ඉන්ද්‍රජිත් දොලමුල්ල
ඉන්ද්‍රජිත් දොලමුල්ල. ඔහුට ආදරය කරන වෙනම රසික රසිකාවියන් පිරිසක් එදා හිටියා. අදටත් එහි කිසිම අඩුවක් නැහැ. තවමත් එතෙර මෙතෙරම් එළිමහන් වේදිකාවේ ගීත ගයන ඉන්ද්‍රජිත් තමන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයක් ඉතාම ලස්සනට සමබරව කරගෙන යන ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.ඔහු මේ වනවිටත් ඔහුගේ බොහෝ ගීත නිර්මාණවල තනු නිර්මාණ ශිල්පියා.වසර දෙකහමාරක් විතර පැවති කොවිඩ් වසංගතය නිසා ඔහු ගෙදරටම වෙලා තනු නිර්මාණ කරමින් ගිත දෙසීයකට වඩා අවසන් කරලා. ඒවා ඉදිරියේදී එකින් එක දැක බලාගන්නත් රස විඳින්නත් අපිට පුළුවන් වෙයි. කාලෙකට පස්සේ ඉන්ද්‍රජිත්ව එයාගේ පවුලේ අයත් එක්ක අපිට කතා කරන්න හම්බුණා.මේ ඒ රසබර කතාබහ…
කොහොමද මේ දවස්වල ජීවිතය?
කොරෝනා වසංගතයත් එක්ක ගොඩක් දවස් ගෙවල්වලට වෙලා ඉන්න වුණ නිසා මම හදපු මෙලඩීස් ගොඩක් එකතු වුණා. මම හිතන්නේ මෑතකදී වැඩිම මෙලඩීස් ප්‍රමාණයක් යූටියුබ් එකට එකතු කළේ මම. මෑතකදී මම අලුත් සින්දු 250 විතර මගේ රසික රසිකාවියන්ට ලබාදුන්නා. මේ දවස්වලත් මම තවත් අලුත් මෙලඩීස් කිහිපයක්ම නිර්මාණය කරමින් ඉන්නවා.
ඉස්සර වගේම තවමත් සංගීත ප්රසංගවලින් ඔබට ඇරයුම් ලැබෙනවද?
අනිවාර්යයෙන්ම. මගේ සින්දු අහන්නත් පුළුවන් අහගෙන නටන්නත් පුළුවන් නිසා සංගීත ප්රසංවල නම් අඩුවක් මට නැහැ. අනිවාර්යයෙන්ම සති අන්තයේ දී ලංකාවේ කොතනක හරි තියෙන සංගීත ප්‍රසංගයකින් මට ආරාධනා තවමත් ලැබෙනවා.
සංගීත ජීවිතේ හැරුණම තව මොනවගේ දේවල්ද ඔබ කරන්නේ?
සංගීත කටයුතු හැරුණම දැනට මම මගේම කියල වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ඉන්ද්‍රජිත්ගේ පවුලේ විස්තර මතක් කළොත්?
මගේ ආදරණීය බිරිඳ මල්ලිකා දොළමුල්ල. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ලොකු දුව චුලාලි චන්දිනා. පොඩි දුව සඳලි සවින්ද්‍යා. ඒ දෙන්නම ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපන කටයුතු ඉවර කරල දැන් රැකියාවන් කරනවා.
දුවලා දෙන්නට සංගීත ක්ෂේත්රයට යොමුවෙන්න අදහසක් නැද්ද?
ඒ දෙන්නටම එහෙම සංගීත ක්ෂේත්රයට යොමුවෙන්න නම් ලොකු අදහසක් නැහැ වගේ. හැබැයි දෙන්නටම සංගීත හැකියාව හොඳින් පිහිටලා තියෙනවා.ලෙය සහ ළය වගේ රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබුණහම නම් එයාලත් මාත් එක්ක හරිම ආසාවෙන් ගීත ගායනා කළා.
සංගීත කටයුතුයි, ව්‍යාපාර කටයුතුයි සමබරව කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම සංගීත වැඩවලදී වගේම ව්‍යාපාර කටයුතුවලදීත් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා මට. මම නිතරම ප්‍රසංගවලට සහභාගී වෙන නිසා දුවලා දෙන්නගෙ වැඩ, ගෙදර වැඩ ඔක්කොම අඩුවක් නැතුව හොයල බලලා කරන්නේ මල්ලිකා. ඉතින් මගේ ගමනට ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ගෙදර වැඩවලට බිරිඳට ඉන්ද්‍රජිත් ලබාදෙන සහයෝගය කොහොමද?
ව්‍යාපාරයේත්, සංගීත ක්ෂේත්රයේත් මගේ වැඩ ඔක්කොම සමබරව කරගෙන මට පුළුවන් උපරිම සහයෝගය ගෙදර වැඩවලට මම ලබාදෙන කෙනෙක්. මට තියෙන්නේ බොහොම ආදරණීය පවුල් ජීවිතයක්. අපි හතර දෙනාම හරිම සතුටින් කාලය ගෙවනවා.
කොහොමද ආදරණීය බිරිඳව ජීවිතයට මුණගැහෙන්නේ?
අපිටත් තියෙන්නේ සුපුරුදු ආදර කතාවක්මයි. ඉස්සර මම මිනුවන්ගොඩ ෂොප් එකක් කළා. ඒ ඉන්න අතරේදි තමයි අහම්බෙන් දවසක් ඇයව පාරෙදි දකින්නේ. එහෙම දැකලා කාලයක් පස්සෙන් ගිහිල්ලා තමයි අපි ආදරය කරන්න පටන් ගත්තේ. විවාහ වෙලා කාලයක් ගියත් ඒ ආදරය අදටත් ඒ වගේම තියෙනවා.
අද කාලේ වගේ නෙවෙයිනේ ඉස්සර සංගීත ප්‍රසංගවලට ගියාම රසිකාවියන්ගෙන් ඉහළ ආදරයක් ලැබෙන්න ඇති. ඒවගේ දේවල්වලට බිරිඳගෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද?
මේ ක්ෂේත්රයේ දී රසික රසිකාවියෝ කියල වෙන් කිරීමක් නැහැ. එයාලගෙන් ලැබෙන ආදරය, ප්‍රතිචාර එක්ක තමයි අපේ ගමන රඳා පවතින්නේ. මගේ බිරිඳ ඒ දේ හොඳින් තේරුම් ගත්ත කෙනෙක් නිසා මේතාක් එහෙම ප්‍රශ්නයක් අපි අතරේ ඇතිවෙලා නැහැ.
ප්‍රවීණ සංගීත ශිල්පියෙක් විදිහට අලුත් පරම්පරාව ගැන මොකද හිතන්නේ?
අලුත් පරම්පරාව හරිම දක්ෂයි. අපේ කාලේ වගේ නෙවෙයි එයාලට නිවැරදි විදිහට ඉදිරියට යන්න සම්පත් ඕනෑ තරම් අද වෙනකොට තියෙනවා. ඒ නිසා සංගීත ක්ෂේත්රය මීට වඩා ලස්සන වෙන්න නම් අලුත් පරම්පරාව මීට වඩා ලස්සන රසවත් නිර්මාණ කරන්න පෙළඹෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. හැබැයි තාම එහෙම වෙලා නෑ.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
මගේ හැම ගීතයකම තනු නිර්මාණය කරන්නේ මමමයි. ඒ නිසා නිදහස් වෙලාවට මම ගී තනු නිර්මාණය කරනවා. ඒගේම පද රචකයෝ ගොඩක් දෙනෙක් එයාලා ලියපු නිර්මාණ මට එවලා තියෙන්නේ මගේ හඬින් ගීත නිර්මාණය කරලා ගායනා කරවගන්නයි. එයාලගේ ප්‍රවීණත්වය නෙමෙයි ඒ පද රචනාවන් හොඳයි නම් මම ඒ ගීත බාරගන්නවා. එහෙම එවපු නිර්මාණ කිහිපයක්ම තියෙනවා ඉදිරියට කරන්න.
හරින්දී ලියනගේ ✍️