කාලෙකට උඩදි ‘රවුම් කඩේ’ කියන්නෙ ලංකාවේ සංගීත කලාවට නවමු උත්තේජනයක් එකතු කළ ගීතයක්. ඊට පෙර මලී නමින් ගීයක් එළිදක්වා තිබුණත් ගයන්ත විජේරත්න කියන ගායකයව මිනිස්සු අඳුරගත්තේ රවුම් කඩේ ගීතයත් එක්කම ආපු අපූරු රූප රචනාව නිසයි. සුදු පාට මල් වැටුණු, තරු වෙරළේ, ඔය දෑස කී කතා කියන්නෙත් එතනින් පස්සෙ ගයන්තගේ හිට්වුණ සින්දු. ඒ ගීත අපට දැන් නොස්ටැල්ජියාවක්. නමුත් ගයන්ත විජේරත්න කියන ගායකයා දැන් රසිකයන්ගෙන් ඈත්වෙලා ගිහින්ද කියලත් හිතෙනවා. ඒත් ඒ ගීත වගේම ගයන්තවත් අපට අමතක නෑ. ඒ නිසා අපි ගියා ගයන්තව හොයාගෙන ගයන්තගේ Mixing Studio එකට…
කොහොමද ගයන්ත? ගොඩ කාලෙකින්
ඒකනේ. ජීවිතය හොඳින් ගෙවෙනවා. අවුරුද්දක අග, මුල කියන්නෙ ඉතින් කලාකරුවන්ට කාර්යබහුල කාලයක්නේ. පහුගිය කාලෙ මමත් බෑන්ඩ් එකේ වැඩ, ටීවී කමර්ෂල්ස්, ජින්ගල්ස්, රූපවාහිනී වැඩසටහන් එක්ක කාර්යබහුල වෙලා හිටියේ.
ගයන්ත විජේරත්න කියන ගායකයට මොකද වුණේ?
ඇත්තටම අවුරුදු හතරක් විතර මට සින්දුවක් කරන්න කාලයක් තිබ්බෙ නෑ. ඒ නිසා ආයෙ පටන්ගැන්මක් විදිහට පහුගිය දෙසැම්බර් මාසෙ නත්තල් ගීතයක් රිලීස් කළා. නිහඬව හිටපු කාලෙදි මම සින්දු හදලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. නමුත් මනුස්සයෙක්ට හොඳ නිර්මාණයක් කරන්න හිතෙන්න එපැයි. පහුගිය කාල සීමාවෙදි මට එහෙම දෙයක් හිතුණෙ නෑ. නත්තලේ රිලීස් කරපු ගීතයෙන් මේ අවුරුද්දම සින්දුවලින් කන්ටිනිව් කරන් යන්න තමයි බලාපොරොත්තුව.


අවුරුදු හතරක් නිහඬව සිටීම අපරාධයක් කියලා හිතෙන්නැද්ද?
එහෙම දෙයක් හිතුණෙ නෑ. මොකද අදටත් මං කොන්සර්ට් එකකට ගියොත් ඒක පටන්ගන්නෙ ‘සුදු පාට මල්‘ ගීතයෙන්. රසිකයො මගෙන් ඉල්ලන්නෙත් ඔය ගීතය. රසිකයන් මාව අමතක කරලා නෑ. මගේ පරණ ගීත රසිකයන් තුළ හොඳින් පැලපදියම් වෙලා තියෙනවා. ඒක වාසනාවක්. මේ හේතු නිසා මට ඇත්තටම නිහඬ කාලය අපරාධයක් කියලා හිතිලා නෑ.
ක්ෂේත්රයට ආ මුල් කාලය මතක් කළොත්…
ප්‍රේක්ෂකයෝ මාව ගායකයෙක් විදිහට මුලින්ම අඳුරගත්තෙ රවුම් කඩේට කරත්තෙන් ආපු තරුණයෙක් විදිහට. නමුත් ගායනයට කලින් මම ටීවී කමර්ෂල්ස් පැත්තෙන් තමයි ගොඩක් වැඩ කළේ. ‘මලී’ කියන ගීතය තමයි මුලින්ම මගේ ගීතවලින් රේඩියෝ එකක විකාශය වුණේ. නමුත් රසිකයින් මලී සින්දුව කියන්නෙත් මම කියලා දැනගත්තෙ රවුම් කඩෙන්. A/L කරපු කාලෙ ඉඳන්ම මම පාට් ටයිම් මියුසික් කළා. ඒ නිසා ගෙදරින් සංගීතය මට තහනම් කළා.
ඒ කාලෙ Music Industry එක මෙච්චර දියුණුත් නෑනේ. කොටින්ම මං ගාව තිබුණ සංගීත බඩු ගිනි තියලත් තියෙනවා. ගෙදරින් කොච්චර තහංචි දැම්මත් මගේ හදවත කිව්වෙම “උඹ මියුසික් කරපන්” කියලා. මියුසික්වලට කැමති නිසා අම්මලා මාව බලෙන්ම පියානෝ ක්ලාස් එකකට දැම්මා. අම්මලාගෙ බල කිරිල්ලටම මම හොඳට පියානෝ ඉගෙනගෙන විභාගත් පාස් වෙලා අම්මලට ගිහින් කිව්වා ඔයාලගෙ ආසාව මං ඉෂ්ඨ කළා, දැන්වත් මට නිදහසේ මං කැමති මියුසික් එක කරන්න දෙන්න කියලා. ඊටපස්සෙ කාලයක් ගියාම එයාලා ඒ දේ තේරුම්ගත්තා.


අපි කතාකරමු ගයන්තගේ ආදරණීය පවුල ගැන?
මගේ බිරිඳ සාවිත්‍රි. ඇය කොට්ටාව ආනන්ද විද්‍යාලයේ ගුරුවරියක්. ලොකු පුතා ප්‍රවීන්. පොඩි පුතා හිරුෂ්. ඒ දෙන්නම උසස් පෙළට සූදානම් වෙනවා. දෙන්නම සංගීතයට බොහොම ලැදියි. ලොකු පුතා ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමා එක ඉවර කළා. පොඩි පුතා ගිය අවුරුද්දේ පියානෝ වාදනයෙන් සමස්ත ලංකා තරගවලටත් තේරුණා.
ගයන්තගෙ ස්ටුඩියෝ එකට ගියාම අපි දැක්කා ඇමෙරිකානු ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ඡායාරූප කිහිපයක් බිත්තියේ එල්ලලා තියෙනවා. ඒ නිසයි මේ ප්රශ්නය අහන්න හිතුවේ. එල්විස් ප්‍රෙස්ලිට කැමතිද?
අනිවාර්යයෙන්ම. මම නිල වශයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසෙන්න කලින් අවුරුදු 10ක් විතර හෝටල් ක්ෂේත්රයේ ඉංග්‍රීසි සින්දු ගායනා කළා. එල්විස්ගේ සින්දු තමයි ගොඩක්ම කිව්වෙ. දෙරණ එක්ක එකතු වෙලා එල්විස් ප්‍රෙස්ලිගේ සින්දුවලින් කොන්සර්ට් එකකුත් කළා. කාලයක් යද්දි දුකා (වසන්ත දුක්ගන්නාරාල) මට කිව්වා මචං දැන් ලංකාවෙ මිනිස්සුන්ටත් සින්දු ටිකක් කරපන් කියලා. ඊටපස්සෙ තමයි මම සිංහල සින්දුවලින් ක්ෂේත්රයට අවතීර්ණ වුණේ.
ආයෙත් රවුම් කඩේ පැත්තට එන්න ගයන්තට කොච්චර කාලයක් යයිද?
වැලන්ටයින් දිනේට මම මගේ අනිත් සින්දුව රිලීස් කළා. ඒකට පස්සෙ එන සින්දුව ඔය ප්‍රශ්නෙට හොඳ උත්තරයක්. රවුම් කඩේ කළෙත් දුකයි මායි. මේ ගීතය කරන්නෙත් දුකයි මායි. එකම එකතුවක්. නමුත් වෙනස් සංකල්පයක්. ඕඩියෝ එක වගේම වීඩියෝ එකකුත් එනවා. කරත්තෙ නැති වෙයි. රවුම් කඩයක් නැති වෙයි. හැබැයි ඒක රසිකයන් සම්පූර්ණයෙන්ම මගෙන් බලාපොරොත්තු වුණ විදිහේ වැඩක්.
එරංදි කෞශල්‍යා ✍️
ඡායාරූප – අවිශ්ක තේනුවර 📷