ඩිලානි අබේවර්ධන
මුළු නිවසම කිරි සුවඳයි. පුංචි කේලන්ගේ හුරතල් හිනා සද්දෙ නිසා ආච්චිගෙ, සීයගේ ගෙදර තිබූ නිශ්ශබ්දතාවය පළා ගිහින්. ඇය මව් පදවිය ලබා අවුරුද්දක්. ඇගේ මවත්… ආච්චි කෙනෙක් වෙලා එහෙමත් නැත්නම් මිත්තණියක වෙලා අවුරුද්දක්.පුංචි පුතාගේ අවුරුද්දෙ උපන් දිනය ඉහළින්ම සැමරුවා. ඒ වෙනුවෙන්ම අම්මාත් තාත්තාත් එක්ක පොඩිත්තා එයාලගේ ගෙදර ඉඳන් නිව්ර්යෝර්ක් ස්ටැටන් අයිලන්ඩ්වලට ආවා. ඒ ආච්චිගෙත් සීයගෙත් මාමාගෙත් ගෙදරට.ඉතින් පුංචි කේලන්ගෙ අම්ම වගේම ආච්චිත් අපි කවුරුත් හොඳින් හඳුනන දෙන්නෙක්. ආච්චී ඩිලානි අබේවර්ධන. අම්මා කවීෂා කාවින්දි.
ඩිලානි ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඇගේ දියණිය කවීෂා කාවින්දිත් අපේ රටේ සිනමා ලෝලීන්ට අලුත් චරිතයක් නොවේ. ලාල් වීරසිංහගේ ‘සිංග මචන් චාලි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වුණේ කවීෂා..
කවිෂා තම පියා සමන් පුෂ්පවර්ණගේ අඩිපාරේ යමින් ගීත දෙකකුත් ගායනා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලක් ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය කවීෂාගේ ආදරණීය සැමියා.ඉතින් ෂෙහාන් සහ කවීෂාගේ කැදැල්ලට අලුතින් එක්වුණු පුංචි සාමාජිකයා කේලන් සෙනිත්.
ඩිලානි විශේෂ අමුත්තෙක් ගෙදරට ඇවිත් නේද?
ඔව්. මගේ මේ මුණුපුරා නිසා ටිකක් බිසි. මම එයාව දැක්කෙ මාස එකොළහකට පස්සෙ. එයා හම්බ උනාම මාසයක් ඉඳලා ආවා. ඉන් පස්සෙ දැන් තමයි දැක්කෙ.
කවීෂා පදිංචිව ඉන්නේ දුරක නිසා මුණුපුරා එක්ක වැඩි කාලයක් ගත කරන්න ආච්චිටයි සීයටයි අවස්ථාවක් නැහැ නේද?
ඔව්. එයාලා ඉන්නේ කැලිෆෝනියාවල.ඉදිරියේ වැඩි කාලයක් බලාපොරොත්තු වෙනවා එයා එක්ක ඉන්න.
වෙනදා වැඩ ඇරිලා ගෙදර ආවාම ආච්චිට දැනෙන මහන්සිය මේ දවස්වල දැනෙන්නෙ නැතුව ඇති?
ඇත්තටම මහන්සියක් දැනෙන්නෙ නැහැ තමයි. ඔක්කොම වැඩ ටික කරන්නෙ ආසාවෙන්. මුණුපුරා හරිම ලස්සනයි, හුරතල්. මාත් එක්ක හරි එකතුයි. හැමදාම ඔන්ලයින් එයා එක්ක කතා කරන නිසා. මාව මුලින්ම දැක්ක ගමන් අතට ආවා.
එතකොට සීයා එක්ක එකතු නැද්ද?
සීයව දැක්ක ගමන් අඳුනගත්තෙ නැහැ. මොකද සීයා ඔන්ලයින් කතා කරන්නේ නැහැ. සීයට දවස් දෙක තුනක් ගියා එයාව යාළු කරගන්න. මාමා එක්කත් දවසකින් විතර යාළු වුණා.
ඇමරිකාවට ඇවිත් අවුරුදු විසි තුනක්. මේ ජීවිතේ ඒකාකාරී නැද්ද?
ඒක එච්චර දැනෙන්නෙ නැති විදිහට අපි හදාගෙන තියෙන්නෙ. ඒ කාලෙ ඇතුළත දුව, පුතා ලොකු වුණා. එයාලගේ ඉගෙනීම් කටයුතු හොයා බැලුවා. එක එක උත්සව ප්‍රිය සාදවලට සහභාගී වුණා. ඉතින් අවුරුදු විසි තුනක් ගත වුණා දැනුනෙවත් නැහැ. මේ රටේ ඉන්නව නම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ. ගෙදර වැඩත් කරනවා. පිටින් පෙනුනෙ නැති වුණාට අපි දැන් වයසට ගිහින්. ඒ නිසා ටිකක් මහන්සියි වගේ දැනෙනවා.
එතකොට ලංකාවේ කලාකරුවන්ගේ ප්‍රසංග නිව්යෝර්ක්වල සංවිධානය කරන වැඩේ නතර කළාද?
මම මෙහෙට එන කාලේ ප්‍රසංග කෙරුවේ පල්ලියේ ශාලාවල පොඩියට. බෑන්ඩ් එකක් ඇවිත් ප්ලේ කරලා නටලා කාලා බීලා විනෝද වෙලා යනවා. විවිධත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා හරි විදිහට මිනිසුන්ගේ හිත පිනවන විදිහේ ප්‍රසංග කරන්නේ කොහොමද කියලා මම කරලා පෙන්නුවා. ඒත් මම සල්ලි හම්බ කළේ නැහැ. ඒවා සාර්ථක වෙද්දී සමහරු හිතුවා මම ඒවයෙන් සල්ලි හම්බ කළා කියලා. ඒ නිසා හුඟක් අයට ප්‍රසංග සංවිධානය කරන්න වුවමනා වුණා. දැන් ඉතින් හුඟ දෙනෙක් ප්‍රසංග කරනවා. ඒ අස්සට ගිහින් මමත් දඟලන්න වුවමනා නැහැ.
ලංකාවට ගිහින් චිත්‍රපටයක හරි ටෙලි නාට්‍යක හරි රඟපාන්න අදහසක් නැද්ද?
ඇත්තටම ලොකු ආශාවක් තියෙනවා.ඒත් තවම මගේ වගකීම් ඉවර නැහැ. දුවගෙන් නිදහස් වුණත් පුතා තවම ඉගෙන ගන්නවනෙ. එයාගෙනුත් නිදහස් වුණාට පස්සෙ තමයි රඟපාන්න වෙන්නෙ. එතකොට ඉතින් හැරමිටියෙන් යන ආච්චි කෙනෙක්ගෙ චරිතයක් තමයි කරන්න වෙන්නේ.
දුක නැද්ද රගපෑමෙන් ඈත් වෙලා ඉන්න?
ඇත්තටම දුකයි. ඒක වෙනම දක්ෂකමක්නෙ. මම හිටියේ ජනප්‍රියත්වයෙන් හොඳම තැනක. ඉතින් මම ඒක අමතක කරගෙන ඉන්නෙ පුදුම වේදනාවකින්. දැන් ඉතින් දෙකක් පටලවගෙන ජීවිතේ අවුල් කරගන්න බැහැනේ. මට නිර්මාණ කීපයකටම කතා කළා. සමහර ඒවට හුඟ කාලයක් ගත කරන්න ඕනේ. රඟපාන්න ලංකාවට ගියොත් මාස දෙක තුනක් ඉන්න ඕනේ. එතකොට මෙහේ කරන රස්සාව නැතිවෙනවා.
තරුණ කාලෙ ගැන මොනවද හිතෙන්නෙ?
කිසිම පසුතැවීමක් නැහැ. අත්දැකීම් ඔස්සේ බොහෝ දේ ඉගෙන ගත්තා. අවශ්‍ය වෙලාවට කසාද බැන්දා. දරුවො හැදුවා. දැන් දරුවන්ගෙත් දරුවොත් බලමින් හරිම සතුටින් ඉන්නවා.
කොහොම වුණත් නිව්යෝර්ක්වල හිතවතුන්ගෙ ප්‍රිය සාදවල සමන් එක්ක ඔයාත් හරි හරියට ගීත ගයනවා?
ලංකාවෙත් අපේ නළු නිළියෝ හැමෝම වගේ ගී ගයනවනේ. මෙහේ රඟපාන්න බැරි නිසා කලාකාරියක් විදිහට සිංදුවක් හරි කියනවා. ගෙදරදි සිංදු කියන්න ටිකක් පුරුඳුවෙනවා. සමන් නම් කොහොමත් ගායකයනේ. මම සිංදු කියන්නේ හුදෙක් විනෝදෙට විතරයි.
පුතා කලාවට ලැදි නැද්ද?
ගිටාර් ප්ලේ කරනවා. මම වැඩිය බල කරන්නෙ නැහැ ඉගෙනීම් කටයුතු නිසා. අනෙක එයාගේ සිංහල කතා කිරීමේ දැනුමත් ඒතරම් හොඳ නැහැ.
ලංකාවෙ කවුද ඉන්නේ?
මගේ අම්මයි මල්ලි කෙනෙකුයි ලංකාවෙ ඉන්නවා. අවුරුද්දකට සැරයක් ගිහින් එයාලව බලලා එනවා.
ඉන්පසු කවීෂා අප සමග කතා බහට එක්වුණා…
දැන් පුතාට අවුරුද්දයි. කොහොමද පහුගිය අවුරුද්ද ගැන දැනෙන්නේ?
ඇත්තටම හරිම ඉක්මණින් මේ අවුරුද්ද ගතවුණා. මට හිතා ගන්නත් බැහැ බබාට අවුරුද්දක් කියලා.
පුතා නිසා කාර්යබහුල ඇතිනේ?
ඔව්. අනිවාර්යෙන්ම. අනික ෂෙහාන්ට හැම තිස්සෙම ට්‍රැවල් කරන්න වෙන නිසා මමයි බබායි දෙන්නත් එයාත් එක්කම ට්‍රැවල් කරනවා. අපිට අපේ ගෙදරවත් ලොකු කාලයක් ඉන්න ලැබුණේ නැහැ. ඒ නිසා වෙන්න ඇති අපිට මේ අවුරුද්දෙ දවස් ගත වෙනවා තේරුණේ නැත්තේ.
ෂෙහාන් එක්ක ට්‍රැවල් කරනවා කිව්වේ…
ක්‍රිකට් මැච්වලට ෂෙහාන්ට මේ රටේ එක එක ස්ටේට්ස්වලට යන්න වෙනවා. අපි පදිංචිවෙලා ඉන්නේ කැලිෆෝනියාවේ. ඒ වුණාට කැලිෆෝනියාවල හුඟක් මැච් තියෙන්නෙ නැහැ. හුඟක් දුරට ටෙක්සාස්වල ෆ්ලොරිඩාවල වගේ පළාත්වල මැච් තියෙනවා. ෂෙහාන් මේ මැච්වලට යද්දී මාවයි බබාවයි එක්කරගෙන යනවා. ඒ මට තනියම ගෙදර වැඩ කරගන්න අමාරු නිසා. උදව්වට කවුරුත් ඇත්තෙත් නැහැනේ.
කවීෂා චිත්‍රපටයකත් රඟපෑවනේද? රඟපෑම එකෙන්ම එපා වුණාද?
ඒක කලේ මම මෙහේ කොලෙජ් යන කාලේ. මට සති තුනක විතර නිවාඩුවක් හම්බවුණා. ඒ දවස්වල චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ අම්මගෙන් අහලා තිබුණා මං ගැන. සති දෙකකින් ෆිල්ම් එකේ වැඩ ඉවර කරනවා දුවව එවන්න කියලා අම්මට කියලා තිබුණා. මම පිටපතක් බැලුවෙත් නැහැ. ආසාවට ගිහින් රඟපෑවා. මම ඒකෙන්ම ඉගෙන ගත්ත ඒක මොනතරම් අමාරු වැඩක්ද කියලා.
ඉක්මණටම ඉවර කරපු නිසා වෙන්නත් ඇති හරිම වෙහෙසක් දැනුණා. අනෙක ලංකාවේ උණුසුම් කාලගුණයට මම හුරුවෙලා හිටියෙත් නැහැ. ඒ නිසා වෙන්න ඇති මට එකෙන්ම එපා වුණේ. ඒක ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කරපු ‘සිංග මචන් චාලි’
ඔයා ක්‍රිකට් ක්‍රීඩාවටත් කැමැතියිද?
ඔව්. මම පොඩි කාලෙ ඉඳන් ක්‍රිකට්වලට කැමැතියි.
ඒකද ලංකාවෙ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එක්ක විවාහ වුණේ?
ඒක නිසාම නෙවෙයි. මං දන්නෙ නැහැ ඒක අහම්බෙන් වෙච්ච දෙයක්.
කොහොමද දෙන්න මුලින්ම දැන හඳුන ගත්තෙ?
ෆේස්බුක් එකෙන්.
අම්මා රඟපානවා මතකද?
මට එහෙම ලොකු මතකයක් නැහැ. මම ලංකාවෙන් එද්දී පොඩි ළමයෙක්. ඒත් ‘සෙනුරි, උතුරුකුරු සටන’ වගේ ටෙලි නාට්‍යවල ෂූටිංවලට අම්මා යද්දී මාවත් එක්කරගෙන යනවා. ඉතිං ඒ අධ්යක්ෂවරුන් මාවත් පොඩි පොඩි චරිතවලට ගන්නවා. ඒ වගේ සිද්ධි මට මතකයි. තාත්තා සින්දු කියන එක ගැනත් මතකයක් නැහැ. ඒත් තේරෙන වයසෙදි මම තාත්තගෙ සින්දු අහලා තියෙනවා. තාත්තගෙ සින්දුවලට මං ආසයි. මට මතකයි එක වැඩසටහනකදි තාත්තගේ සින්දුවක් කියන්න මං ට්‍රයි කළා.
කවීෂාගෙම සින්දුවක් කළා නේද?
ඔව්. ප්‍රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරී තමයි ඒ ගීතය ලිව්වේ.
ඇමරිකාවට ආවට පස්සේ අම්මට රඟපෑමෙන් ඈත් වෙන්න වුණා. ඒ ගැන මොනවද හිතෙන්නේ?
ඇත්තටම අම්මා රඟපාන්නෙ නැති එක ගැන දුකයි. අපේ අම්මා දක්ෂ නිළියක්. එයාගෙ සමහර පරණ චිත්‍රපට, ටෙලි නාට්‍ය ගැන තවමත් රසිකයින් කතා කරලා කියනවා. අම්මා නිසානේ හැම කෙනෙක්ම මාවත් දන්නේ. අම්මා රංගන ශිල්පිණියක් වුණ එක මට ලොකු ආඩම්බරයක්.
මල්ලි කවිඳු කොහොමද?
මල්ලි තමයි මගේ පළවෙනි ළමයා. ඒක මම නිතරම හැම කෙනෙක්ටම කියනවා. මගෙයි මල්ලිගෙයි අවුරුදු නවයක වයස් පරතරයක් තියෙනවා. මේ රටට ආවට පස්සෙනෙ මල්ලි ඉපදුනේ. අම්මයි තාත්තයි රස්සාවට යද්දී මම තමයි මල්ලිව බලා ගත්තේ. මට වයස අවුරුදු නවයේ ඉඳන් මං මල්ලිගෙ වැඩ කළා. මල්ලි වැඩි කාලයක් ගත කළේ මා එක්ක.
මේ දවස්වල ෂෙහාන්ගෙ ක්‍රීඩා කටයුතු කොහොමද?
එයා මෙහේ ආවේ මේජර් ලීග් එකට. ගිය අවුරුද්දෙ තමයි පළවෙනි මේජර් ලීග් එක තිබුණේ. මේ අවුරුද්දෙත් ඒක තියෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩකයො හැමෝම වගේ ඒකට මෙහේ එනවා. ඒ වගේම මෙහේ වර්ල්ඩ් කප් එකත් එනවා. ඒකටත් පුහුණුවීම් තියෙනවා. ෂෙහාන් කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කළා. දැන් ඇමරිකාව වෙනුවෙන් රටවල් දෙකකටම ක්‍රීඩා කරනවා.
පුතාත් ක්‍රිකටර් කෙනෙක් වුණොත්?
ඇත්තටම මම නම් ගොඩක් ආසයි පුතා ක්‍රිකටර් කෙනෙක් වෙනව නම්. පළවෙනි වතාවට තමයි ඇමරිකාවෙ වර්ල්ඩ්කප් මැච් එකක් තියෙන්නෙ. දැන් ක්‍රීඩාංගන පවා හදනවා. පුතා ලොකු වෙද්දි ඇමරිකාවේ ක්‍රිකට් මීට වඩා දියුණු තැනක තියේවි. හැබැයි පුතා ක්‍රිකටර් කෙනෙක් වෙනවට ෂෙහාන් කැමැති නැහැ. ඒ ක්‍රිකට්වලදි එයා මුහුණ දුන්න ප්‍රශ්න නිසා.
ෂෙහාන්ගෙ අම්මායි තාත්තයි තවම මුණුබුරාව දැක්කෙ නැති නිසා ලංකාවට යන්න අදහසක් නැද්ද?
ෂෙහාන්ගේ කාලසටහනත් එක්ක කිසිම දෙයක් සැලසුම් කරගන්න බැහැ. පුතාගේ උපන් දිනේට නිව්යෝර්ක් එන්නත් පුළුවන් වුණේ අන්තිම මොහොතේ. දැන් වර්ල්ඩ් කප් පුහුණු තරගත් තියෙන නිසා හරි අමාරුයි ප්ලෑන් කරන්න. ලංකාවට ගියොත් මාසයක්වත් ඉඳලා එන්න ඕනේ. සතියෙන් එන්න බැහැනෙ. වර්ල්ඩ් කප් එකට පස්සෙ මේජර් ලීග් තරග තියෙනවා. ඉන්පස්සේ තවත් තරග වගයක් තියෙනවා. නොවැම්බර් දෙසැම්බර් වගේ තමයි ෂෙහාන්ට විවේකයක් ලැබෙන්නේ.
අජිත් අලහකෝන් ✍️