චන්දන වික්‍රමසිංහ
චන්දන වික්‍රමසිංහ ගැන කතා කියන්න ගියොත් මොන කතාව,මොන විදිහට, මොන තැනින් පටන් ගෙන ඉවර කරගන්නද කියලා මටත් හිතාගන්න බැහැ. ඒ නිසා අලුත් කතාවෙන්ම අපේ කතාව පටන් ගන්න මම හිතුවා.චන්දන අලුත් වැඩක් කරනවා. ඒක හුඟක්ම වෙනස් දැවැන්ත වැඩක්. ඔහු මේ සැරේ සූදානම් වෙන්නේ අපේ ඉතිහාසගත කුවේණියට අලුත් හැඩයක් දෙන්න. ඒ The Noir Queen kuweni නර්තන මුද්‍රා නාට්‍යයෙන්. මේක තවත් විශේෂ වෙන්නේ තමන්ගේ ගෝලයෝ විතරක් නෙවෙයි නර්තන ගුරුවරු පවා රංගනයට එකතු කරගැනීම නිසයි. මේ වැඩේ කූඨප්රාප්තිය ජනවාරි තුන්වෙනිදා සිකුරාදා නෙළුම් පොකුණේදී සිදුවෙන බවයි ඔහු කියන්නේ..
චන්දන මොකක්ද මේ ඔබේ අලුත් වැඩේ…
අපේ අලුත් වැඩේ තමයි The noir Queen Kuweni මුද්‍රා නාට්‍යය. එහෙම නැත්නම් දුර්වර්ණ ස්ත්‍රියක් පැහැපත් ස්ත්‍රියක් වෙන හැටි ඉදිරිපත් කිරීම. ඇත්තටම මේ අපේ බ්ලැක් ක්වින් හෙවත් කුවේණියගේ වෙනස් පැතිකඩක කතාවක්. මම මීට කලින් “Story of Seetha’’ මුද්‍රා නාට්‍ය කළා. ඒකෙදි අපි සීතාට වුණු අවමානය, ඒ වගේම තවත් කාන්තාවකට වුණ අවමානය ලෝකයට ගිහින් පෙන්නුවා. ලෝකය සමග මට තිබෙන සම්බන්ධතා අනුව, මට තිබෙන ආරාධනාව අනුව ඇයි අපි ඉන්දියාවේ දෙයක් පෙන්වන්නේ කියන සිතුවිල්ල “Story of Seetha’’ පෙන්නන කාලේ ඉඳලම මට ඇතිවුණා. අපට වෙන කවුරුවත් මොකටද? කුවේණිය කියන්නේ හයිය රැජිනක්.
ඇය අපේ මුල්ම රැජින. පළමු වතාවට පිරිමින් විසින් රවටන ලද ඉතිහාසගත රැවටිල්ල. එය දේශපාලන කතාවක් වගේ. මම ඇතුළු කණ්ඩායමක් කුවේණිය වේදිකාවට ගේනවා. ඒ තුළ කුවේනිගේ තිබුණු දැඩි බව, ආදරය සෙනෙහස, තමන්ගේ ස්වාමියාට දක්වන ලද අසීමිත ප්‍රේමය ඉදිරියේ ස්වාමියා වෙනුවෙඩ් වරිග පරම්පරාව පාවාදීම සහ ස්වාමියා විසින් ඇය පලවා හැරීමෙන් අපේක්ෂා භංගත්වයට පත්වීම මෙන්ම සටන අත්නොහැරීම වාගේම ඒ කුවේනියම ආත්ම ගණනාවක් ගියත් ඇයට සිදුවුණු අසාධාරණයට එරෙහිව පළිගැනීම වැනි කාරණා ඉතා සියුම් සහ බර නර්තන වින්‍යාස ඔස්සේ නව තාක්ෂණය සහ සංගීතය ඔස්සේ මම වේදිකාවට ගේනවා.
කවදාද, කොතැනටද ඒ කුවේණිය එන්නේ?
ජනවාරි මාසයේ තුන් වෙනිදා “දිවි යක්ෂණි” එනවා නෙළුම් පොකුණට. ඒ හවස 6 ට. මේක පැයක් පමණ දිවෙන වෙනමම ආර්ට් එකක්. දිවි යකින්නක් විදිහට නෙරංජනි ෂන්මුගරාජා තමයි රඟපාන්නේ. ඒ වගේම අපේ රටේ නර්තනය පිළිබඳ මහාචාර්යවරු ආචාර්යවරු ඉඳලා මගේ නර්තන කණ්ඩායම ඇතුළු ගෝලයෝ පිරිසකුත් වෙනවා. දේවාංගි වික්රමසිංහත් නර්තන කරළියට ගේන්න The noir Queen Kuweni මම පාවිච්චි කරනවා.
මොකක්ද මේ මුද්‍රා නාට්‍යයේ තියෙන කුවේණියගේ වෙනස් කතාව?
පළමුවෙන්ම කතාව මේ කුවේණි හැමදාම දැකපු කපු කටින කුවේණි හෝ මුහුදු වෙරළට විජය ගොඩ බැහැපු වෙලාවෙ තම්බපණ්ණියේ හිටපු කුවේනිය නොවෙයි. අපි දන්න කතාවෙදි වුණේ විජයගේ අරමුණ වෙනුවෙන් කුවේනිය පාවිච්චි කරපු එකනේ. විජය තමන්ගේ අභිමථාර්ථය ඉෂ්ට වුනාට පසුව ඇය අතහැර දාමන එකනේ. ඒ වගේම අපේක්ෂා භංගත්වයට පත්වුණ කාන්තාවකගේ භීතිකාව හෙවත් ඇගේ ව්‍යාකූල මනස නිර්මාණශීලී නර්තනයක් විදිහට කුවේනි සහ දිවි යකින්න හරහා එළියට ගන්න එකයි මම කර තිබෙන්නේ.
එතැනින් නොනැවතී ඇගේ මනෝකායත් අවදි කරනවා. එය ආත්ම ගණණාවක් ගමන් කරන කුවේණියගේ සාප නවය දක්වා මුද්‍රා නාට්‍යයේ දී කතා කරනවා. ඇගේ සාප නවයේ තිබෙන පවුල් සංස්ථාව කඩාවැටීම, පිරිමින්ට ලෙඩ රෝග, කුෂ්ට ඇතිවෙන්නේ මේ නිසා.
පසුකාලයක හොඳ ප්‍රතිඵලයක් ලෙස අපේ රටට උඩරට නැටුම් කලාව ලැබිලා දියුණු වෙනවා. මේ කතාව අනුව අවසාන ප්‍රතිඵලය හොඳ වුණත් මුල නරකයි. අපි නෙළුම් පොකුණේදි තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරනවා. ග්‍රැෆික් ඩිසයින් පාවිච්චි වෙනවා. මේ නිර්මාණය ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාවේ අලුත් හැඩයක් ගනීවි. මෙය සම්ප්‍රදායික නාට්‍යයක් නොවෙයි. ඇත්තටම මේක තියටර් ආර්ට් එකක් විදිහට ගන්න පුළුවන් වැඩක්.
මෙතෙක් කාලයක් අපි වැඩිපුරම චන්දන වික්‍රමසිංහ දැක්කේ වාණිජ නර්තන වින්‍යාසයන් වෙනම තලයකට ගෙන ගිය කෙනෙක් විදිහට. මේ වෙනස හිතල ගත්ත එකක්ද?
ඔව්. හැම දෙනෙක්ම අපව දකින්නේ රූපවාහිනියෙන් නිසා ඒගොල්ලන් හිතන්නේ මම වාණිජකරණයට සීමා වෙලා කියලා. එහෙම නැහැ. මම බොහෝ සමාගම්වලට කෙටි සංකල්ප නර්තන වින්‍යාස ඉදිරිපත් කළා. ‘Journey of Commuinication’ , ‘Under the stars”’, ‘From blue sky to the deep sea’ වැනි කෙටි සංකල්ප රාශියක් දේශීය සහ විදේශීය සමාගම් වෙනුවෙන් කළා.‘පෙරළිය’ මුද්‍රා නාට්‍යය මම කළේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සංවත්සරය වෙනුවෙන්.
සුභාවිත නර්තන කලාවට ආදරය කරන කෙනෙකුට වාණිජමය නර්තන කලාවට සීමාවෙලා ඉන්න බැහැ.
ඔබ ඔය කියන්නේ චන්දන වික්‍රමසිංහ කියන චරිතය ඕනෙම තැනකට ගළපන්න පුළුවන් කියන එකද?
අනිවාර්යෙන්ම. මම තැනේ හැටියට ඇණේ ගහන්න පුළුවන් කෙනෙක්.මේ රටේ නර්තන ශිල්පීන් සම්ප්රදාය රැකගෙන කාලය අනුව වෙනස් වෙන්න ඕනේ. තමන්ට දෙයක් බැරි නම් අපවාද, අපහාස නොකර ඉන්නත් ඕන. පුළුවන් කෙනෙකුට ඉඩ දෙන්නත් ඕන. බොහෝ දෙනෙක් මට මේ දවස්වල කෑගහනවා මගෙ සද්ද වැඩියි කියලා.
නමුත් සද්ද නැතුව වැඩ කරන්න බැහැනේ. මාව විශ්වාස කරලා The noir Queen Kuweni මාධ්‍ය උත්සවයට මහ සෙනගක් එකතු වුණා. ඒ අපි මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු නිසා. එදා හිටිය චන්දන වික්‍රමසිංහමයි අදත් ඉන්නේ කියලා කර්තෘ මණ්ඩලවල බොහෝ දෙනෙක් මටම කිව්වා. මට මිනිස්සු බොරුවට ඇඳගන්න පැලැන්තියක් හදන්න අවශ්‍ය නැහැ.
තමන්ගේ ගුරුවරු දෙන්නෙක් සමග වැඩ කරනවා කියන එක වෙනස් අත්දැකීමක් වෙන්න ඇති..
අනේ අම්මේ ඒකනේ කියන්නේ මම බොහොම පින් කළ කෙනෙක් කියලා. මම මුලින්ම වැඩ කළේ බුදවත්ත සර් එක්ක මයුර සංදේශ නාට්‍යයේ. අද මම මේ නාට්‍යයේ රවිබන්දු සර් සහ මුදියන්සේ සර් එක්ක වැඩ කරනවා. ඒක වෙනස් අත්දැකීමක්.
ඔවුන් ඔබව සොඳුරු අඥාදායකයා යනුවෙන් හැඳින්වූවා…
ඔව්. සර්ල දෙන්නම ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි එහෙම කිව්වා. නමුත් අපි වැඩිහිටි ගුරුවරුන්ට ගරු කරන්න ඕන. අපට වඩා ඔවුන්ගේ දැනුම සාගරයක් වගෙයි. ඔවුන්ගේ දැනුම පරාසය විශාලයි. මේ ගුරුවරු බොහෝ ඇසූපිරූ තැන් ඇති අය. එක පැත්තකින් රවිබන්ධු සර්. අනිත් පැත්තෙන් මුදියන්සේ දිසානායක සර්. මේ දෙන්නා කියන්නේ ලංකාවෙ නර්තන කලාවේ දැවැන්තයෝ.
එක්කෙනෙක් සිංහල නිපුන්. අනෙක් කෙනා ඉංග්‍රිසි නිපුන්. මගේ දෙපැත්තේ හිටියේ ඒ තරම් ප්‍රබල දෙන්නෙක් ගුරු ගෝල සම්බන්ධතාවය මේ විදිහට එකතුවීම ඉතා හොඳ ආදර්ශයක් වේවි ඉදිරියට. රවිබන්දු විද්‍යාපති සර් සහ මුදියන්සේ සර් සඳහන් කළ විදිහට මෙය සමස්ත නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි.
ඔබට මේ වගේ නිර්මාණශීලි කටයුත්තක යෙදෙන්න හොඳ මානසිකවත් ගෙදර පරිසරයෙන් අවශ්‍ය වෙනවා. ඒ සහයෝගය ගැනත් කතා කළොත්?
මම මාස හයක් තිස්සේ නිදහසේ මුද්‍රා නාට්‍යයේ වැඩ කරගෙන ගියා. දැන් තමයි කුවේණි නාට්‍යයේ ගිනිගන්න කොටස තියෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතයේ කුවේනිය ගෙදර ඇවිත්. දිල්හානි ගැන මම කියනවා නම් ඇගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. සමස්ත ප්රසංගයේම වියදම් කළමනාකරණය කරන්නේ ඇය. එයාලා හතර දෙනාම දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ. මගේ පුතාලා දෙන්නා දැන් අවුරුදු තුනක ඉඳලා ඉගෙන ගන්නේ එහේ. දුව නම් ගොඩක් කල් ඉඳල හිටියෙ එහේ. දැන් එයා උගන්වනවා. මාස හයකට පස්සේ මගේ ගෙදර සද්දෙන් සතුටෙන් පිරිලා. ඒක හරිම සුන්දරයි.
හරින්දී ලියනගේ ✍️