අපට ඇය හමුවුණේ අහම්බෙන්. ඒ විදේශයක සිට පුංචි නිවාඩුවකට ඇවිත් හිටපු මුණුබුරා හමුවෙන්න ඇගේ නිවසට ගිය වෙලාවෙ. පෙර සූදානමක් නැතුව හිටියත් අපේ ආරාධනය පිළිගෙන බොහොම ලස්සනට ලකලෑස්ති වෙලා ඡායාරූප වලට මුහුණ දෙන්න ආපු ගීත කෝකිලාවිය මේ විදිහට සෙනෙහසේ නවාතැනට එකතු කරගන්නත් අපට පුළුවන් වුණා…
● පුංචි කාලෙ මතකයන් අවදි කරමින් අපි මේ කතාබහ අරඹමු
මගේ තාත්තා ජෝශප් ලීනස් ප්‍රනාන්දු. අම්ම එලිසබෙත් මියුරියල්. විනිෆ්‍රීඩා, ගොඩ්ෆ්‍රි කියන මගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් දෙන්නට පස්සෙ බඩපිස්සි විදිහට පවුලට එකතු වුණ මට අම්ම තාත්තා තියපු නම තමයි රීටා ජෙනවිව් ප්‍රනාන්දු.
● සුන්දර පාසල් දිවියේ මතකයන්
ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයෙන් තමයි අකුරු සාස්තරේ ඉගෙන ගත්තෙ. පුංචි කාලෙ ඉඳලම නටන්න ගයන්න තමයි වැඩි උනන්දුවක් තිබුණෙ. ඒව මම හිතන්නෙ ජාන වලින්ම ආපු හැකියාවන්. මගේ අම්ම තාත්තා දෙන්නත් සංගීතයට බොහොම ලැදියි. අම්මත් තරුණ කාලෙ පල්ලියෙ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් වෙලා ඉඳල තියෙනවා. තාත්තට වාදනයට හොඳ හැකියාවක් වගේම ඔහු සතුව පියානෝ, වයලින්, එකෝඩියන් වගේ සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබුණා.
● ඒ පවුලේ පසුබිම ඔබව මේ තැනට තල්ලු කළා
සංගීත ගමන් මගේ මෙච්චර දුරක් එන්න තරම් මට වාසනාවක් තියෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් ඉතින් අපි කිසිම කෙනෙකුට දෛවය වෙනස් කරන්න බැහැනෙ. ඒ අනුව ලැබෙන්න තියෙන දේවල් අපිට ලැබෙනවා. අහිමි දේ අපෙන් ඈත් වෙනවා. ඒ හිමිකම නිසා වෙන්න ඇති වයස අවුරුදු දහයෙදි මට පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න අවස්ථාව උදාවුණේ.
● ගායිකාවක වීමේ අත්තිවාරම
පාසලේ හැම කටයුත්තකටම ගායනයෙන් නර්තනයෙන් දායක වුණා. ඒ හැම අවස්ථාවක්ම ඒ කාලෙ ඇගයීමට ලක්වුණා. එහෙම ඉන්න අතරෙ තමයි සී. එල්. ෆොන්සේකා මහත්මයගෙ ගුවන්විදුලි ගීත නාට්‍යයක සමූහ ගායනයට ඉදිරිපත් වෙන්න අවස්ථාව උදාවුණේ.
● බලවත් විරෝධ රැසකට මුහුණ දුන්නා
ඇත්තම කිව්වොත් එක පැත්තකින්වත් සැනසීමක් තිබුණෙ නෑ. පාසලේ ප්‍රධාන කන්‍යා සොහොයුරියත් මගේ තාත්තත් මම ඒ ගායනයට ඉදිරිපත් වෙනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. කරන්න දෙයක් නැති තැන අම්මයි මමයි මර්සලින් ජයකොඩි පියතුමා සහ පී. එල්. ඒ. සෝමපාල මහතා සමඟ එවකට සිටි බිෂොප්තුමා හමුවෙලා තමයි ඒ අවසරය ලබා ගත්තේ.
● දිගින් දිගටම අවස්ථා
වින්සන් ද අල්විස් මහත්මයගෙ සරල ගී වැඩසටහනකට ඔහුත් සමඟ “කඳුළු දෙනෙතේ වෑහෙන” ගීතය ගායනා කළා. එතනින් පස්සෙ අර්වින් ෆොන්සේකා මහත්මයාගෙ සරල ගී වැඩසටහන්වලටත් දායක වෙන්න අවස්ථාව උදාවුණා. ඒ වැඩසටහනකදී ගායනා කරපු ‘නමෝ මරියනී’ ගීතය බොහෝ ජනප්‍රිය වෙලා කොළොම්බියා තැටියකටත් ඇතුළත් වුණා. අදටත් නත්තල් කාලෙදි වැඩි වශයෙන් අහන්න ලැබෙන මගේ ජනප්‍රිය ගීතයක් තමයි ඒක.
● අම්ම තාත්තගෙ පවුල් ජීවිතේ අවුල් කරමින් ඉදිරියට
ඒක වුණේ මෙහෙමයි. සුජාතා චිත්‍රපටයේ ගීත පටිගත කරන්න යොදාගෙන තිබුණෙ ඉන්දියාවෙ. ගායනයට මාව තෝරගත්තු නිසා මටත් ඉන්දියාවට යන්න වෙනවා. තාත්ත ඒකට කොහොමටවත් කැමැති වුණේ නෑ. ඒ විරෝධය අතරෙ ගමන නතර වුණා. දෙවෙනි වතාවටත් වෙනත් චිත්‍රපටයක ගීත පටිගත කරන්න ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා අම්ම මාවත් ලෑස්ති කරගෙන තාත්තට හොරෙන් අයියවත් අක්කවත් දාල ඉන්දියාවට ගියා.
මොකද අම්ම දැනගෙන හිටියා මට ගායනය පැත්තෙන් ඉදිරිය ජය ගන්න වාසනාව තියනව කියන එක. නැවත ලංකාවට එනකොට තාත්තා හැමදේම විනාශ කරලා. මගේ ෆොටෝ, ඇඳුම් ගිනි තියලා ගෙවල් පාලු කරල අක්කයි අයියයි අරන් කොහේදෝ ගිහින්. එතනින් අපේ පවුල දෙකඩ වුණා. පස්සෙ කාලෙකදි අයියයි අක්කයි මායි අම්මයි එක්ක එකට ඉන්න ආවා. තාත්තගෙ කේන්තිය වයසට යනකම් ඉවරයක් වුණේ නෑ. එහෙම වුණත් අන්තිම කාලෙ මම තාත්තව මගේ ළඟට අරන් හොඳට සැලකුවා.
● උප්පැන්න සහතිකයේ වූ රීටා ජෙනවිව් ප්‍රනාන්දු නාමය ලතා ප්‍රනාන්දු ලෙස වෙනස් වෙනවා
අපි පුංචි කාලෙ පදිංචිවෙලා හිටියෙ ගල්කිස්සෙ පීරිස් මාවතේ. ඒ කාලෙ අපේ අසල්වාසීන් වුණේ වින්සන් ද අල්විස්, සුසිල් ප්‍රේමරත්න, සී. ටී. ප්‍රනාන්දු, ඩී. ජී. වික්‍රමසිංහ වැනි සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීන උදවිය. භාරතීය ගායිකා ලතා මංගේශ්කාර්ගේ ගායන විලාශයට මගේ ගායනයත් සමානයි කියල තමයි අපේ ගෙදර අයගෙ කැමැත්ත පිට ලතා කියන නම සුසිල් ප්‍රේමරත්නයන් තිබ්බෙ. කොහොම හරි ඉතින් ගායනා කරන ලතාව නිසාම මම ලතා වුණා.
● ප්‍රේම තරගය චිත්‍රපටය අතරතුර ප්‍රේමයක පැටළුණා
ඔව්. ප්‍රේම තරගය චිත්‍රපටයේ පසුබිම් ගායනයට යොමු වුණාට පස්සෙ තමයි ධර්මදාසත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙන්නෙ. එහි ප්‍රතිඵලයක් විදියට 1957 අවුරුද්දෙ අපි විවාහ දිවියට ඇතුළත් වුණා. අපි දෙන්නගෙම ගායන හැකියාවන් අතමිට මොළවගෙන සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද කියන දරුවො හතර දෙනා අපි අතරට ආවා. අද ඔවුන්ගේ දරුවොත් විවාහවෙලා. මම මී ආච්චි කෙනෙක් වෙලා.
● පැමිණි ගමන් මග දෙසට ආපසු හැරුනොත්
සතුටක් මිස දුකක් කලකිරීමක් නැහැ. ගායන ලෝකෙ ජය අරගෙන හෙළයේ ගීත කෝකිලාවිය ලෙස ගෞරවයට ආදරයට පාත්‍රවෙන්න තරම් වාසනාවන්ත වුණා. සංගීත ක්‍ෂේත්‍රයට කරපු සාධාරණය නිසා අනන්ත අප්‍රමාණ ලෙස සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඒ අතර අදටත් මගතොටේදි ලබන ජනතා සම්මාන විශේෂයි. රත්තරන් දූ දරු මුණුබුරු මිනිබිරියන් පිරිසක් ඉන්නව. ඔවුන්ගේ ආදරය විඳිමින් ගෙවෙන හැම තත්පරයකම බොහොම සතුටින් ජීවත් වෙනවා.
අද දවස වනවිට ඒ හෙළයේ ගීත කෝකිලාවිය කල් ගෙවන්නෙ ඇගේ එකම දියණියගේ නිවසෙ. අප ඇයව හමුවන්නට ගිය මොහොතේ ධම්මිකා වල්පොළ සමඟත් පුංචි කතාබහක නිරත වුණා…
මමත් අයියල දෙන්නත් මල්ලිත් උදේට ගී පද පේළියක හඬට එහෙම නැත්නම් වාදන හඬකට නින්දෙන් අවදිවෙලා රෑටත් ඒ හඬටම කන්දෙමින් නින්දට යන සංගීත වටපිටාවක තමයි හැදුනෙ වැඩුණෙ.ඒ කාලෙ තාත්තා ගෙදර සංගීත පංති කරපු නිසා අමුතුවෙන් ඒවට සහභාගි නොවුණත් ඒ ඇහෙන දෙයින් අපට තිබුණු සහජ හැකියාවන් දියුණු කරගන්න තරමේ දැනුමක් අප සතුව තිබුණා.
අයියල දෙන්නයි මල්ලියි සංගීත ක්‍ෂේත්‍රයට එකතු වෙනවට තාත්තගෙ තිබුණෙ මොන වගේ අදහසක්ද කියල මට නිච්චියක් නෑ. ඒත් මම ගායිකාවක් වෙනව දකින්න නම් තාත්ත ඒ තරම් සතුටු වුණේ නෑ. හරියට සීයා අම්මට තහංචි දැම්මා වගේ.ලොකුවට විරුද්ධත්වය නොපෙන්නුවත් මම කැමති නෑ කියන එක තාත්තා ව්‍යංයෙන් පෙන්නුවා.
මම මුලින්ම සිංදුවක් කියන්නෙ අවුරුදු හයේදි. අම්මත් එක්ක යුග ගීතයක් ලෙස “බඹරෝ මොනරෝ’ කියන ගීතය ගායනා කරන්න ආර්. ඒ. චන්ද්‍රසේන මාමා මාව යෝජනා කරපු වෙලාවෙ තාත්තා කිව්වෙම අපෝ මේ කෙල්ලට ඕව කියන්න බෑ ඒකි තාම පුංචියිනෙ කියල.
ඒත් මට හැකියාව තිබුණා ගීතය ගායනා කරන්න. කොහොම හරි ජෙම්ස්ටෝන් සමාගමට නිර්මාණය කළ හැටියකට ඒ ගීතය ගායනා කරන්න මම සම්බන්ධ වුණා.ඒ කාලෙ අම්ම නිතරම චිත්‍රපට පසුබිම් ගායනා සඳහා Studio වලට යනවා. ඒ යද්දී අපි හතර දෙනාම අම්මත් එක්ක යන්න පොර කනවා.
විශේෂයෙන්ම මම. අයියල දෙන්නවයි මල්ලිවයි එක්කගෙන නොගියත් මාව අනිවාර්යෙන්ම අම්ම යන යන තැන එක්කගෙන ගියා. අන්න ඒ නිසා මට පුංචි කාලෙ ඉඳලම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හඳුනාගන්න වාසනාව ලැබුණා. සමහර දවස් වල අම්ම කියන එකම සිංදුව නැවත නැවත පටිගත කරන්න වෙනවා. අම්ම කොච්චර හොඳට කිව්වත් කාගෙන් හරි සුළු වැරැද්දක් වුණොත් නැවත පටිගත කරන්න වෙනවා. ඒ දිහා බලාගෙන ඉඳලම මට ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත කටපාඩම් වුණා සහ ඒවා තාලෙට කියන්නත් හැකි වුණා.
පුංචි ළමයෙක් විදිහට එදා ප්‍රවීනයෝ මගේ ඒ හැකියාව බොහොම අගේ කළා. ඒ හරහා විවිධ ගීතවල කෝරස් කියන්න මට ඔවුන් අවස්ථාව ලබා දුන්නා. ඒ සඳහා මට ගෙවීමකුත් කළා. ඒ කාලෙ රුපියල් පනහක් සීයක් කියන්නෙ ලොකු මුදලක්. සල්ලි අරගෙන ගිහින් ඉස්කෝලෙ කෙල්ලන්ට කඩචෝරු අරන් දෙන එක තමයි කරන්නෙ.තාත්තා මාව පරිස්සම් කළේ පුදුම විදිහට. අය්යලා දෙන්නවයි මල්ලිවයි කොළඹ ආනන්ද කොලේජ් එකට දැම්මා. මාවත් කොළඹ බාලිකාවකට දාන්න පුළුවන්කම තිබ්බත් ඔයා මට පේන දුරින් ඉන්න ඕන කියල කැලණිය සාන්ත පාවුළු බාලිකා කොන්වන්ට් එකට තමයි ඇතුළත් කළේ. ඒ වගේම කැලණියේ අපේ ගෙදරට කවදාවත් ටෙලිෆෝන් ගත්තෙ නෑ.
කවුරු ඒ ගැන ඇහුවත් තාත්තා කිව්වේ ඒවා අපිට අවශ්‍ය නෑ කියන එක තමයි. එහෙම කළෙත් මගේ ආරක්ෂාවට වෙන්න ඕන.කොච්චර පරිස්සම් කළත් මගේ ජීවන අත්වැල හොයාගත්තෙ මමම තමයි. හැබැයි ඒක නිවැරදි තෝරා ගැනීමක් වුණා. මම ඔහුව මුලින්ම දැක්කේ වයස අවුරුදු දාසයේදි විතර. අම්මල තරංගා ලේබලය යටතේ කැසට් කරන කාලෙදි තමයි මම මහින්දව හඳුනගන්නෙ.
මගේ හිතේ මහින්ද ගැන පැහැදීමක් තිබුණත් ඔහු ඒ ගැන දැනගෙන හිටියේ නෑ. එහෙම ඉන්න වෙලාවක තමයි ග්‍රේෂන් ආනන්ද ඇවිත් කියන්නෙ දම්මි මහින්ද ඇක්සිඩන්ට් වෙලා කකුලක් කපල කියල. ඒ 1980 අවුරුද්දෙ. හැබැයි මම කවදාවත් හිත වෙනස් කර ගත්තෙ නෑ. කකුල අහිමි වුණාට පස්සේ තමයි මගේ කැමැත්ත ඔහුට කිව්වෙ. ගොඩක් දේවල් පැහැදිලි කරල දුන්නට පසසෙ තමයි ඔහු මට කැමති වෙන්නෙ.
මේ ගැන අම්මගෙ මාර්ගයෙන් තාත්තට කිව්වා. තාත්ත ගත් කටටම කිව්වලු මහින්ද හොඳ කොල්ලා මට ඌ ගැන බයක් නෑ අපේ එකී ගැන තමයි බය කියල.තාත්තා අපිත් සමු ගන්න මාස තුනකට ඉස්සෙල්ලා ඔහුත් එක්ක එක්ක මම යුග ගීතයක් කළා. ඒ හරහා තමයි තාත්ත දෙවෙනි වතාවට මට විවාහයට අවසර දුන්නෙ.
පුංචි පැලේ ඔබ තනිකර යන්න හිතක් නෑ
මහලුු ඔබට තනි රකින්න පැලේ කෙනෙක් නෑ
දුවේ නුඹේ සතුට ළඟදි මට තනියක් නෑ
හෙට නුඹ පලයන් දීගෙක ඊට කමෙක් නෑ
ඒ වගේම අම්මත් එක්ක ගායනා කරපු
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්ක නගෝ වාගේ ගීතයත් මට හරිම විශේෂයි. අම්ම තාත්ත එක්ක ඒ විදියට යුග ගීත ගායනා කරන්න ලැබීම මගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවන් හැටියටයි මම දකින්නෙ. අද වෙනකොට මමත් මහින්දත් අපේ පුතාල තුන් දෙනා නිසා ආච්චි සීයා කියන පදවිවලට ඇවිල්ලා සංගීත කටයුතු වල නියැළෙමින් බොහොම සතුටින් ජීවත් වෙනවා.
● ධම්මික හේවාවසම්