උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ කලාවේ ඉන්න චරිතාංග නිළියක්. ඇය විටින්විට සම්මානයට පාත්‍ර වෙන්නේ සිනමාවේ, ටෙලිනාට්‍යයේ සහ වේදිකාවේ ප්‍රතිභාපූර්ණ චරිත නිරූපණය වෙනුවෙන්. ඉතා අපූර්ව ලෙස චරිත පණ පොවන්නියක් වන උමාලි හැමදාමත් ජීවිතය අලුත් විදියට දකින කෙනෙක් ලෙස නවලිය ඇයව හඳුනාගත්තා. ඒ නිසා මාර්තු 16 වැනිදා ඇගේ උපන්දිනය වෙනුවෙන් නවලිය ඇයට ඉඩක් වෙන් කරන්න තීරණය කළා. මේ ඇය නවලියට කිව්ව සරල නමුත් අලුත් කතාව…
උමාලි මේ දවස්වල ඔයා මොනවද කරන්නේ?
ජූලි මාසෙ 15 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ශාස්ත්‍රීය නර්තන ප්‍රසංගයකට වින්ද්‍යා හා උපේඛා යන මිතුරියන් දෙදෙනා සමඟ නිර්මාණ කරමින් පුහුණු වෙමින් ඉන්නවා. ඊට අමතරව රාජිත දිසානායකගේ ‘ජූලි මාසෙ දවසක්’ සහ ‘නැතුව බැරි මිනිහෙක්’ යන වේදිකා නාට්‍යයවල පුහුණුවීම් කරගෙන යනවා.
තවමත් මම මනෝ උපදේශන හා චිකිත්සනය පිළිබඳ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මේ ඔක්කොම එක්ක ටෙලි නාට්‍යවල සහ සිනමාවේ රංගන කටයුතුත් මට ලැබෙන පරිදි මම කරනවා. මට ආදරේ කරන පවුලේ අය සහ හිතවතුන් සමඟ සතුටින් ජීවිතය විඳිනවා.
කාන්තාවක් විදිහට අභියෝග මතින් යන ජීවිතයට ඔබ කැමතිද?
ඔව්… මම ඒකට බොහොම කැමතියි.
අභියෝග ලැබුණම මොන වගේ දේවල්ද ඔයා ඒ අභියෝග ජයගන්න කළේ?
ගෙවෙන හැම දවසකම මුහුණ දෙන්න වෙන අභියෝග විවිධාකාරයි. ඒ හැම අවස්ථාවකටම සබුද්ධිකව මුහුණ දෙන්න තමයි මම උත්සාහ කළෙත් සහ කරන්නෙත්.
ගෙදරින් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද ඔයාගේ කලා ජීවිතයට සහ ඔයාගේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ අභියෝගවලට…
ඔවුන්ට තේරෙන උපරිමයෙන් ආරක්ෂාව, රැකවරණය, පෝෂණය හා මඟපෙන්වීම මට දුන්නා. ඒ නිසා තමයි අද මම මෙහෙම ශක්තිමත්ව නැගී සිටින්නේ.
ජපානේ තිබුණු වැඩ කටයුතු ඔක්කොම ඉවරද ?
නැහැ… නැහැ… අපි ජපානෙ සමග සම්බන්ධ ව්‍යාපාර කටයුතු, සංචාර හා සමාජ සේවා කටයුතු දිගටම කරගෙන යනවා.
සමාජ මාධ්‍ය ඔයා කොහොමද තමන්ගේ වෘත්තීය කටයුතුවලට මෙහෙයව ගන්නේ?
දැනුම් දීම්වලට හා හිතට හැනෙන, තව කෙනෙක්ට වටියි කියන දේ බෙදාගන්න යොදාගන්නවා. තව කෙනෙක්ගෙ හිතේ යහපත් පෙරළියක් ඇතිකරන හෝ හිත ප්‍රබෝධමත් කරයි කියලා හිතන දේ බෙදාගන්න සමාජ මාධ්‍යය මම භාවිත කරනවා. තව කෙනෙක්ගෙ හෝ කණ්ඩායමක දක්ෂතා අගය කරන්නත් සමාජ මාධ්‍යය අපට හොඳින් භාවිත කරන්න පුළුවන්.
රංගනවේදිනියක් විදිහට ඉදිරියට යන්න නව මාධ්‍ය අවශ්‍යද ?
නව මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද කියලා මට ඒ තරම් තේරුමක් නෑ. නමුත් රංගනවේදිනියක් නම් එම වේදය තමයි ඔහු හෝ ඇය නිරතුරුව ප්‍රගුණ කර යුත්තේ. ඒ වේදයෙහි නිපුණතාවය වැඩි කරගන්න, දැනුම ලබාගන්න, දැනුම් හා අත්දැකීම් බෙදාගන්න ඒ සඳහා සුදුසු අයුරින් වෘත්තීයමය ගරුත්වය රැකෙන පරිදි සුදුසු මාධ්‍යයක් යොදාගත්තාට මම නම් වරදක් දකින්නෙ නෑ.
කොහොමද ඔබ අලුත් පරම්පරාවට සමාජ මාධ්‍ය යොදාගන්න විදිහ ගැන ඔබ ලබපු අත්දැකීමෙන් උපදෙස් දෙන්නේ?
සමාජ මාධ්‍ය බොහොම පරිස්සමෙන් තමයි පරිහරණය කළ යුත්තේ. සයිබර් අවකාශයේ සදාචාරාත්මක පසුබිමක පිහිටලා හැසිරෙන අය වගේම එහි තියෙන තොරතුරු විකෘති කර හෝ අවභාවිත කරන්න සැරසිලා ඉන්න පිරිස් ඉන්න නිසා සැලකිලිමත් විය යුතුයි.
එය විසින් හැසිරවෙන්නෙ නැතුව තමන් විසින් එය හසුරුවන්න පුරුදු වෙන්න ඕන. හැබැයි ඉතිං එය අතිශය තාවකාලික අවකාශයක්, මනසින් ස්පර්ශ කරන අවකාශයක් නිසා අවශ්‍ය වෙලාවට පමණක් එහි සැරිසැරීම තමයි හිතට ගුණ.
සයිබර් අවකාශයේ එන නින්දා ප්‍රශංසා සම සිතින් පිළිගන්න පුරුදු වෙන්න ඕන. ඒ හරහා ලැබෙන අවදානයට පෙරළා අවදානය දිය යුත්තේ සීමාසහිතවයි. දැනුම, අත්දැකීම් හුවමාරු කිරීමෙන් සමාජ මාධ්‍ය හරහා යහපත් ආකල්ප, අභිප්‍රේරණය ව්‍යාප්ත කළ හැකියි. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යය නිසි ලෙස පරිහරණය කිරීම තමයි ඔබෙත් මගෙත් වගකීම විය යුත්තේ.


ඔයා හිතනවද ලංකාව වගේ රටක තරුණ ගැහැනු ළමයි සමාජ මාධ්‍ය භාවිතය ගැන මීට වඩා අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ කියලා? කරන හැමදෙයක්ම ඔවුන් සමාජ මාධ්‍යයට එකතු කිරීම ගැන අත්දැකීම් තිබෙන කෙනෙක් විදිහට ඔබ මොනවද හිතන්නේ
ඔව්. ගැහැනු ළමයි විතරක් නෙමෙයි ඕනම කෙනෙක් මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි. නීතිය හා අපරාධ විමර්ශන ආයතනවලටත් අපිට යුක්තියක් ඉටු කළ හැකි සීමාවන් තියෙනවා. ඒ නිසා තමන්ගෙ ආරක්ෂාව තමාම සලසා ගැනීමට තමයි අපි පුරුදු විය යුත්තේ. කරන හැම එකම සමාජ මාධ්‍යයේ දාන කරන කෙනෙක් නම් නෙමෙයි මම. කවුරුත් කෙසේ හිතුවත්.

වැඩියෙන්ම කැමති සරල සැහැල්ලු විදියට ඇඳලා ඉන්න
උමාලි තිලකරත්න
ඔයා ෆැෂන්වලට දක්වන කැමැත්ත සහ තෝරාගැනීම ගැනත් කියමු…
මම ෆැෂන්වලට කැමතියි. මට ගැළපෙන, මට පහසු දෙයින් සැරසෙන්න, අත්හදා බැලීම් කරන්න කැමතියි. අවස්ථානුකූලව සැරසෙන වෙලාවල් තිබුණත් වැඩියෙන්ම කැමති සරල සැහැල්ලු විදියට ඇඳුම් ඇඳලා ඉන්න තමයි.
නිර්මාණයක් තෝරාගැනීමේ දී පිටපත ගැන ලොකු අවදානයක් දෙන කෙනෙක් ද ඔබ?
අනිවාර්යයෙන්ම. පිටපතක් නොදැක නොදැන කොහොමද චරිතයක් නිර්මාණය කරන්නේ. ඒ චරිතයේ අත්තිවාරම ගොඩනගාගන්නේ. රංගන ශිල්පියකු කියන්නෙ රූකඩයකට නෙමෙයිනේ. චරිතයකට උපරිම සාධාරණයක් කරන්න නම් මිනිසෙකුගේ කොඳු නාරටිය වන් පිටපත බැලීම, අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම නළු වරණ සහිත නිර්මාණයකට විනය පිහිටුවන්න නම් දල පිටපතක හෝ සවිය පිටිවහල අත්‍යවශ්‍ය බව මගේ දැක්මයි.
ආපස්සට හැරිලා බලනකොට ජීවිතය ගැන උමාලි මොකද හිතන්නේ?
ආපසු හැරිලා බලන්න දෙයක් නෑ. හැමදේම ඇතිවෙන්නෙ නැතිවෙන්නෙ මේ මොහොත තුළ විතරයි. ඒ ගැන තෘප්තිමත්ව හිතන්න තමයි මම පුරුදු වෙන්නෙ.
ඔබ දැන් හරි වෙනස් ද?
ඔව්… නැත්නම් මං අස්වාභාවිකයි. මා ගවේෂණය කරන මාර්ගයට අනුව සියල්ල සෑමවිට වෙනස් වෙනවා. ගුණ යහපත්කම් දියුණු කරගෙන දුර්වලකම් හඳුනාගෙන ඒවයින් මිදෙන්න වීර්යය ගන්නවා. ඒ තුළ මම නිතිපතා වෙනස් වෙනවා.
හරින්දී ලියනගේ ✍️