සුදීක්ෂා සමාධි
පවනා පණ කියාගෙන කොයිවෙලෙත් පවන්සිරිගෙ පස්සෙන් යන පිස්සු, ඒත් ආදරණීය කෙල්ලෙක් තමයි මංගේශ්වරී කියන්නේ. මංගේෂ්වරීට ආදරේ හිතෙන්නෙම දක්ෂ රඟපෑම නිසාමයි. අපි අද කතාකළේ පවනා පණට පිස්සුවෙන් වගේ ආදරේ කරන හැමෝම දන්න මංගේෂ්වරි එක්ක. සැබෑ ජීවිතේ සුදීක්ෂා සමාධි වුණත් ඇයව අද වෙනකොට ගොඩක් අය දන්නේ මංගේෂ්වරී විදිහට.
ඉතින් සුදීක්ෂා කොහොමද මේ දවස්වල ජීවිතය?
මේ දවස්වල නම් මායාවී ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුලයි. ඒත් මොන තරම් වැඩ තිබුණත් හැමදේම බැලන්ස් කරගෙන සතුටින් හිනාවෙලා මම ඉන්නවා.
සුදීක්ෂා ඔයාගේ පාසල් කාලේ ඉදන්ම නිර්මාණවලට දායක වෙනවද?
මගේ උපන් ගම මහරගම. දැන් ඉන්නේ නම් මීගොඩ. මම ඉස්කෝලේ ගියේ පන්නිපිටියේ ධර්මරාජෙට. මම පාසල් කාලේ ඉදන්ම ස්ටේජ් ඩ්‍රාමාවල ඇක්ට් කළා. පාසල් මට්ටමින් 2005, 2006, 2007 යන වසරවල එක පිට හොඳම නිළිය හොඳම අධ්‍යක්ෂිකාව සම්මාන ගන්න පුළුවන් වුණා. ඒ වගේම සමස්ත ලංකා 2011 තරගාවලියෙන් මම තනියම ස්ක්‍රිප්ට් එක ලියල අධ්‍යක්ෂණය කරපු ස්ටේජ් ඩ්‍රාමා එකට හොඳම අධ්‍යක්ෂිකා සම්මානය ලබාගන්නත් පුළුවන් වුණා.
පුංචි කාලේ ඉදන්ම හීනයක් තිබ්බද ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න?
ඔව් පොඩි කාලේ ඉදන්ම හිත යට හංගගෙන හිටපු හීනයක් ඒක. ස්කෝලේ ටීච ලොකු වෙලා වෙන්නෙ කවුද කියල ඇහුවම ආසාව තිබ්බට ඒ ගැන කිව්වෙ නෑ. ඉස්කෝලේ ළමයි කවුරුත් ඇක්ට්‍රස් කෙනෙක් වෙනව කියල කියන්නෙ නැති නිසා හිතේ ආසාවක් තිබ්බත් කිව්වේ නෑ. ඒ කාලේ කොහොමද ඇක්ට්‍රස් කෙනෙක් වෙන්නෙ කියන එක ගැන අවබෝධයක් තිබ්බෙ නැති නිසා මම ඒක හිතේ තියාගත්ත හීනයක් වුණා. ඒත් පස්සේ පාසලේ නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ගේ ඇසුරත් එක්ක ඒ බය නැති වුණා.
කොහොමද මුලින්ම කලා ක්ෂේත්රයට ආවේ?
ජාතික පත්තරේක ඇඩ්වටීස්මන්ට් එකක් දාල තිබුණා ඇක්ටින් ඔඩිෂන් එකක් ගැන. මම ඒකට ගියා. ඇවිල්ල හිටපු තුන්දාහක් වගේ පිරිසගෙන් මම ඒ චරිතයට තේරුණා. ලැබුණු චරිතය කරන්න නම් කොණ්ඩේ කපල හිස මුඩු කරන්න ඕන
ඒ නිසා ගෙදර අය ඒකට කැමති වුණේ නැහැ. එතනදි තමයි මට අනිල් ජයසිංහ සර්ව හම්බවෙන්නේ. ඊටපස්සෙ ඒ හදුනාගැනීමත් එක්ක වරාමලී නාට්‍යයේ ඔඩිෂන් එක්කට යන්න අවස්ථාව හම්බවෙනවා. ඒක තමයි මගේ පළවෙනි නාට්‍යය. ඊට පස්සේ කළු අරලිය, දේදුනු, හේලි, අන්කල් සෑම්, ළබැදියේ, නිසල සද ඔබ පැහැසැරා වගේ නාට්‍ය කිහිපයක රඟපෑම් කළා. බොහොම හෙමින් ආපු ගමනක් මේක.
කලා ක්ෂේත්රය, ගෑනු ළමයකුට සුදුසුද?
ඔව් සුදුසුයි. කලා ක්ෂේත්රය වේවා ඕනම ක්ෂේත්රයක රැදෙන්න පුළුවන් වෙන්නේ තමන් වැඩ කරන විදිය අනුව. අපි මිනිස්සු එක්ක හරි විදියට ගනුදෙනු කරන්න දන්නවනම් කාටවත් කරදරයක් නොවී තමන්ට පැවරුණු දේ හරියට කරනවනම් කලා ක්ෂේත්රයෙන් ගැහැනු පිරිමි භේදයක් නැතිව ඕනම කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන්.
මායාවී කතාවේ මංගේෂ්වරී චරිතේ හරිම වෙනස් එකක්. කොහොමද ඒ අභියෝගය බාරගත්තේ?
ඔව් මායාවී ටෙලිනාට්‍යයේ මංගේෂ්වරී කියන්නේ ටිකක් අභියෝගාත්මක චරිතයක්. මට කලින් තවත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ට මේ චරිතය කරන්න අවස්ථාව ලැබිලා තිබුණා. ඒත් චරිතය බාරගෙන නැහැ. එහෙම පසුබිමක තමයි ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තේරිලා මංගේෂ්වරි චරිතය මට හම්බවුනේ. මායාවී ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ලලිත් වසන්ත සර්ගේ ආරාධනය මත ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවලට සම්බන්ධ වුණා.
ඇත්තටම ඒක කලා ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ චරිතය කරද්දී කෑගහන්න ඕන. ඇස් ලොකු කරන් ඉන්න ඕන. සමහර වෙලාවට පිස්සියක් වගේ හැසිරෙන්න වෙනවා. මංගේෂ්වරීට තරහ ගියාම වළං බිදිනවා.
එහෙම බිඳිද්දී කකුලේ වළං කටු ඇනිලා තුවාල වෙලා තියෙනවා. සමහර දවස්වලට කෑගහල උගුර රිදෙනවා. ඒ වගේ අභියෝග මැද කරන චරිතයක් ඒක. මොකද මංගේෂ්වරී කියන්නේ අධික්රියාකාරී මානසික තත්ත්වයක් තියන තරුණියක්. ඒ විදියට රඟපාන එක මුලදි මටත් ලොකු අභියෝගයක් වුණා.
මංගේෂ්වරීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. කතාව බලන හැමෝම මංගේෂ්වරි චරිතයට හරි ආදරෙයි. ෆේස්බුක්, යූටියුබ් වගේ ශෝෂල් මිඩියා ෆ්ලැට්ෆෝර්ම්ස්වලින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර වෙලාවට කියවන්නත් බැරි තරම් කමෙන්ට් දානවා. හරි සතුටක් දැනෙනවා ප්‍රේක්ෂයන්ගේ ඒ ආදරේ දකිද්දී. ඒක මට සම්මානයකටත් වඩා වටිනවා.
තව වෙන මොන වගේ චරිතද කරන්න කැමති? චරිත තෝරගනිද්දී මොනවද බලන්නේ?
මම චරිතයක් බාරගනිද්දී මුලින්ම බලන්නේ ඒ චරිතෙ මට කරන්න පුළුවන්ද කියලා. මම චරිතයක් බාරගත්තොත් ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා හොඳට හිතල බලල තමයි චරිත තෝරගන්නේ.
සැබෑ ජීවිතේත් පවනා පණක් ඉන්නවද කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය?
ඔව් සැබෑ ජීවිතෙත් පවනා පණක් ඉන්නවා. කියාගන්න බැරි තරම් ලොකු සහයෝගයක් එයාගෙන් මට හම්බවෙනවා. ඒක නිසයි මේ තරම් සාර්ථකව කලා ක්ෂේත්රයේ ඉස්සරහට යන්න පුළුවන් වුණේ. නිදහස් මානසිකත්වයක් නැත්නම් රංගන කටයුතු කරන එක ලේසි නැහැ. මගේ කලා ගමනට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. ඒ නිසා මම හරිම වාසනාවන්තයි.
ටෙලිනාට්‍යවල විතරද රඟපෑම් කරන්නේ, සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
2024 මම විලන් චිත්‍රපටයේ රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටය. ඒ වගේම 2025 එළි දැක්වීමට නියමිත මදර් ලංකා, සූර්යා, රෙඩ් යන චිත්‍රපටවලත් රංගන කටයුතුවලට සහභාගී වුණා. ඒ නිසා මේ වසරේ සිනමාවට මගෙන් ලොකු දායකත්වයක් ලැබෙන වසරක් වේවි.
නිවේදිකාවක් විදියටත් රූපවාහිනියේ ප්‍රෝග්‍රෑම් එකක් කළා නේද, ඒක අවසන් කළාද?
ඔව් මම අවුරුදු තුනක් මෝනින් ලයිව් ප්‍රෝග්‍රෑම් කළා. දැන් නම් ටිකක් රංගන කටයුතු නිසා නිවේදනයෙන් අයින් වෙලා ඉන්නේ. ලැබෙන චරිතවලට උපරිම කැපවීමක් දෙන්න ඕන නිසා කාලය ටිකක් රංගනයට වැඩියෙන් ලබාදෙනවා.
රංගනයටද නිවේදනයටද වැඩිපුර කැමති?
රංගනයට තමයි වැඩිපුර කැමති. නිවෙදිකාවක් විදියට කටයුතු කළත් පොඩි කාලේ ඉදන්ම හීනය වුණේ රංගන ශිල්පිනියක් වෙන එක.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගන ශිල්පිනියක්ට ලැබෙන චරිතෙට උපරිම කැපවීමක් කරන්න පුළුවන් වෙන්නේ මනසට දැනෙන නිදහසත් එක්ක. ඒ නිදහස මට උපරිමයෙන් දැනෙනවා. ගෙදරින් මට කිසිම බාධාවක් නැහැ
කොහොමද මෙච්චර ලස්සනට ඉන්නේ?
මම හරිම සරල කෙනෙක්. රංගන ශිල්පිනියක් විදියට ඉදිද්දී මේකප් කරල හිටියට සාමාන්‍ය ජීවිතේ අනිත් අය වගේම සරල ගෑනු ළමයෙක් විදියට ඉන්න උත්සාහ කරනවා. ඒක මට හරි නිදහස්. බාටා දෙකක් දාල ලොකු ටී ෂර්ට් එකක් ඇදලා ඩෙනිමක් ඇදලා නිදහසේ ඉන්න මම හරි කැමතියි.
ස්වාභාවික ලස්සන තියාගෙන ඉන්න මම ආසයි. මගේ තියන පෙනුමට මම ආදරෙයි. ඒ නිසා හරි සතුටින් ඉන්නවා. නිළියක් වෙන්න ලස්සන වෙන්නම ඕන නැහැ. හැමෝටම ආවේණික ලස්සනක් තියෙනවා. ඒ ලස්සන ආරක්ෂා කරගෙන හිනාවෙලා ඉන්නවා. මනස සතුටින් නම් ලස්සන වැඩියෙන් පේනවා කියලත් කියනවනේ.
දැන් ජීවිතේ ගැන දැනෙන්නේ කොහොමද?
පොඩි කාලේ ඉදන්ම තිබ්බ හීන ලේසියෙන් හැබෑ කරගත්ත කෙනෙක් නෙවෙයි මම. මහන්සි වෙලා දුක් කම්කටොලු මැද්දෙන් ඒ හීන ජයගත්තු කෙනෙක් තමයි සුදීක්ෂා සමාධි කියන්නේ. ඒ නිසා ආපහු හැරිලා බලද්දී මට මම ගැනම ලොකු සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා.
පවනි දිලේකා ✍️