ලෝචනා ජයකොඩි කියනවට වඩා ඇය ගැන කොයි කවුරුත් දන්නෙ ලෝචි කිව්වමයි. ඒ තරමට ඇය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ ඇය ඉදිරිපත් කරන විවිධ භූමිකාවලින් එහාට ගිය ශක්තිමත් කාන්තා පෞරුෂයක් ලෝචි තුළ ඇති බව ඔබට මේ කියවීමෙන්ම තේරුම් යාවි. අද වනවිට මිලියනයකට වඩා ප්‍රේක්ෂකයන් ඇය කරනා වැඩ පිළිබඳව අවදියෙන් සිටීම නිසාම ලංකාවේ මෙන්ම එතෙර රටවලින්ද සන්නාම ප්‍රවර්ධනය සඳහා ඇයට ඇරයුම් ලැබෙන්නේ ඇය ගොඩනගාගත් ප්‍රතිරූපය නිසාමයි.
කොහොමද ලෝචී ?
හොඳින් ඉන්නවා. මාසයක් විතර නිවාඩු ගත්තා. ලංකාවේ එක දිගට වැඩ කරපු නිසා නිවාඩුවක් අරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා දැන් වැඩ පටන් ගත්ත විතරයි.
නිවාඩුව ගත කළේ කොහෙද ?
නිවාඩුව ගත කළේනම් ඩුබායිවල. ඒ අතරේ මගේ වැඩ ටිකකුත් කරගත්තා. මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙත් ඩුබායිවල. එයා ස්ටඩීස් කරනවා. ඒ නිසා ඩුබායි ගියාම බෝයිෆ්රෙන්ඩ්වත් බලලා මගේ බිස්නස් වැඩත් කරගෙනමයි මම එන්නේ. මම ඩුබායිවල සෝෂල් මිඩීයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ කම්පැණි එකක් එහේ තියෙනවා. ඒකෙන් ඩිජිටල් මාර්කටින්, සෝෂල් මීඩියා මැනේජ්මන්ට් වැඩ කරගෙන යනවා. කිහිප වතාවක්ම මම එහේ ගියපු වෙලාවේ ලංකාවේ බ්‍රෑන්ඩ්ස් එක්ක තමයි වැඩ කළේ. හැබැයි මේ පාර ඩුබායි බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බවුණා. ඩුබායි ගත්තාම හැම පැත්තකින්ම ඉදිරියෙන් ඉන්න රටක්. ඒ පැත්තෙන් ගත්තාම ඩුබායිවල වැඩ කරන්න ලැබීම වාසනාවක්.
ලෝචි ජනප්‍රිය වුණේ Tik Tok නිසානේ. කොහොමද ඒ අදහස මුලින්ම ඇතිවුණේ ?
කිසිම දෙයක් ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. මුලින්ම මම ඩාන්සින් තමයි කළේ. ඒ කාලේ මම දැක්කා මියුසිකල් කියලා ඇප් එකක්. මම ඒක පාවිච්චි කරල තිබුණෙත් නෑ. මෝල්ඩිව්ස් ගිහින් හිටපු සතියේ මම බීච් එකේ ඇවිදිනවා ස්ලෝමෝෂන් වීඩියෝ එකක් දැම්මා. මම ඒක ආයේ බැලුවෙත් නෑ. දවසක් ඩාන්සින් රියසල් කරද්දී අපේ මල්ලි කෙනෙක් කිව්වා අක්කේ මරු ඇප් එකක් තියෙනවා ඒකට ඩාන්ස් එකක් කරමු කියලා. බලද්දී ඒක මියුසිකල් ඇප් එකම තමයි. එහෙම තමයි මියුසිකල් ඇප් එකෙන් මම ඩාන්සින් වීඩියෝ කරන්න පටන් ගත්තේ.
මොකද ඒවයේ වැඩ කෑලිත් මම දන්නවනේ. මගේ හොඳම යාලුවා කැලුම්. කැලුම් එක්ක මම ඩාන්සින් වීඩියෝ, ලිප්සින් කරන ඒවා කළා. ඔහොම කරන අතරේදී Tik Tok කරන ඒවා ඉන්ස්ටර්, ෆේස්බුක් එහෙමත් දැම්මා. කට්ටිය බලන්න ගත්තා, කමෙන්ට් කරන්න ගත්තා. හොඳයි… වැඩේ නැගලා යනවා. ඊට පස්සේ මම හිතුවා ඇයි මම මේක යූටියුබ් දාන්නේ නැත්තේ කියලා. ඒ කාලේ තමයි ලංකාවේ ගොඩක් කට්ටිය යූටියුබ් එහෙම පටන් අරගෙන තිබුණේ. ඒ අතරේ රැට්ටලා අනුශ්ක අයියලා යූටියුබ් පටන්ගෙන තිබුණා. මම බැලුවා කෙල්ලෙකුත් වැඩේට නැති එකේ මම වැඩේට බැස්සානං හරි කියලා. යූටියුබ් වැඩේනං හොඳට ප්ලෑන් කරලයි කළේ.
කෙල්ලෙක් ඒ කාලේ යූටියුබ්වලට එද්දී අභියෝග තිබුණේ නැද්ද ?
සෑහෙන අභියෝග තිබුණා. දැන් දෙයක් කරද්දී අපිට මුලින් කට්ටිය කරපු ඕන තරම් දේවල් උදාහරණ විදිහට බලාගන්න තියෙනවනේ. ඒ විතරක් නෙවෙයි යූටියුබ් ටියුටෝරියල්ස් හරි බලල ඒ දේවල් කරන්න පුළුවන්. ඇත්තටම මම යූටියුබ්වලට ආපු කාලේ ඒවගේ දේවල් තිබුණේ නෑ. හරිද වැරදිද දන්නේ නැහැ අපි අපට ඕන දේ කළා. මට ලොකුම අභියෝගය වුණේ මම ගෑනු ළමයෙක් වීම. පොඩි කලේ ඉදලා ගෑනු ළමයින්ට කියනවනේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. අපේ සමාජය හැදිල තියෙන්නේ ගෑනු ළමයෙක් පුටුවකට නැග්ගත් වැරදියි කියල දකින්න. ඒ අභියෝගය ඒ විදිහටම මටත් තිබුණා. ඒ විතරක් නෙවෙයි මුල් කාලේ සයිබර්බුලින්වලටත් මම ගොඩක් මුහුණ දුන්නා. හැබැයි ඒ අභියෝග ජයගෙන අද මම මෙතන ඉන්නවා.
මොනවද ලෝචි මුහුණ දුන්න සයිබර්බුලින් ( Cyberbulling )
කිහිප අවස්ථාවකදීම මම එහෙම අපහසුතාවයට පත් වුණා. ඒ අවස්ථා එකකදිවත් මට හරි උත්තරයක් ලැබුණේ නෑ. නීතිමය පියවර ගන්නත් අවස්ථා තිබුණේ නෑ. ඒ ගොඩක් අවස්ථාවලදී සිද්ධියට අදාළව මම පියවරක් ගත්තත් ඒවායේ යම් හෝ ප්‍රතිඵලයක් ලැබෙන්න මාස 6 කට වඩා මේ රටේ ගත වුණා. එතකොට ලැබුණු ප්‍රතිඵලය මොකක් වුණත් ඒකෙන් වැඩක් වුණේ නෑ. හැබැයි ඒ කිසිම දෙයකින් මේ ලෝචි වැටුණේ නෑ. හැම වෙලාවකම ඒ දේවල් අභියෝගයක් විදිහට බාරගෙන මම මගේ ගමන ගියා. අදටත් මම ඒ අතීතය මතක් කරන්නේ දැන් සයිබර්බුලින්වලට මුහුණ දෙන ගැහැනු ළමයින්ටයි පිරිමි ළමයින්ටයි කොහොමද ඒ වගේ දේවල්වලින් ගැලවෙන්නේ, මානසිකව කොහොමද ශක්තිමත් වෙන්නේ සහ මේ වගේ දේවල් දරාගන්නේ කොහොමද කියල කියලා දෙන්න. ඒ වගේ දේවල්වලට මට කතා කරන ඕනෙම කෙනෙක්ට මම උදව් කරනවා. නීතිමය පියවර ගන්න හැටි කියනව.
ගැහැනු ළමයෙක් වීම නිසා ද එදා ඔයා වැඩියෙන් සමාජ මාධ්‍ය ප්‍රශ්නවලට මුහුණ දුන්නෙ ?
එදා එහෙම වෙන්න ඇති. අද ගොඩක් වෙලාවට ගැහැනු ළමයි හෝ පිරිමි ළමයි සමාජ මාධ්‍යයේ කරන පුංචි පුංචි වැරදි නිසා තමයි එයාලම සයිබර්බුලින්වලට මුහුණ දෙන්නෙ. මම හිතන්නේ ඒ නොදැනුවත්කම තමයි. හැබැයි තවත් කොටසක් මේ කතා කරන සමාජ මාධ්‍යම යොදාගෙන ජනප්‍රිය වෙන්න, රස්සාව කරගන්න, විනෝදයට, සල්ලි හොයන්න පෙලඹිලත් ඉන්නවනේ. අද සයිබර්බුලින්වලට මුහුණ දෙන අයට උදව් කරන්න ආයතන ඕන තරම් ලංකාවේ තියෙනවා. ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දීලා අද යම් තැනක ඉන්න අපි වගේ පිරිසකුත් ඒ ළමයි වෙනුවෙන් පෙනී සිටිනවා.
ලෝචි ගැන ලෝචි අඩම්බර වෙනවද ?
ඇත්තටම ඔව්. මම මුලින්ම බැකප් ඩාන්සර් කෙනෙක්. එහෙම ඉඳලා අද මේ වගේ තැනක ඉන්න එක ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මං ගැනම ලොකු සතුටක් තියෙනවා. ඒක එක අතකින් වාසනාව. නමුත් එක වෙලාවකට මට දැනෙන්නේ මේක ලොකු වගකීමක් විදිහට. මොකද මං දිහා මිලියනයකට වැඩි පිරිසක් බලාගෙන ඉන්න බව මම දන්නවා. ඒ අයට වැරදි දෙයක් දෙන්න මට කොහෙත්ම බෑ. මේ කතා කරන වචනයක් පාසාම හොඳට හිතලා බලලයි මම කතා කරන්නේ. වසනාවට හම්බවෙච්ච දේ නොදැනීම වගකීමක් බවට දැන් පත්වෙලා.
මම දන්න ලෝචී තරුණ වයසේදීම ගෙදර වගකීම් පවා බාරගත්ත කෙනෙක්
ඔව්. වගකීම් බාරගන්න මම පුරුදු වුණේ ඉස්කොලේ යන කාලේ ඉඳලමයි. ඉස්කොලෙන් අවුට් වෙන්නත් කලින් මගේ අම්මා මට නැති වුණා. එතකොට මම A / L කරලත් නැහැ. හොස්පිට්ල් එකේ හිටපු අම්මට තුන් වේලටම කෑම හදාගෙන බලන්න ගියෙත් මම. ගෙදර වගකීම මුළුමණින්ම පැවරුණේ මට. ඒ නිසා ඉස්කෝලේ ගමන අකමැත්තෙන් වුණත් මට නතර කරන්න සිද්ධවුණා. විශේෂයෙන්ම එදා ඉඳලම මගේ නංගිලා දෙන්නාට හොඳ අනාගතයක් හදන්න ඕනෙ කියලා මම හිතුවා. අම්මාගේ තාත්තාගේ වගකීම් දෙකම මට පැවරුණා. ජීවිතය ගැන ලොකු බරක් දැනුණා. මගේ වාසනාවට හොඳ පාත් එකක් මට හම්බවුණා.
දැන් නංගිලා දෙන්නා ඉන්නේ කොහෙද?
ලොකු නංගි දැන් මැරි කරලා. එයාට බබෙකුත් ඉන්නවා. එයා පදිංචි වෙලා ඉන්නේ වෙනම. චූටි නංගි ඉන්නෙ මාත් එක්ක. එයා තාම ඉගෙනගන්නවා. දැන්නම් මම ටික ටික ගෙදර වගකීම් එයාටත් බාරදෙනවා.
විවේකයෙන් ඉන්න වෙලාවට ලෝචි මොනවද කරන්නෙ?
වැඩිපුරම යාලුවෝ එක්ක ට්‍රිප් යනවා. මට ඉස්කෝලේ යන කාලේ යාළුවෝ අඩුයි. හැබැයි දහම් පාසලෙන් හම්බ වුණු යාළුවෝ වැඩියි. මම තාමත් යාළුවෝ ඇති කරගන්නවත් අඩුයි. ෆීල්ඩ් එකේ යාළුවොත් මට අඩුයි. ඉන්න යාළුවෝ එක්ක මම හොඳින් ඉන්නවා.
ලෝචි ෆැෂන් කරන්න කැමති කෙනෙක්ද?
මට ගැළපෙන ෆැෂන් මම කරනවා. ඒත් අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට මම අඳින්න දන්නවා.
සමාජ මාධ්‍ය ජයගත් තරුණියක් විදියට ඔයාට මේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්නේ
ඔව් අනිවාර්යයෙන්ම. සමාජ මාධ්‍ය පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. සල්ලි හම්බ කරන්නම බලාගෙන යූට්යුබ්, Tik Tok පටන්ගන්න එපා. තමන්ගෙ හිතේ කැමැත්තට, ආසාවට මුලින් වැඩේ පටන් ගන්න. තමන් දක්ෂයෙක් නම් වෙනස් විදිහට හිතනවානම් මාර්ගය විවෘත වෙනවාමයි. වගකීමෙන් වැඩ කරන කෙනෙක් වුණොත් සමාජ මාධ්‍යයෙන් සල්ලි හමිබ කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි.
හරින්දී ලියනගේ