ශිරාණී ප්‍රියසාද්
අත්තම්මෙක් කියන්නෙ තමන්ගෙ කුසෙන් දරුවො වදලා, කවදහරි ඒ දරුවන්ගෙ දරුවනුත් තමන්ගෙම දරුවො වගේ රැකබලාගන්න, ආදරේ කරන අපූරුම මනුස්ස කාන්තාවක්. තමන්ගෙම දරුවො වෙනුවෙන් එරුණ කිරි මුනුබුරු මිනිබිරියන් වෙනුවෙනුවෙන් එරෙන අත්තම්මලා තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ඉන්නේ. ඉතින් මෙදා පාර ලෝක ළමා දිනය වගේම වැඩිහිටි දිනයටත් සමගාමීව තමන්ගෙ දූවරු තුන්දෙනාව පුංචි කාලෙ බලාගත්තා වගේම ලස්සනම ලස්සන මිනිබිරියො දෙන්නෙකුත් බලාගන්න ආදරණීය අත්තම්මෙකුයි අද අපේ කතා නායිකාව වෙන්නේ. ඇය අපි කවුරුත් දන්න දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රිගේ ආදරණීය මව ශිරාණී ප්‍රියසාද්. ඇය දැන් පුංචි මිනිබිරියො දෙන්නෙකුගේ ‘අම්මම්මෙක්’. කාර්යබහුල අම්මලා වුණ දිනක්ෂිගේ සහ ශේෂාද්‍රිගේ දරුවො දෙන්නා වෙන සාරන්‍යා සහ ක්‍රිෂාර්යාව බලාගන්න ගමන් එයාලා එක්ක ගෙවන සුන්දර කාලය ගැන අපි ඇය එක්ක මොහොතක් කතා කළා…
මිනිබිරියෙක් ලැබෙන්න ඉන්නවා කියන සතුටු පුවත මුලින්ම දැනගත්ත වෙලාවේ දැනුණ හැඟීම ගැන ප්‍රථමයෙන්ම නොඅසා කොහොමද…
වචනවලින් විස්තර කරන්න බෑ ඒ හැඟීම. දිනක්ෂි ඇවිත් ඒ සුබ ආරංචිය කිව්වම මට හිතාගන්න බැරි වුණා. ඒක පුදුම සතුටක්.
කැමැත්තෙන් හිටියෙත් මිනිබිරියක්ටමද?
ඔව්. මම ආසාවෙන් හිටියෙ දිනක්ෂිට දුවෙක් හම්බෙනවට තමයි. ඒ වගේම හම්බුණා. ලොකු බබා (සාරාන්‍යා) ගොඩක් වෙලාවට අපිත් එක්ක හිටියේ. මං ගාව නිදාගත්තෙත්. ලොකු බබා ලැබුණ දවස්වල දිනක්ෂි ටිකක් අමාරුවෙන් හිටියේ.
ඉතින් රෑට බබා අඬද්දි දිනක්ෂි කරන්නෙ මට කෝල් එකක් අරගෙන බබා අඬන සද්දෙ මට අහන්න දෙන එක. එකම ගෙදර කාමර දෙකක හිටියෙ අපි. ඉතින් මං දුවලා ගිහින් උස්සගෙන ඇවිත් නලවනවා. මට ගොඩාක්ම ලොකු බබාව බලාගන්න උදව් කළේ ශනු ඇත්තටම.
ශනුද්‍රි පුංචාගේ ආදරෙත් කතා නොකර බෑ නේද?
ශනූනම් හොඳම පුංචා කෙනෙක්. කොහේ ගියත් මේ දෙන්නට මොනවා හරි ගේනවා. ලොකු බබා මුල් කාලෙ කිරි උරලා බිව්වෙ නෑ. ඒ නිසා පම්ප් කරලා බෝතලේකට දාලා තමයි පොවන්න වුණේ. ශනූ තමයි රෑට ලොකු බබා අඬද්දි කිරි එක පවා පෙව්වෙ.
එයාට ළමයි සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා වගේ තමයි බබාලා දෙන්නවම බලාගන්න මට උදව් කළේ. නිදි කරවන එකත් ලේසි නෑ. මායි ශනුයි ෆෑන් එක දාලා, නට නට තමයි දෙන්නව නැලෙව්වෙ. හරි ආසයි ඒ කාලෙ මතක් වෙද්දි.
මිනිබිරියො දෙන්නෙක්ව බලාගන්නකො නොදැනුවත්වම අවුරුදු ගාණක් ආපස්සට යනවා ඇති..
ඔව්. මට දැනුත් බබාලා දෙන්නා ගෙදර ඉද්දි චූටි කාලෙ ශනුයි දිනක්ෂියි ගෙදර ඉන්නවා වගේ දැනෙන්නේ. ඒ වගේම වයස් පරතරයක් මේ දෙන්නගෙත් තියෙන්නේ. මගේ මිනිබිරියො දෙන්නා නිකන්ම මාව මගේ අතීතයට අරගෙන යනවා.
ශේෂාද්‍රිටත් දුවෙක් ලැබෙනවටද ආස වුණේ?
මං ඇත්තටම ආසාවෙන් හිටියෙ එයාටත් දුවෙක් හම්බෙනවා නම්. මටත් පුතෙක් හිටපු නැති නිසා වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තේ.
කොහොමද චූටි මිනිබිරියො දෙන්නා අත්තම්මට කතා කරන්නෙ?
‘අම්මම්මා’ කියලා.
දඟයිද පොඩ්ඩො දෙන්නා?
චූටි බබා (ක්‍රිෂාර්යා) ටිකක් දඟ වැඩියි. දෙන්නා එකට ඉන්නකොට පොඩ්ඩක් අමාරුයි මට බලාගන්නත්. සාරාන්‍යාට තේරෙන්නෑනෙ ක්‍රිෂාර්යා පොඩියි කියලා. එයා නංගිට සෙල්ලම් කරන්න කතා කරලා ආවෙ නැති වුණොත් අඬලා ගෙදර දෙක කරනවා. හැබැයි දෙන්නා හරිම එකමුතුයි. කොයිවෙලෙත් “මයි නංගා.. මයි අක්කා” ගාගත්තු ගමන්මයි. අනේ මං හරි ආසයි ඒ බැඳීම දිගටම තියෙනවා නම්.
අපි ඔබේ අතීතයට ගියොත්, කොහොමද ගෑනු ළමයින්ම තුන්දෙනෙක් බලාගත්තු ඒ අතීතය?
මම අදටත් කල්පනා කරනවා මම කොහොමද කෙල්ලොම තුන්දෙනෙක් හැදුවෙ කියලා. හැබැයි තුන්දෙනා මට කිසි වදයක් දුන්නෙ නෑ. දඟ කළෙත් නෑ. කියන දේත් අහනවා. හැබැයි මං වේවැලක් එල්ලලා තිබ්බා ගෙදර. ඒත් ගැහුවෙ නෑ. මොනවහරි නරක වැඩක් කරපු ගමන් පොඩ්ඩක් සැර කළානම් ඇති.
පුතෙක්ට කැමැත්තක් තිබුණෙ නැද්ද?
එහෙම විශේෂ කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් ශේෂාද්‍රි ලැබෙන්න ඉද්දි දිනේෂ් කැමැත්තෙන් හිටියා පුතෙක් ලැබෙනවා නම්. ඒ නිසා මට හදාගන්න වුණෙත් නිල් පාට ඇඳුම්. ඒත් ඒ පාරත් හම්බුණේ දුවෙක්ම තමයි.
කොහොමද සීයාගෙන් (දිනේෂ් ප්‍රියසාද්) මිනිබිරියන්ට ලැබෙන ආදරේ?
අම්මෝ එයාගෙ දුවලට වඩා බලන්නෙ පොඩි දෙන්නව. එක දවසක් හරි අපේ ගෙදර නාවොත් එන්නැද්ද එන්නැද්ද කියලා අහනවා. මහ ගෙදර ඇවිත් ආපහු යන්න හැදුවොත් අහනවා ඇයි යන්නෙ කියලා. එයාට එක දවසක්වත් මිනිබිරියො දෙන්නව නොදැක ඉන්න බෑ.
පහුගිය සතියේ තිබුණෙ සාරාන්‍යාගේ උපන්දිනේට අම්මම්මා මොනවද තෑගි කළේ?
එයාට උවමනා හැමදේම තෑගි ලැබිලා තිබුණා. එයාව බලාගන්න කෙනා මට කිව්වා බබාගෙ පිජාමා ටික සේරම ටිකක් හිරයි, ඒ නිසා පිජාමා ටිකක් අරන් දෙන්න කියලා. මං ඉතින් මහන්නත් දන්න නිසා මම එයාට පිජාමා සූට්ස් ටිකක් මහලා දුන්නා.
අත්තම්මෙක් විදිහට සාරාන්‍යා, ක්‍රිෂාර්යාට තියෙන ආදරේ වචන කරන්න කිව්වොත්…
ඒ ආදරේ වචන කරන්න බෑ අනේ මට. මට තේරෙන්නෑ. එයාලා මං ළඟ ඉන්නවා නම් එතන තමයි මගේ සතුට තියෙන්නේ.
දිනක්ෂි, ශේෂාද්‍රි කාර්යබහුල වෙද්දි එයාලට අම්මා වෙන්නෙ ඔබ. අඬන්නෙ එහෙම නැද්ද අම්මලා දෙන්නා නැති වුණාම?
චූටි බබා ශේෂාද්‍රි එයාව දාලා යද්දි ගොඩක් අඬනවා. ලොකු බබාව දිනක්ෂි ගොඩක් වෙලාවට පාන්දරම ගෙනත් දෙනවා එයා ෂූටිං යන නිසා. එයා හිටපුගමන් අහනවා අම්මි කෝ කියලා. ඊටපස්සෙ ෂේප්.
මං අවසානයට ඔබෙන් මෙහෙම අහන්නම්, මේ වගේ ආදරණීය පවුලක් හිමිවීමේ සතුට මොන වගේද?
ඒක මගේ ලොකු වාසනාවක්. මේ වගේ පවුලක් හැමෝටම ලැබෙන්නෑ. ඒත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ආදරණීය පවුලක් හැමෝටම ලැබෙන්න කියලා. දරුවන්ට ගතිගුණ එන්නෙ පවුලෙන්. අපේ ළමයි හැදෙන්නෙ අපි කරන දේවල් දැකලා. පවුලේ ආදරය දිනාගෙන ගනුදෙනු කරන එක පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.
එරංදි කෞශල්‍යා ✍️