හාස්‍ය මාර්කට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. හැබැයි ඒක කොලිටි එකට කරන එක හිතන තරම් ලෙහෙසි නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි දැන් බිහිවෙන බාල, බොළඳ හාස්‍ය උත්පාදක වීඩියෝ චරිත. ටීවි එකේ හරි යූටියුබ් එකේ හරි පේනකම්, රේඩියෝ එකෙන් ඇහෙන නම් ඒ චරිත ග්රාහකයන්ට මතකයි. හැබැයි පෙනුණත්, නොපෙනුණත්, කාලෙකින් වැඩක් කළත් අමතක නොවන චරිත ඉන්නේ ඉතාම අතලොස්සයි. ඊටවඩා දෙයක් මේ දෙන්නා ගැන මම කියන්න යන්නේ නැහැ. පොඩි මල්ලී (ගාමින්ද ප්‍රියවිරාජ්) – චූටි මල්ලී (සුනෙත් චිත්‍රානන්ද) අපට තාමත් මතක කොලිටි එකට අපිව හිනස්සන නිසාමයි. එයාලගේ සැබෑ නම්වලට වඩා අපි තවමත් ඔවුන්ට කතා කරන්නේ මේ හිනැස්සීමෙන් ඔවුන් හදාගත් අනුවර්ත නාමයෙන්මයි.
චූටි මල්ලී – පොඩි මල්ලී කොහොමද මේ දවස්වල ජීවිතය?
ඇත්තෙන්ම මේ දවස්වල අපි අපේ අලුත්ම චිත්‍රපටයේ අවසාන වැඩකටයුතු ටික කරන ගමන් ඉන්නේ.
එහෙම නම් සුනෙත් අපි චිත්‍රපටයෙන්ම කතාව පටන් ගනිමු…
ඔව්. අපි දෙන්නා කරපු “අපි නොදන්න Live” වැඩසටහනේම හැඩයට කිට්ටුවෙන් යන මීඩියාවලට සම්බන්ධ කතාවක් විදියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙ අපේ හැඩය, අපේ ඌරුව තියෙනවා.
අපි මේකට ගැළපෙන නම් කීපයක්ම යෝජනා කරගෙන ඉන්නවා. හැබැයි අපි තාම එක නමක් නම් හරියටම තෝරගෙන නැහැ. ළඟදීම අපි නමක් හරියටම තීරණය කරනවා. ඉතින් එදාට අපි ඒ විස්තරෙත් නවලියටම මුලින් කියන්නම්.
ගාමින්ද, ඔයාලගේ චිත්‍රපටයෙ තිර රචනය, අධ්‍යක්ෂණය, රංගනයෙන් දායක වෙන්නෙ කවුද කියන විස්තර ගැනත් කතා කළොත්…
ඔව්. මේ චිත්‍රපටිය කතාව සහ දෙබස් ලිව්වේ අපි දෙන්නම තමයි. එතකොට ස්ක්‍රීන්ප්ලේ එක ලිව්වේ මම. අධ්‍යක්ෂණය කරෙත් මමම තමයි. ඒ වගේම ප්‍රධාන චරිත රඟපාන්නේ අපි දෙන්නා.
බුවිනි චාපා දියලගොඩ තමයි ප්‍රධාන නිළිය. මීට අමතරව ආරාධිත රංගනයෙන් පූජා උමාශංකර්, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක ඇතුළු බොහෝ පිරිසක් දායක වෙනවා.
ගාමින්ද, මේ චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කළේ කොයි කාලෙද? ඒ වගේම මේ චිත්‍රපටිය ඔයාලගෙ ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න හිතන් ඉන්නේ කොයි මාසවලද ?
ඔව් දැනට අවුරුදු කිහිපයකට කලින් ඒ කියන්නෙ ඇත්තටම කොරෝනාවලටත් කලින් තමයි අපි මේ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ.
හැබැයි කොරෝනා නිසා වගේම රටේ තිබුණ තත්ත්වයත් එක්ක අපිට මේකේ වැඩ කටයුතු කරගන්න බැරිවුණා. ඉතින් ඊටපස්සෙ තමයි අපි මේ වැඩේ ඉතිරි කටයුතු පටන්ගත්තේ. දැන්නම් චිත්‍රපටිය නිෂ්පාදනයේ අවසාන අදියරේ තමයි ඉන්නේ.
මේ ටිකේ හඬකැවීම් කරගෙන යනවා. අපේ ලංකාවේ රසිකයන්ට නම් මේ අවුරුද්දේ මේ චිත්‍රපටිය බලන්න බැරි වෙයි.
හැබැයි අපි මේ අවුරුද්දේ අන්තිමට මුලින්ම ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටය පෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලබන අවුරුද්දේ මුල වගේ ලංකාවේ අයටත් මේ චිත්‍රපටිය බලන්න පුළුවන් වෙයි.
චිත්‍රපටියේ වැඩ කටයුතුවලට අමතරව මේ දවස්වල චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි අලුත්ම වැඩ තියෙනවද?
ඔව් අපි කමර්ෂල්වලට වගේම ඉවෙන්ට්ස්වලට සම්බන්ධ වෙනවා. ඇත්තෙන්ම වැඩ නම් ගොඩක් තියෙනවා හැබැයි ඒ වැඩවලට ගෙවන ගණන් අඩුවෙලා තියෙන්නේ. ඉතින් ආයතනවලින් ගොඩක් අඩුවට තමයි අපෙන් වැඩගන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒ බජට්වලට දැන් අපට වැඩ කරන්න බැහැ.
අපිට විතරක් නෙවෙයි හැමෝටම ඒ ප්‍රශ්නෙ දැන් තියෙනවා. අද වෙද්දි ලංකාවේ හැමදේකම මිල ගණන් ඩබල්වෙලා තියෙන්නේ. හැබැයි ආටිස්ලට විතරයි එයාලට හම්බවෙන ගාණ ඩබල් කරගන්න බැරිවෙලා තියෙන්නේ.
කමර්ෂල්වලට වගේම ඉවෙන්ට්ස්වලට ඔයාල දෙන්නා සම්බන්ධ කරගන්නේ කොහොමද?
අපි දෙන්නට කමර්ෂල් කරන ආයතනයක් තියෙනවා. අපි දෙන්නා රඟපාන ඒවා වගේම අනිත් අයගේ කමර්ෂල්ස් ඒ ආයතනයේම තමයි අපි කරගෙන ගියේ. ඉවෙන්ට්ස් නම් ඉස්සරට සාපේක්ෂව දැන්නම් අපිට විතරක් නෙමෙයි හැමෝටම වගේ ලැබෙනවා අඩුයි.
අපි සම්බන්ධ වෙලා හිටපු ආයතනවලත් ඉස්සර නම් අවම වශයෙන් අවුරුද්දකට ඉවෙන්ට්ස් හතරක්වත් කළා. ඊට අමතරවත් තවත් ඉවෙන්ට්ස් සංවිධානය කළා. හැබැයි මෑතකදි නම් සමහර ආයතනවලට අවුරුදු උත්සවයක්වත් තියාගන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ.
අපට ලංකාවෙ ඉවෙන්ට්ස් අඩු වුණාට පිටරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉවෙන්ට්ස්වලට ආරාධනා ලැබෙනවා.ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වගේම ඩුබායි රටවල්වල ගොඩාක් ඉවෙන්ට්ස් සංවිධානය වෙනවා.
අපිට ෆිල්ම් එකේ වැඩ නිසා මේ අවුරුද්දෙ නම් ගොඩක් ආරාධනාවලට යන්න බැරි වුණා. හැබැයි අපි පහුගිය අවුරුද්දෙ මාසයක් විතර ඕස්ට්‍රේලියාවේ ගියා. ෂෝස් 6 ක් 7ක් වගේ කළා. ඒ වගේම කටාර්වලටත් ගියා.
ඔයාලා දෙන්නව මිනිස්සු අඳුරන්නෙ එයාලගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් කලාකරුවො විදියට. ඉතින් එයාලට ඔයාලා ගැන මුල් කාලෙ තිබුණ ආදරය තාමත් ඒ විදියටම තියෙනවද? කොහොමද ඔයාලට ඒක ගැන දැනෙන්නෙ?
ඔව් ඇත්තෙන්ම අපි දෙන්නම මේ දවස්වල ගොඩාක් වැඩ කරන්නෙ නැති වුණත් අපිට තියෙන ප්‍රේක්ෂක ආදරය නම් පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ.
තාමත් ඒ ආදරය ඉස්සර වගේම චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි ලැබෙන බව අපිට දැනිලා තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට වගේම ලොකුම හයිය.
කලා කටයුතුවලින් මිඳුණාම සාමාන්‍ය ජීවිතේ සුනෙත් චිත්‍රානන්ද කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ඇත්තෙන්ම මම ගොඩාක් කාර්යබහුල ජීවිතේකට කැමති නැති කෙනෙක්. අපි දෙන්නම ගොඩක් ඇවිදින්න කැමතියි. අපේ විනෝදාංශය තමයි ක්‍රිකට්. ඒ වගේම ඇඩ්වෙන්චර් වැඩවලටත් අපි කැමතියි. අපි දෙන්නා ඉඩක් ලැබුණු ගමන් ලෝකේ වගේම අපේ ලංකාව ඇතුළෙත් ට්‍රැවල් කරන එක තමයි කරන්නේ.
අපි කැමති විදියට ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් මුදල් තිබුණම ඇති කියලයි අපි දැන් හිතන්නේ -ගාමින්ද
ගාමින්ද ප්රියවිරාජ්ගෙනුත් ඒ ප්‍රශ්නයම මම ඇහුවොත්….
ඔව් අපි දෙන්නගෙම රුචිකත්වයන් ගොඩක් වෙලාවට එක වගේමයි. ඒ නිසා වෙන්න ඇති අපි තාමත් මේ විදිහට එකතුවෙලා වැඩ කරන්නේ. ඇවිදින එක ගැන ළඟම අත්දැකීම තියෙන්නෙ මේ පොසොන් සතියට කලින් අපි මහාචාර්ය රාජ් සෝමදේව එක්ක සීගිරිය සහ ඒ අවට දවස් 7 ක් ඇවිද්දා.
අපි දෙන්නම පුරාවිද්‍යාව සහ ඉතිහාසය සම්බන්ධව ඉගෙනගන්න කැමති නිසා ඒ අධ්‍යයනයන්ට තමයි සර් එක්ක අපි ගියේ. ඒ වගේම පිටරටකට ගියත් අපි සාමාන්‍යයෙන් ෂෝස් නැති ෆ්‍රී දවස්වලට ඒ රටවල ඇවිදින්න යනවා.
ගෙදරින් කොයිවගේ සහයෝගයක්ද සුනෙත්ගෙ වැඩවලට ලැබෙන්නෙ?
මට අවු 15 ක පුතෙක් සහ අවු 11 ක දුවෙක් තමයි ඉන්නේ. මගේ බිරිඳත් මනෝ උපදේශිකාවක්. ඉතින් ඇය ඇගේ වැඩකරන ගමන් මගේ වැඩ කරගන්න බාධා නොකර ඉන්න එක තමයි මම හිතන විදියට මට ලබාදෙන ලොකුම සහයෝගය. ඒ වගේම එයාලත් මගේ නිර්මාණ රස විඳිනවා.
එතකොට ගාමින්දට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?
මට ඉන්නෙ දුවෙක්. එයා දැන් උසස් පෙළට සූදානම් වෙනවා. ඉතින් එයාගෙ වැඩ ගොඩක් වෙන්නෙ මගෙ බිරිඳගෙ අතින්. ඇත්තෙන්ම ඒක මට ලොකු පහසුවක්. අපේ වැඩවල හරි ටයිම්ෆ්රේම් එකක් නැති නිසා ඒ දේවල් තේරුම් අරගෙන උදව් කරන එක තමයි මටත් එයාලා දෙන ලොකුම සහාය.
සුනෙත්- ගාමින්ද දෙන්නම කියන්න බලන්න ජීවිතේ ගැන මොකද අද ඔයාලට හිතෙන්නෙ?
සුනෙත්- ඇත්තෙන්ම මම නම් මගේ ජීවිතේ ගැන ගොඩක් සතුටුවෙන කෙනෙක්. මොකද ලංකාව වගේ රටක ඉපදුණාට ලංකාව විඳින්න චාන්ස් එකක් හැමෝටම හම්බවෙන්නේ නැහැ. ලංකාවෙ මොනවද තියෙන්නෙ කියලවත් සමහරු දන්නෙ නැහැ.
හැබැයි අපේ ලංකාවෙ තියෙන්නෙ මොනවද කියන එක දකින්න, අහන්න වගේම රටේ ඉතිහාසය සහ රට සම්බන්ධව තියෙන වටිනාකම් එක්ක බොහොම හොඳින් සම්බන්ධ වෙලා ඉන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.
විශේෂයෙන්ම එන්ටර්ටේනර් කෙනෙක් විදියට වැඩ කරන්න ලැබුණු එක ගැන මම හරිම ආඩම්බරයි. මේක සාමාන්‍යය කෙනෙකුට නැති අවස්ථාවක්.
මොකද අපේ මූණ නිල ඇඳුමක් ඇන්ඳ කෙනෙක් හා සමානයි. ඒ කියන්නෙ අපිට රට ඇතුළෙ වගේම රටින් එළියට ගියත් අපේම කියලා අනන්‍යතාවයක් තියෙනවා.
ගාමින්ද – ඇත්තටම ජීවිතේ ගැන මටත් ගොඩක් සතුටුයි. මොකද සුනෙත් කිව්වා වගේ රටේ මිනිස්සු ආදරේ කරන ප්රමුඛ පෙළේ කෙනෙක් වෙන්න ලැබුණ එක ලොකු සතුටක්.
ඉතින් ඒ ආදරය වගේම ගෞරවය රැකගෙන ඉන්නත් අපිට ලොකු වගකීමක් තියෙන බව දන්නවා. ඇත්තෙන්ම අපි හැමවෙලාවෙම මිනිස්සුන්ට හුදෙක්ම විහිළුවකට එහා ගිය පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා.
ඒ වගේම අපි දෙන්නාම හැමවෙලාවෙම ජීවිතේ රසවිඳිනවා. අපිට මීට වඩා ගොඩක් වැඩ කරන්න තිබුණා. ඒත් අපි හිතුවා පොඩි රවුමක් දාලා, මොනවා හරි කාලා, යාළුවො එක්ක ගෙදර අයත් එක්ක කාලය ගතකරන එක හොඳයි කියලා.
මොකද මැරීගෙන වැඩ කරත් කොහෙන් හරි ඉවර කරන්න ඕන. අපි කැමති විදියට ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් මුදල් තිබුණම ඇති කියලයි අපි දැන් හිතන්නේ.
හරින්දී ලියනගේ ✍️