රෙබෙකා දිල්රුක්ෂි
අසේනි, මේනකා, වාසුල මේ නම් තුන වෙන්නැති ටෙලි නාට්‍යවලට ඇලුම් කරන අයගේ මුවේ පහුගිය දවස්වල වැඩියෙන්ම රැඳෙන්න ඇත්තේ. විචාර ලියන්නන් අතින් වැඩියෙන්ම ලියවෙන්නත් ඇත්තේ. දිනක්ෂි, සාරංග නිරන්තරයෙන් දකින නළුනිළි දෙපළක් වුණත් අසේනිට පණ පෙවූ රෙබෙකාව නම් ගොඩක් දෙනා අඳුරගත්තේ ‘Take care’ හරහා. මේ ඇය සමඟ අප කළ කතාබහක්…
Take care ත් ඉවරයි මේ දවස්වල නිදහසේ ඉන්නවද?
ලොකු නිදහසකුත් නෑ. නාට්‍ය දෙක තුනක රූපගත කිරීම් සිද්ධ වෙනවා. ගොඩාක්ම කාර්යබහුලත් නෑ.
අසේනි චරිතය බොහෝ පිරිසකගේ හදවත් වැළඳගත් චරිතයක් වුණා. ඔබ හිතන්නේ ඒකට හේතුව මොකක්ද?
මං හිතන්නේ ඒකට හේතුව නාට්‍යයෙන් කතා කළ මාතෘකාව. පවුල කියන කැටගරි එකෙන් නාට්‍ය හැදුණට ගොඩක් තියෙන්නේ උඩින් අල්ලලා හදන නාට්‍යය. නමුත් ‘Take care’ එකෙන් මනුස්සයෙකුගේ මනෝභාවය ගැන හොඳින්ම පෙන්නුවා. එක සතියක ප්‍රේක්ෂකයට අසේනි වැරදියි කියලා හිතෙනවා.
තව සතියක මේනකා වැරදියි කියලා හිතෙනව. තවත් සතියක වාසුල වැරදියි කියලා හිතෙනව. අපිට සාමාන්‍ය ජීවිතේ හම්බෙන චරිතත් මේ වගේ. නිතර අහන්න දකින්න නොලැබුණාට මේක ගොඩක් අයගෙ ජීවිතවලට සමීප කතාවක්.
රෙබෙකාගේ ජීවිතේදිත් අසේනිලා මේනකාලා මුණගැහිලා තියෙනවද?
ඔව්. පෞද්ගලිකව මට එහෙම චරිත මුණගැහිලා තියෙනවා වගේම නාට්‍ය විකාශය වුණ කාලෙදි මට එහෙම අය ගොඩක් මැසේජ් කරලා එයාලගේ කතා කියලත් තියෙනවා.
ඔබ රංගනයට පිවිසෙනවට වැඩියෙන්ම කැමති වුණේ සැමියා නේද?
මට කොහොමත් ඕන වෙලා තිබුණේ රඟපාන්න. නමුත් ගමේ ඉඳන් නිතරම කොළඹ එන්න වෙන දේවල් එක්ක සැමියා තමයි මට ඇත්තටම සපෝට් කළේ. කිසිම වැඩක් නැතුව කොළඹ බෝඩිංවලට නිකරුණේ සල්ලි වියදම් කර කර ඉද්දි දමල ගහලා ආපහු ගමට යන්න හිතුණ අවස්ථා තිබුණා. නමුත් ඔහු තමයි අත්හරින්න එපා කියලා මාව රඳවගෙන තියාගත්තේ.
එහෙම උදව් කරපු සැමියාට අද රෙබෙකව දකිද්දි කොහොම සතුටක් ඇතිද?
එයා මුල ඉඳන්ම මං ගැන සතුටින් හිටියේ. මං ජනප්‍රිය වුණා කියලා මාර ලොකු සතුටකුත් එයාට නෑ. එයාගේ සතුට හරිම සමබරයි. මම වුණ මහන්සියේ ප්‍රතිඵල තියෙන නිසා කලින් තිබුණ සතුට ටිකක් වැඩි වෙලා ඇති.
ගොඩක් නිළියෝ ජනප්‍රිය වෙද්දි තමන්ගේ පෞද්ගලික ජීවිතේ හංගනවා. නමුත් ඔබ එහෙම නෑ
රඟපෑම හොඳයි නම් මං හිතන්නෙ ඒ කෙනා විවාහකද අවිවාහකද කියන එක වැදගත් නෑ. ඉස්සර තිබුණනේ බැඳලා කියන්න එපා ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුවෙයි වගේ දෙයක්. මට නම් මෙහෙම එකක් හිතෙන්නේ නෑ.
චරිතයක් තෝරගන්නකොට මොනවද විශේෂයෙන් බලන්නේ?
මට වැඩ කරන්න පහසු චරිතයක් නම් විතරයි මං ඒක බාරගන්නේ. මට මං බාරගන්න චරිතයේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.
මුලින්ම අසේනි චරිතය ගැන තිර පිටපතේ කියෙව්වම මොකද හිතුණෙ?
චරිතය ආරම්භයේ ඉඳල අවසානය දක්වාම මට හිතුණා මේක මාර වැඩක් කියලා. මොකද අනුෂ්ක රසාංජන මුළු ස්ක්‍රිප්ට් එකම සම්පූර්ණ කරලා තිබ්බේ. නමුත් පොඩි සැකයක් තිබුණා ප්‍රේක්ෂකයෝ මේක කොහොම බාරගනීද කියලා.
Take care රෙබෙකාගේ කලා ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වේවිද?
මෙහෙමයි. මිනිස්සු කීප දෙනෙක් මාව අඳුරගත්තා මේ නාට්‍ය නිසා. එහෙම බැලුවොත් මේක ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්න පුළුවන්. ප්රේක්ෂකයොනේ අපේ වත්කම. ඉතින් සමහර ප්‍රේක්ෂකයෝ මට ආදරේ කරන්න ගත්ත එකම ලොකු ටර්නින් පොයින්ට් එකක්.
කලාවේ අඳුන ගත්ත හොඳ යහළුවෝ කවුද?
මට කලාවේ යාළුවො නෑ. හැබැයි මං හොඳ මිනිස්සු ටිකක් අඳුරගත්තා. යාළුවෝ කියන්නේ නිතර එකට රැඳෙන, එකට කන බොන, ගෙවල්වල ගිහින් කතා කර කර ඉන්න පිරිසක්නේ. ඉතින් එහෙම යාළුවො මට මේ ෆීල්ඩ් එකේ නෑ.
නමුත් දිනක්ෂි අක්කා, උපේක්ෂා ස්වර්ණමාලි, උදයන්ති කුලතුංග, චම්පා ශ්‍රියානි, මාදනී මල්වත්ත වගේ හොඳ මිනිස්සු ගොඩක් අඳුරගත්තා. ඒ වගේම මට මෙච්චර කල් ෂූට් එකකට ගියාම වැඩ කරන්න ලැබුණු හැම කෙනාම හොඳ මිනිස්සු.
රෙබෙකාගේ රංගන හැකියාව හොඳින්ම අඳුරගත්තේ කවුද?
මගේ පාසලේ හිටපු මාලා දමයන්ති ගුරුතුමිය. මට මොනවද කරන්න පුළුවන් සහ මේ වෙලාවේ මම කළ යුතු දේ මට අඳුන්වලා දුන්නෙ ඒ ගුරුතුමිය. ඇය අපිව වේදිකා නාට්‍ය බලන්න එක ගියේ නැත්නම්, නාට්‍ය රසය අපට කියලා දුන්නේ නැත්නම් මම අද මෙතන නොහිටින්න තිබුණා.
ඇත්තටම රෙබෙකා නිළියක් නොවුනනම් කවුරු වෙන්න තිබුණද?
ඒක මාර ප්‍රශ්නයක්. නිළියක් නොවුණා නම් සමහරවිට මම හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න තිබුණා කියලා මට හිතෙනවා.
අපේ කතාබහ මෙතනින් නිමයි එහෙනම් රෙබෙකා “Take care’’
“Take care’’
එරංදි කෞශල්‍යා ✍️