හදවතේ ගායකයා කිව්වම මේ රටේ මිනිස්සුන්ට මතකයට එන්නෙ එකම එක නමක් විතරයි. ඒ තමයි චාමර වීරසිංහ. වසරක් පාසා පැවැත්වෙන ස්ලිම් කැන්ටාර් පීපල්ස් අවෝර්ඩ් සම්මාන උළලේදී පහුගිය දාක නැවත නැවතත් වසරේ ජනප්‍රියතම ගායකයා වුණේ චාමර. ඒ දසවෙනි වතාවට. ඒ විතරක් නෙවේ, තාරුණ්‍යයේ ජනප්‍රියම ගායකයා සම්මානයත් ඔහුට ලැබුණා. වසරේ ජනප්‍රියම ගීතය වෙනුවෙන් සම්මානිත වුණේ ආරාධනා ඒකනායක ලියූ, චාමර වීරසිංහගේ හඬින් ගැයුණු ‘මතකයන් ඔබේ’ ගීතය.
එදා ඔහු සම්මානය අතැතිව වේදිකාවෙන් බැස යන්නට පෙර නිවේදකයා ඔහුගෙන් මෙහෙම අහනවා.
“චාමර මිනිස්සුන්ගෙ හදවත්වල මෙච්චර තැනක් අරගත්තෙ කොහොමද?”
“ඒකනම් මම දන්නෙත් නෑ. සින්දු ටික හොඳට කළා. සරලව ජීවත් වෙනවා” සරල චාමර දුන්නෙ ඒ වගේ සරල පිළිතුරක්.
‘මතකයන් ඔබේ’ සින්දුව ආපු අලුත, ඒ කියන්නෙ 2003 අවුරුද්දෙ චාමර වීරසිංහ ලංකාවේ සුප්‍රසිද්ධ වෙන්න පටන්ගත්තු මුල්ම කාලෙ ඔහු සහභාගි වුණා එක්තරා සංගීත ප්‍රසංගයකට. චාමර සින්දුව කියලා වේදිකාවෙන් බැහැලා යද්දි ප්‍රසංග භූමියේ හිටපු රසික රසිකාවියන්ගෙන්
භාගයක් විතර චාමරත් එක්කම එළියට ගියා. ඊළඟ ගායකයා සින්දුව කියන්න ආවම ප්‍රසංග භූමිය හිස්. එදා චාමරට තිබුණ ඒ ජනප්‍රියත්වය අදටත් දශමයකින්වත් අඩු වෙලා නෑ. ඒ ෆෑන් බේස් එක තවම චාමරට තියෙනවා.’

මේ සටහන මුහුණු පොතට එක් කරලා තිබුණේ එදා ඒ සංගීත ප්‍රසංගය නරඹන්නට ගිය රසිකයෙක්. චාමර පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමත් එක්ක පටන්ගත්තු සංගීත ගමනේ ඔහු වටා එකතු වුණ රසික රසිකාවියන් ප්‍රමාණය තව තවත් වැඩි වුණා මිස කවදාවත් අඩු වුණේ නෑ. චාමර ගැයූ ගීවල තිබුණු හැඟීම්බර පද, ආදරණීය තනු එක්ක ඔහුගේ සෑම ගීයක්ම රසිකයින් තදින්ම වැළඳගත්තා. දිනක් වැඩසටහනකට ආපු චාමර ඔහුට රසිකයෙක් නිසා මුහුණ දෙන්නට සිද්ධ වුණ අපූරු සිදුවීමක් මෙහෙම විස්තර කළා.
“දවසක් මම හලාවත ෂෝ එකකට ගිහින් එනගමන් පාර අයිනෙ කඩේක නැවැත්තුවා. එක කොල්ලෙක් මාව දැකලා “අම්මටසිරි චාමර අයියා” කියලා වාහනේ ගාවට ආවා. මේ කොල්ලා කිව්වා චාමර අයියෙ ඔයා දැන් අපේ ගෙදර යන්න එන්න ඕන, අපේ මුළු වත්තම ඔයාගෙ සින්දුවලට පට්ට ආසයි කියලා. මම කිව්වා “මල්ලි මට තව ෂෝ එකකට යන්න පරක්කුයි, වෙන දවසක එන්නම් කියලා.
එහෙම කිව්වම පොර සාක්කුවෙ තිබ්බ දැලි පිහියක් ඇදලා අරන් කිව්වා “අයියා නාවොත් මම මගේ අත කපාගන්නවා” කියලා. අන්තිමට මට යන්න වුණා. එතකොට මහ රෑ. ගෙදර අවට ගෙවල්වල නිදාගෙන හිටපු මිනිස්සු සේරම ඇහැරවලා මාව පෙන්නුවා. හැබැයි මාව ඉක්මණට එව්වා.”

මේ වෙද්දී ලංකාවේ රසික රසිකාවියන්ගේ හදවතේ ගායකයා වුණත් චාමර කියන්නෙ සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. ඔහු පාසලේදී හැදෑරුවේ චිත්‍ර කලාව. නමුත් චාමරගේ පියාට ලොකු උවමනාවක් තිබුණා තමන්ගෙ පොඩි පුතා කවදහරි ගායකයෙක් වෙනවා දකින්න. ඒ නිසා ගමේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන හැම දවසකම චාමරවත් උස්සන් ඒක බලන්න යන තාත්තා චාමරටත් කොහොම හරි සින්දුවක් කියන්න අවස්ථාවක් අරන් දුන්නා.
නමුත් තමන්ගෙ පුතාගෙම ගීයක් අහන්න තරම් ඒ තාත්තට වාසනාවක් උදා නොවුණේ චාමර ගායකයෙන් වෙන්න කලින් පියා මියගිය නිසයි. නමුත් චාමර ගයනවා තමන් ගායකයෙක් වෙනකල් බලන් හිටපු ඒ ආදරණීය පියා වෙනුවෙන් මෙහෙම ගීයක්.
‘අප්පච්චී මං ආවා
ඔබ නිදනා සොහොන ළඟට
කඳුළු බිංදු රටා අනේ
ඔබේ සොහොන් බිම මතුපිට
ඒ කඳුළින් ලියැවී යන්නැති
දුක ගේන හැමදාකම
මං තනිවී ඉන්න බැරිව
ඔබ හිඳිනා මේ දෙරණක
ඔබ පැතු පැතුමන් ඉටුවී
මගෙ කටහඬ ඇසෙයි දසත
දහසක් උන්නත් මං ළඟ
දැනේ තනිකමක් නිතරම
අම්මාගේ දුක් සුසුමන්
පාර කියාවී අහන්න
එක ගීයක්වත් අහන්න
පැලේ දොර ළඟට වඩින්න’
චාමරට ඉන්නෙ වයස් බේද, පන්ති බේද, ආගම් බේද නැති මහ විශාල රසික සමූහයක්. එවැනි රසික පිරිසක් ලබන චාමර සැබෑවටම පිංකාරයි. 2023 අග භාගයෙදි චාමර දරුණු ලෙස අසනීප තත්ත්වයකට මුහුණ පෑවා. වසර දෙකක් ගෙවී ගියත් ඔහු තවමත් ඉන්නෙ සුව වෙන අතරෙයි.
පහුගියදාක එංගලන්තයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගී වුණ අතරතුර ඔහු අප වෙනුවෙන් ඡායාරූප කිහිපයකට මුහුණ දුන්නා. ඔහු මේ ප්‍රසංගයට අපහසුවෙන් හෝ සහභාගී වුණේ බොහෝ කලකට පෙර බාරගත් වැඩක් නිසයි.චාමර කියන්නෙ ලංකාවේ පුරාවෘත්තයක්. තවත් දශක ගණනාවක් යනතෙක්ම චාමර වීරසිංහ කියන්නෙ මේ රටේ ඉන්න ඔහුගේ රසික රසිකාවියන්ගේ ‘හදවතේ ගායකයා.’ ඒ ගෞරවනීය නාමය චාමර වෙනුවෙන්ම ලියවිලා, වෙන් වෙලා අවසන්.
එරංදි කෞශල්‍යා ✍️