චමින්ද ගුණරත්න
ඕනෑම රටක, ජාතියක භාෂාව කියන්නේ අනන්‍යතාවයක් වගේම සන්නිවේදන මාධ්‍යයක්. භාෂාවට වටිනාකමක් ඕන. සිංහල භාෂාව කතාකරන පිරිස අඩුයි. සිංහල අපේ අනන්‍යතාවය නම් සිංහළ භාෂාව මිය යෑමට ඉඩදෙන්න අපට බැහැ. ඒ භාෂාව රටේ ජාතික මාධ්‍ය ඔස්සේ හරි අපූරුවට උච්චාරණය කරන ලාලිත්‍යයෙන් කතාකරන වැඩසටහනට සූදානමින් පැමිණෙන කෙනෙකු සිටී නම් ඒ අතලොස්සෙන් මුල් තැන චමින්ද ගුණරත්න නම් සොදුරු මාධ්‍යවේදියා සතුවේ. එවැනි කෙනෙකු සොයා ගිය ගමනක පැය කිහිපයක රස වින්දනයයි මේ…
ඉතින් කොහොමද චමින්ද? මේ දවස්වල ජීවිතය
විශේෂම කියල දෙයක් නැහැ. මාධ්‍ය සම්බන්ධ දරුවන්ට ඉගැන්වීම් කටයුතුවලට තමයි මේ දවස්වල මම වැඩි ඉඩක් ලබා දෙන්නේ. ඒ හැර රූපවාහිනියේ දෛනික කටයුතු කර ගෙන ඉන්නවා.
චමින්ද අයිති වෙන්නේ රූපවාහිනියේ ප්රවෘත්ති අංශයටද?
ඔව්. මම අයිතිවෙන්නේ ප්රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයට. ප්රවෘත්ති නිවේදකයෙක් වගේම රූපවාහිනිය ඇතුලෙදී මගේ නිෂ්පාදන කටයුතු අතර ප්රවෘත්ති සංස්කරණය, ප්රවෘත්ති රචනා කිරීම යන කර්යයත් තියෙනවා.
අද වනවිට ඔබ සන්නාමයක් බවට පත්වූ චරිතයක්. එවැනි අය අතලොස්සක් අතරත් ඔබ වැඩසටහනක් වෙනුවෙන් පෙර සූදානමක් ඇති කෙනෙක්. ඒ ගැන කතා කළොත්…
වැඩසටහනක් වෙනුවෙන් එහෙම පෙර සූදානමක්ම කියල දෙයක් මම කරන්නෙ නැහැ. එහෙත් ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මගේ මතකයේ තියෙනවා.
ඕනෑම පුද්ගලයෙක් ළග තමන් ජීවිතයෙන් ලබාගත් පෝෂිත මතකයන් තියෙන්න ඕන නේ. එය වැඩසටහනක් වෙනුවෙන් විය යුතු නැහැ. මම පොත්පත් කියවනවා, අන්තර්ජාලයෙන් තොරතුරු ගවේශණය කරනවා.
ඒ නිසා මට ප්රවෘත්ති සහ කාලීන වැඩසටහනක් වෙනුවෙන්ම විශේෂ පෙර සූදානමක් කරන්න අවශ්‍යතාවක් නැහැ.
උදාහරණයක් විදිහට අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වුණාම මට එතුමා ගැන වැඩසටහනක් කරන්න ලැබෙයිද නැද්ද කියල අදාළ වුණේ නැහැ. හැබැයි මම එතුමා පිළිබඳව බොහෝ දේ කලින්ම ගවේෂණය කළා.
ඉදිරියේ මහ මැතිවරණයක් තියෙනවා. මැතිවරණ ප්‍රතිඵල පමණක් නෙවෙයි මැතිවරණ ඉතිහාසය ගැන මට දැනුමක් අවශ්‍ය වෙනවා. නත්තල, සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් තියෙන බව අපි දන්නවා.
ඒ වගේ කාලවකවාණුවලට සමාජයට බෙදාදිය යුතු දැනුමෙන් අපි පොහොසත් වියයුතු වෙනවා. එහෙම නැතුව ප්‍රේක්ෂකයන් හොඳින් ආමන්ත්‍රණය කරන්නට බැහැ. මම මාධ්‍ය සම්බන්ධ ඉගැන්වීම් කරනවා නම් දරුවන් මගෙන් යමක් ඇහුවොත් ඒ වෙනුවෙන් දැනුම මගේ ළඟ තියෙන්න ඕන.
සන්නිවේදකයෙක් විදිහට එදා ඔබ මාධ්‍යට සම්බන්ධ වෙන කාලයට සාපේකෂව අද මාධ්‍යට සම්බන්ධ වෙන අය අතර වෙනසක් දකිනවා ඇති…
මම රුපවාහිනීයට සම්බන්ධ වුණේ 2000 දී. ඒ මගේ තරුණ කාලේ. මට එදා රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨයෙක් ලබාදුන් අවවාදය මට අදටත් මතකයි. “චමින්ද… ඔබ තරුණයි… පෙනුමෙන් ආකර්ශණියයි. ඉදිරියේදී එක වැඩසටහනකින් ඔබ බොහොම ජනප්‍රිය වේවි. පාරේ යන විට ගැහැනු ළමයි ඔබ වටකර ගනීවි.
නමුත් මේ ගැහැනු ළමයි දහදෙනෙකුට වඩා එක විශ්‍රාමික ගුරුවරයෙක් පුතා… ඔබ ඉතා සාර්ථක වැඩ සටහන කළා… බොහොම අගෙයි… කිව්වොත් අන්න ඒ වචන ඔබට බොහොම වටින බව මතක තියාගන්න කිව්වා” මට අදටත් ඒ අවවාදය මතකයි.
ඒ නිසා මම කතා කරන හැම වචනයකම හරවත් දෙයක් තියෙන්න ඕන කියලා මම අදටත් විශ්වාස කරනවා. දැන් ඉන්න පරම්පරාව ජීවත් වෙන්නේ වර්චුවල් ලෝකයක. හැගීම් දැනීම් අඩුයි. ඔවුන් ජනප්‍රියත්වය මනින්නේ තමන්ට ලැබෙන ලයික්, කමෙන්ට්වලින් විතරයි. මේවා තාවකාලිකයි.
චමින්ද ඔබේ පවුලේ අය එක්ක ගෙවන කාලය කොහොමද?
අපට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. චූටි පුතාට වයස අවුරුදු හතරයි. එයා විද්වාන් ආයු ගුණරත්න. මට චුටි පුතා ගොඩක් මඟ හැරෙනවා. දවස් දෙක තුනකට සැරයක් චූටි පුතාව දකින සති තියෙනවා.
නමුත් එයාට මාව වැඩියෙන් ඕනේ.දුරකථනයෙන් කතා කළත් චූටි පුතා ‘අප්පච්චි ඉක්මනට ගෙදර එනවද අහනවා.’ මගේ බිරිඳ ඉනෝකා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂකවරියක්. ඇගේ රැකියාව ඉතාම භාරධූරයි.
ඇය නීතිය සහ ජනතාව සමග කටයුතු කරන කෙනෙක්. නමුත් අපි දෙන්නාගේ සහයෝගය දෙන්නාට ලැබෙනවා. නිවසක සිනාව වගේම බැනගැනීම්, වචන හුවමාරු තිබෙන්න පුළුවන්.
ඒවා හරිම ආදරණීියයි. හැකි ඉක්මනින් ගෙදරට එන්න බලන්නේ ඒ නිසයි. ලොකු දුව පමලිටයි, පොඩි පුතා රගීත්ටයි පාසලේ විවිධ වැඩ කටයුතු වෙනුවෙන් යන්න වෙනවා. ඒ නිසා මට ඔවුන් නිවසේ ඉන්න දවසට රැඳෙන්න වෙලාව හරිම අඩුයි. එහෙම වුණාම දරුවන්ටත් දුකයි. නමුත් අපේ රැකියාවේ හැටියට එහෙම ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්නත් අමාරුයි.
දරුවෝ තුන්දෙනා ගැන ඔබේ බලාපාරොත්තු මොනවාද…?
මම ඉගෙන ගත්තේ වළල ඒ. රත්නායක විද්‍යාලයෙන්. කවුරුත් දන්න විදිහට ඒක ක්‍රීඩා පාසලක්. පාසල් යන කාලෙදී මම ක්‍රීඩාවට සම්බන්ධයි.
දරුවන්ටත් මම යා යුතු මාර්ගය පෙන්වා දී තිබෙනවා. මගේ පුතා රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දුව විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
ඒ දෙන්නම ක්‍රීඩාවට දක්ෂයි. මගේ පුතා රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා.
දුව මළල ක්‍රීඩාවට දක්ෂයි. ඇය සමස්ත ලංකා තරගවලට පවා සහභාගීි වෙලා ජයග්‍රහණ ලබා තිබෙනවා. නිවේදන කටයුතුවලට දුව දක්ෂයි. පුතා කැමැත්තක් නැහැ.
ඉතින් චමින්ද… මෙතෙක් ආ මග දිහා ආපසු හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ… ?
මගේ ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මට සතුටු වෙන්න පුළුවන්. නමුත් වැරදුණ තැන් තිබෙනවා. හැලහැප්පීම්, අතපසුවීම් වැටුණ තැන් නැතුවාම නොවෙයි.
සමහර විට මෙහෙම නොවී එහෙම වුණා නම් කියල හිතුන තැනුත් තිබෙනවා. ගෙවුණ අවස්ථා ගැන දැන් හිතල වැඩක් නැහැ. ගිය හකුරට නාඬන්නේ කියන්නේ ඒකනේ.
රැකියා ජීවිතය ගැන වුණත් කළකිරුන තැන්, රැකියාව දාලා යන්න හිතුන තැන් බොහොමයක් තිබුණා. බොහෝ විට අනිත් අය මගෙන් ප්‍රයෝජන ගන්නවා නේද කියලත් හිතුණු අවස්ථා නැතුවාම නොවෙයි. එහෙනම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අදටත් මම මේ විදිහට වැඩ කරන්නේ ඇයි කියලත්.
ජාතික රුපවාහිනියට ඔබ සම්පතක්. ජාතික රූපවාහිනිය කිව්වාම චමින්ද ගුණරත්න කියන ප්‍රතිරූපය ප්‍රේක්ෂකයාට මැවෙනවාමයි. මොකක්ද මේ ඔබේ වසර 24 ක කීර්තියේ රහස…
මම මුලිනුත් කිව්වා වගේ 2000 දී ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණේ සවස 5 ට ප්රවෘත්ති නිවේදකයෙක් විදිහට. 2003 වසරේ පටන් රූපවාහිනියේ ප්රවෘත්ති අංශයේ වැඩ කරන්න පටන්ගත්තා. එතැන් පටන් වසර 21 ක්ම මම අඛණ්ඩව රූපවාහිනියේ ප්රවෘත්ති අංශයේ සේවය කරනවා. නමුත් කිසිම චෝදනාවක් මට එල්ල වෙලා නැහැ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පටන් වර්තමාන ජනාධිපතිවරයා දක්වා වූ වැඩසටහන් මම මෙහෙයවා තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණත්, පරිපාලනය වෙනස් වුණත් මගේ රාජකාරිය වෙනස් වුණේ හෝ වෙනස් කළේ නැහැ.
ඒ ගැන නිහතමානී ආඩම්බරයකින් මම ඉන්නේ. ඒ වගේම මම කිසිම දේශපාලඥයකුට ගැති නැහැ. කාටවත් ප්රශස්ති ගායනා කරලත් නැහැ.
ඔවුන්ගේ වැරදි විවේචනය කළත් ඒ ඔවුන්ට අගතියක් නොවන විදිහට පමණයි. මගේ දේශපාලන මතවාද කිසිම දවසක මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කරන කෙනෙක් නෙමෙයි මම. මගේ ගමනට මේවා හේතු වෙන්න ඇති.
මාළඹේ ගැමුණුපුර නිවසේදී චමින්ද සමඟ රසවත් කතා බහක යෙදෙන අතර තුරේ ඉනෝකා හර්ෂණි කුලතුංග වෙනත් විදිහකින් කියනවා නම් චමින්දගේ ආදරණීය බිරිඳත් අපි එක්ක කතාකළා
ඉතින් කොහොමද ඉනෝකට චමින්දව මුණගැහෙන්නේ..?
චමින්ද මට දුරින් නෑයෝ වෙනවා. චමින්දගේ අම්මා මුරුතලාවේ. මම පාසල් ගියේ මගේ ලොකු අම්මලාගේ ගෙදර ඉඳන්. එයාලත් එහේ. ඒ කාලයේ අපි අතරෙ මොනවත් තිබුණේ නැහැ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් ගිහින් ඉවර වුණාම තමයි මේ යෝජනාව ආවේ.
ඔබ දැනටමත් රාජකාරී කරන කාන්තාවක්…
ඔව්. මම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂකවරියක් විදිහට වැඩ කරනවා.
චමින්දගේ බිරිඳ විදිහට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
චමින්ද කියන්නේ හරිම ගෞරවණීය චරිතයක්. විශ්වවිද්‍යාලයේ මගේ මිතුරන් වුණත් අද මාව හඳුන්වන්නේ චමින්දගේ බිරිඳ විදිහට. ඒ තරම් ඔහු ජනප්‍රියයි. සමාජයේ තියෙන්නේ එයාට හොඳම හොඳ පිළිගැනීමක්.
දරුවන්ගේ අප්පච්චි විදිහට චමින්දගේ දරුවන්ට එකතුව කොහොමද?
චමින්ද දරුවන් තුන්දෙනාටම ආදරණීය අප්පච්චි කෙනෙක්. කාර්යබහුල වුණත් දරුවන්ගේ පාසල් වැඩ කටයුතුවලට විශාල සහයෝගයක් එයාගෙන් ලැබෙනවා.
එතකොට ගෙදර වැඩවලට ලැබෙන සහයෝගය කොහොමද ?
චමින්දට ගෙදර හැම වැඩක්ම පිළිවෙළට තියෙන්න ඕන. ඒ වැඩවලදි නම් ටිකක් ඔහු තද කෙනෙක්. දරුවන්ට වුණත් එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගෙදර රැඳෙන කාලය අඩු නිසා මම තමයි ගෙදර වැඩ ඔක්කෝම බලාගන්නේ. මට උදව්වට කෙනෙක් ඉන්නවා.
හරින්දී ලියනගේ ✍️