. මම නම් මගේ සින්දුවල අයිතිය මගේ දරුවෙක්ටවත් දෙන්න කැමති නෑ.
ගායනා කළාට කමක් නෑ. හැබැයි ඔරිජිනල් ගායකයාගේ ගීත ව්‍යාපාරයක් කරගත යුතු නෑ. ගායකයෙක් සින්දුවක් හදන්නේ හැමෝටම. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් මේක එයාගේ කියලා අරගෙන ඉන්නවනම් ඒක වැරදියි. ඔය කවර් සෝන්ග්ස්වල අහිතකර ප්‍රතිඵලය කොච්චරද කියනවනම් සමහරු හිතන් ඉන්නේ කවර් එක නෙවේ ඒක ඔරිජිනල් එක කියලා.
මගේ සිංදුවල අයිතිය දරුවෙක්ටවත් දෙන්න මම කැමති නෑ
අසංග ප්‍රියමන්ත පීරිස්
ඔබේ අලුත් නිර්මාණයක් ළඟදි රසිකයන්ට අහන්න ලැබෙන්නෙ නැද්ද?
කොන්සර්ට් එකේදි මගේ අලුත් ගීත හතරක් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ප්‍රසංග වේදිකාවේදි අසංගට එල්ල වෙන ලොකුම චෝදනාවක් තමයි අමුතු වචන උච්ඡාරණය. මොකක්ද මේකට හේතුව?
ඔතන වැඩිපුරම තියෙන්නෙ මාව වට්ටන්න උත්සාහ කරන එකක්. ගොඩක් වෙලාවට සජීවී ප්‍රසංගයක ගායකයාගේ හඬ වෙනස් කරලා, ඈත් කරලා ශබ්ද තරංග එක්ක මුසු වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට පුතේ කිව්වත් ඕඩියන්ස් එකට ඇහෙන්නේ පුතී කියලා. මට කොහෙත්ම උවමනාවක් නෑ පුතේ කියන වචනේ පුතී විදිහට උච්ඡාරණය කරන්න.
මගේ ගීත ටෙම්පො එක අඩුවෙන්, අඩු ලයකින් ගායනා කරන්නේ. නමුත් ප්‍රසංග වේදිකාවකදි පොඩ්ඩක් ටෙම්පො එක වැඩි වෙනවා. ඉතින් එතැනදී ටෙම්පො එකට හරියන්න ගායනා කරන්න සිද්ධ වෙනවා.ඒ නිසා වචන වල පොඩි පොඩි වෙනස්කම් එක්ක ඕඩියන්ස් එකට ඇහෙන්න පුළුවන්. ඕක ගොඩක් අය වැරදි විදිහට ගත්තේ.
අසන්ත ඇරෙන්න පොඩි පුතත් සංගීතයට සම්බන්ධයිද?
ඔව්. පොඩි පුතා අසේන්ත විශාරද විභාගයට සූදානම් වෙනවා. අසන්ත නම් විශාරද කරලා ඉවරයි. දුවනම් හැදෑරුවේ නර්තනය. නමුත් ඇයටත් ගායන හැකියාවක් තියෙනවා. ලොකු පුතාට තමයි හොඳින්ම ගායන හැකියාව පිහිටලා තියෙන්නේ.
ඔබ ගායකයෙක්ට අමතරව දක්ෂ කැටයම් ශිල්පියෙක් බව කවුරුත් වැඩිය නොදන්නා දෙයක්…
ඔව්. මගේ තාත්තා වඩුවෙක්. මමත් ගියා පොඩි කාලේ තාත්තගේ අත් උදව්වට. ඒ වඩුමඩුව අයිති මාතලේ සනත් රණසිංහ කියලා කැටයම් ශිල්පියෙක්ට. ඔහුගෙන් තමයි මම කැටයම් ඉගෙනගත්තේ. පසුකාලීනව මම විවාහ වුණාට පස්සෙත් මගේ ප්‍රධාන වෘත්තිය වුණේ ලී කැටයම්. ඒ වෘත්තිය කරමින් ඉන්න අතරෙදි තමයි මම ගායනයට යොමු වෙන්නේ. නමුත් ගායකයෙක් වුණාට පස්සේ කැටයම් කලාව මඟහැරුණා. තවමත් අපේ ගෙදර තියෙන පුටු, ප්‍රධාන දොර, කැබිනට් මම කැටයම් කරපුවා.
අසංගගෙන් පස්සෙ අපි කතා කළේ අසංග වගේම සංගීත ක්ෂේත්රයට පය තියලා ඉන්න ලොකු පුතා අසන්ත ශ්‍රීමාල් එක්ක…
අසන්ත මේ දවස්වල මොනවද කරන්නේ?
මම ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලි කමිනිකේෂන් උපාධියක් හදාරනවා. දැන් අවසන් අදියරේ ඉන්නේ. ඊටපස්සේ මාස්ටර්ස් වලට ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අසන්ත ශ්‍රීමාල් කියලා කෙනෙක්ව මිනිස්සු දන්නවනම් ඒ තාත්තා නිසා
අසන්ත ශ්‍රීමාල්
තාත්තානම් කිව්වා තාත්තගෙ සින්දු කාටවත් දෙන්නේ නෑ කියලා…
නෑ. ඒ කතාව හරි. මටත් තාත්තගේ සින්දුම කිය කිය ඉන්න බෑ. මං ඔරිජිනල් එකක් කළා ආලේ සීමා කියලා. ඒකට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
කොහොමද ඔයාගේ ගමනට තාත්තගෙන් ලැබෙන සහයෝගය?
මම ශාස්ත්‍රීය සංගීතය හදාරනවා. ඒ වැඩවලට උදව් වෙන්නෙ තාත්තා. එයා සමහර දවස්වලට බලෙන්ම මාව ප්‍රැක්ටිස් කරවනවා.
වයස කීයද?
අවුරුදු විසිපහයි.
පාසල?
මමත් ගියේ තාත්තගෙත් පාසල වුණ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයට. මැත්ස්වලින් තමයි ඉගෙනගත්තේ.
ඒ කාලේ කවුරු වෙන්නද හිතන් හිටියේ?
මුල්ම දවස්වල මට හිතුණා ක්‍රිකටර් කෙනෙක් වෙන්න. දහය ශ්‍රේණිය වෙනකල් මම ක්‍රිකට් ගැහුවා. නමුත් පස්සේ ඒක හරිම කරදරයක් කියලා හිතුණා. ක්‍රිකට් ආසාවත් එහෙම්මම නැති වුණා.
රටේ නම ගිය ගායකයෙකුගේ පුතෙක් වීම අසන්තගේ ගමනට කොහොමද බලපෑවේ?
අනිවාර්යයෙන්ම තාත්තා නිසා පාසලේදි මට ලොකු අවධානයක් ලැබුණා. තාත්තා ගායකයෙක් නොවුණනම් සමහරවිට මගේ ගමනත් වෙන පැත්තකට යොමුවෙන්න තිබුණා. ඒකෙ හොඳ පැත්තකුත් තිබ්බා නරක පැත්තකුත් තිබ්බා. අවධානය ලැබුණා වගේම වැරැද්දක් කළොත් හයිලයිට් වුණා. කොහොම නමුත් අසන්ත ශ්‍රීමාල් කියලා කෙනෙක්ව මිනිස්සු දන්නවනම් ඒ අනිවාර්යයෙන්ම තාත්තා නිසා.
එරංදි කෞශල්‍යා ✍️