නිලූෂි පවන්යා
නිලූෂි පවන්යා කියන්නෙ ක්ෂේත්රයට පිවිසිලා ටික කාලෙකින් බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය ලබාගත්ත රංගන ශිල්පිණියක්. අද කවුරුත් ඇයව රංගන ශිල්පිණියක් ලෙස හඳුනගත්තත් ඇය කලාවට අත්පොත් තිබ්බේ නිරූපණ ක්ෂේත්රයෙන්. ඇය අද අපිත් එක්ක ඒ ගැන අදහස් හුවමාරු කරගත්තා…
නිලූෂි කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල ඔලුව උස්සගන්න බැරි තරමටම වැඩ. රංගන කටයුතු වගේම නවත්තලා දාලා තිබුණ නිරූපණ කටයුතුත් ආයේ පටන්ගත්තා. කාර්යබහුලත්වය නිසාම මේ දවස්වල නිදාගන්නෙත් පැය දෙකක් තුනක් වගේ.
නිලූශි ඇරෙන්න පවුලේ තව කවුද ඉන්නේ?
අම්මයි තාත්තයි අයියලා දෙන්නයි අක්කයි. අයියලා අක්කලා විවාහකයි.
නිරූපණ ක්ෂේත්රයට පිවිසීම ගැන කතා කළොත්…
මං රංගනයට එන්න හිටිය කෙනෙක් නෙවෙයි. මගේ හීනය වුණේ නිරූපණය පැත්තෙන් මට යන්න පුළුවන් උපරිම දුර යන එක. ඒ වගේම ගුරුවරියක් වෙන්නත් හරිම ආසාවෙන් හිටියා. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට අවුරුදු දෙකක් හිටියා. නමුත් තවමත් ලොකුවටම තියෙන්නේ සුපර් මොඩල් කෙනෙක් වීමේ හීනය තමයි.
රංගන ශිල්පිනියක් වෙන්න නිරූපණ වේදිකාවෙන් ලැබුණ පන්නරය මොන වගේද?
2009 තමයි මම මුලින්ම පුවත්පතකින් කරපු අවුරුදු කුමාරි තරඟයකට සහභාගි වුණේ. ඒකෙන් මට තුන්වෙනි ස්ථානය ලැබුණා. එතනින් පස්සේ 2015 ITN අවුරුදු කුමරිය තරඟයෙනුත් තුන්වෙනි ස්ථානය ලැබුණා. 2017 දි තමයි මම පළවෙනි පාරට ඉන්ටර්නැෂනල් පැජන්ට් එකකට සම්බන්ධ වෙලා පළමු ස්ථානය ලැබුවේ. 2018 දී මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයෙනුත් තුන්වෙනි ස්ථානය දිනා ගත්තා. මේ ජයග්‍රහණ තමයි රංගනයට මට මෝටිවේෂන් එකක් වුණේ.
මේ තාක් රඟපෑ චරිත වලින් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මොන චරිතයටද?
මං හිතන්නේ දිවිතුරා නාට්‍යයේ වින්ඩිගේ චරිතයට. ඒ ප්‍රතිචාරවලට වයස් සීමාවක් නෑ.
සාමාන්‍ය ජීවිතේ නිලූෂි මොන වගේ චරිතයක්ද?
අහසේ නිදහසේ පියාඹන කුරුල්ලෙක් වගේ. එක වෙලාවකට හිමීට හමාගෙන යන හුළඟක් වගේ. මගේ ජීවිතයේ සීමා මායිම් නෑ. සීමා දාගන්නේ මමමයි. ගොඩක් අය මං සාමාන්‍ය ජීවිතෙත් වින්ඩි වගේ නපුරු කෙනෙක් කියලා හිතනවා. නමුත් මං ඊට හාත්පසින්ම වෙනස්. මං හරිම සංවේදී මනුස්සයෙක්.
නිලූෂි ප්‍රේමවන්තියක්ද?
තාම ප්‍රේමවන්තියක් නෙවෙයි.
ජීවිතය සහ ආදරය ගැන කොහොමද දැනෙන්නේ?
ජීවිතය දින පොතක් වගේ. සමහර දේවල් ලස්සනට ලියාගෙන යනකොට සමහර පිටු අපිට මගහැරෙනවා. නැත්නම් සමහර දේවල් ලියාගන්න ඕනෙ වුණත් ලියාගන්න බැරි වෙනවා. හැබැයි අපි පිටු මගහැරගෙන හරි දිගටම දිනපොත ලියනවා.
ජීවිතෙත් ඒ වගේ. නමුත් ආදරේටනම් අර්ථකථනයක් දෙන්න මට තේරෙන්නෙ නෑ. ඒකනේ ‘ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමදෙනටම හමුවෙලා ඇති එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැතී’ කියලා සින්දුවකුත් තියෙන්නේ.
එරංදි කෞශල්‍යා ✍️