නදීර නෝනිස්
මරියා නෝනිස් ගිය අලුත් අවුරුද්දේ රූපවාහිනී වැඩසටහනකට ඇවිත් සිංදුවක් කිව්වා. ඒක පුදුම විදිහට වෛරල් වුණා. ඒ වෛරල්වීම එයාලට ප්‍රශ්නත් ඇති කළා. හැබැයි හැමදෙයක්ම වෙන්නේ හොඳම විදිහට කියන එක නැවත වතාවක් ඔප්පු කරලා මරියගෙත් එයාගේ තාත්තා නදීරගෙත් ජීවිත එතන ඉඳල වෙනස් වුණා. නදීර නෝනිස් කියන්නෙ ඒ වෙනකොටත් රටම දැනගෙන හිටපු දක්ෂ වාදකයෙක් වගේම ගායන ශිල්පියෙක්. අද ඔහුව වඩාත් හදුන්වන්නේ මරියා නෝනිස්ගේ තාත්තා විදිහට. මේ ඔවුන්ගේ කතාව.
නදීර මේ දවස්වල වැඩකටයුතු කොහොමද ?
මේ දවස්වල තියෙන්නෙ ගොඩක්ම දුවගෙ වැඩ. ඒ වගේම මගේ “ ඩිග්‍රී ” බැන්ඩ් එකේ වැඩත් කරගෙන යනවා. දැන් අවුරුදු කාලෙ නිසා ටීවී චැනල්වල තියෙන අවුරුදු උත්සවලට මේ ටිකේ යන නිසා මේ දවස් ටිකක් බිසී.
අලුත් අවුරුදු වැඩසටහනේදී කියපු සිංදුව නිසා වුණ ප්‍රශ්න දැන් ඉවරද?
ඒක දැන් අපි අමතක කරල ඉන්නෙ. එයාල අපිට සිංදුව කියන්න එපා කිව්වා. අපි සිංදුව කියන එක නතර කළා. එතනින් ඒ ප්රශ්නය නැවතුණා. ඒ ගැන අපි දැන් කතා කරන්න කැමතිත් නැහැ.
දුවව සංගීත ක්ෂේත්රයෙන් ඉදිරියට යවන්න කැමැත්තක් තියෙනවාද?
ඔව්. මම ළමයි දෙන්නටම නිදහස දීලා තියෙන්නෙ එයලා කැමති පැත්තකට යන්න. මම කවදාවත් එයලට බල කරල නැහැ සංගීතය හදාරන්න කියල. ඒත් දුව සංගීතය පැත්තෙන් මේ යන ගමන ගැන මම ඉන්නෙ හරිම සතුටින්.ළමයි දෙන්නම වොයිස් ට්‍රේනින් ඉගෙන ගන්නවා.
ඊට අමතරව දෙන්නම පියානෝ වාදනය කරනවා. එයාලට මම කියල තියෙන්නෙ සංගීතය පැත්තෙන් ඉදිරියට යනවා නම් ඒක හොඳට ඉගෙන ගෙන ඉන්න කියල. මොකද ගායකයා කියන්නෙ ගීත ගායනා කරන කෙනෙක් විතරක් නෙමෙයි සංගීතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට.
මරියව සංගීත ක්ෂේත්රයට ගේන්න සැලසුමක් තිබුණද?
මරියා පොඩි කාලෙ නම් මගෙ හිතේ අදහසක් තිබුණා සංගීතය උගන්වන්න ඕනෙ කියල. ඒත් මම හිතුවේ නැහැ දුව මියුසික් කරයි කියල. දුව සංගීත ක්ෂේත්රයට ඇවිල්ලා මේ වෙනකොට හිතාගන්න බැරි දුරක් ඇවිල්ල තියෙනවා. එයාගේ යූටියුබ් චැනල් එකත් නිකමට හදපු එකක්. අන්තිම ඒ හදපු යූටියුබ් චැනල් එකේ දාපු සිංදුවට දවස් හතරට වීව්ස් මිලියනයක් ආවා. දැන් මිලියන දෙකකට ළං වෙලා තියෙන්නෙ. මේ හැමදේටම හේතුව එයාගෙ වාසනාවයි දක්ෂකමයි.
දුව ගැන මොනවද හිතෙන්නෙ?
එයා තමයි මගේ හැමදේම. එයා නිසා අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. අපේ මුළු පවුලම දැන් එයා නිසා අලුත් වෙලා. අද ඔයාල වුණත් මට කතා කළේ මරියා නිසා. එයා අපි වගේ නෙවෙයි හරි වෙනස්. ගොඩක් දුරදිග හිතල තීරණ ගන්නෙ.
දුවගෙ සිංදුවක් කරන්න ඕනෙ කියල අදහසක් තිබුණාද?
ඇත්තෙන්ම එහෙම අදහසක් හිතේ තිබුණේ නැහැ. රසික ඉල්ලම එක්ක තමයි සිංදුවක් කළේ.
අවුරුදු කොහොමද දැනෙන්නෙ?
අපි කතෝලික. ඒ වුණත් අපි අවුරුදු සමරනවා. අපි අවුරුදු චාරිත්‍ර කරනවා. නෑදෑ ගෙවල්වල යනවා. අවුරුදු උත්සවවලට යනවා. අපි ඒ හැමදේම කරනවා. මොකද අපි ඔක්කෝම ලංකාවෙ මිනිස්සුනේ. මේ දවස්වල ටීවී චැනල්වල තියෙන අවුරුදු උත්සවවලටත් සහභාගි වෙනවා.
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවද ?
මට තියෙන ලොකුම බලාපොරොත්තු තමයි මගේ දුවව ජාත්‍යන්තරයට අරගෙන ගිහින් ලංකාවට කීර්තියක් අරගෙන එන එක. ඒ වගේම මගේ බෑන්ඩ් එක හොඳ තැනකට අරගෙන එන්නත් ලොකු වුවමනාවක් තියෙනවා. දුවත් මෙහෙ ඉන්න ලොකු ආසාවක් නැහැ. එයා ඇමරිකාවට යන්න ආසාවෙන් ඉන්නෙ. ඒ නිසා ඉදිරියට අපි ලංකාවෙන් යන්න වුණත් ඉඩ තියෙනවා.
තෑග්ගක් විදිහට සංඛ දිනෙත් මට සින්දුවක් කරන්න අවස්ථාවක් දුන්නා
මරියා නෝනිස්
මරියා මේ දවස්වල මොනවද කරන්නේ?
මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතර මියුසික් වැඩ ටිකත් කරගෙන සතුටින් ඉන්නවා.
දැන් ගොඩක් අය කතා කරන්නේ මරියාගෙ “මගේ හීනේ” ගැන නේද?
ඔව්. “මගේ හීනේ” කියන්නෙ මගේ අලුත්ම සිංදුව. ඒ වගේම ඒක මම කරපු පළවෙනි සිංදුව. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි ඒ ලැබෙන ප්‍රතිචාරවලට.
මරියාට වයස කීයද?
මට මේ අවුරුද්දෙ ඔක්තෝම්බර්වලට අවුරුදු පහළොවක්.
පුංචි වයසට තමන්ගේම කියල ගීතයක් එළිදක්වන්න පුළුවන් වුණා නේද?
ඔව්. පොඩි කාලෙ ඉඳලම මම සිංදු කියනවා. ගොඩක් කල් ඉඳල හීනයක් තිබුණා මගේම කියල සිංදුවක් කරන්න ඕනෙ කියල. කොහොමහරි ඒ හීනයට ගියා හිතුවටක් වඩා ඉක්මණට.
කොච්චර කල් ගියාද ඒ හීනයට යන්න?
ඒ වැඩවලට මාස හතරක් වගේ ගියා. සිංදුව ලිව්වෙ හසිත හේමල් මාමා. සංගීතය චතුරංගද සිල්වා මාමගෙන් සහ කලා අධ්‍යක්ෂණය කළේ සංදේශ් අයියගෙන්.
ෂෝවලට ආරාධනා ලැබිලා නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. ඒත් තාම මම සූදානම් මදි කියල මට හිතෙනවා. ඒ නිසා දැනට ෂෝවලට යන්නෙ නැහැ. බොහෝදුරට ලබන අවුරුද්දෙ ඉඳන් මාව ෂෝවල දැකගන්න පුළුවන් වේවී.
මරියා දිගටම සංගීත ක්ෂේත්රයේ ඉන්නවාද?
දැන් තියෙන විදිහට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒත් ඒක හරියටම කියන්න බැහැ. තව ටික කාලයක් ගිහින් තමයි ඒක බලන්න ඕන. මොකද මගේ අධ්‍යාපන කටයුතු එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.
මරියාට තාත්තගෙන් ලැබෙන උදව් කොහොමද?
තාත්ත තමයි මට හැමදේටම ගොඩක් උදව් කරන්නෙ. එය නිස තමයි මම මෙච්චර දුරක් ආවේ. තාත්තා කවදාවත් එයා ගායකයෙක් නිසා මාත් සිංදු කියන්න ඕනෙ කියල නැහැ. එයා මං කැමති පැත්තක් තෝරගෙන ඉස්සරහට යන්න කියල තියෙන්නෙ. නොදැනුවත්ව හරි වැරදි දෙයක් කළොත් ඒක ගැන කියල දීල හරි පාරට මාව එයා ගන්නවා. දැන් සිංදු කියන්න පටන් ගත්ත නිසා තාත්ත කියල තියෙන්නෙ සංගීතය හරියට ඉගෙනගෙන ඉස්සරහට යනවා නම් යන්න කියල. ඒ නිසා දැන් මම සංගීතය හදාරනවා.
මරියාගේ යූටියුබ් චැනල් එක පටන් ගත්තෙ කොහොමද?
ඒක කොරෝනා කාලෙ නිකන් හදපු චැනල් එකක්. ඊට පස්සෙ මම ඒකෙ නිකමට සිංදු කියල දැම්මා. එතකොට මට වයස අවුරුදු එකොළහයි. ඒ කලෙත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සෙ මම කිව්ව අවුරුදු සිංදුවක් වෛරල් වුණා. ඒ සිද්ධියෙන් පස්සෙ තව කට්ටියක් මගේ චැනල් එකට එකතු වුණා. එහෙම තමයි චැනල් එක පටන් අරගෙන මෙචච්ර දුරක් ආවේ.
තාත්ත මොනවද කියන්නෙ මරියගෙ අලුත් සිංදුව ගැන?
එයා තමයි වැඩියෙන්ම සතුටින් ඉන්නෙ. සිංදුව හරිම ලස්සනයි කියල තාත්තා කිව්වා.
මරියාට තාත්තා ගැන මොනවද හිතෙන්නෙ?
මියුසික් ෆීල්ඩ් එක ගැන එයා හොඳටම දන්න නිසා තාත්තා මට ගොඩක් දේවල් කියල දෙනවා. තාත්තගෙ සපෝට් එක නැතුව මේ වගේ ගමනක් මට එන්න ලැබෙන්න නැහැ. තාත්තට මම ගොඩක් ආදරෙයි.
මරියා ඉස්සරහට මොනවද තියෙන බලාපොරොත්තු?
මගේ අලුත් සිංදුවක් එන්න තියෙනවා. ඒක ඇත්තටම මට හම්බුණ තෑග්ගක් සංඛ දිනෙත් මාමගෙන්. ඒකෙ වැඩකටයුතු ඉක්මනින් පටන් ගන්න බලාගෙන ඉන්නෙ.ඒ වගේම වැඩි කාලයක් මම ලංකාවේ ඉන්න එකක් නැහැ.
අර්චිත ඉඳුවර ✍️