අද කාලෙ සින්දුවක් හිට් කරගන්න ලේසි පාත්ස් ගොඩක් තියෙනවා. මොකද ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වගේ ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙන නිසා. ඒත් ඒ වගේ මුකුත්ම දෙයක් නොතිබුණු කාලෙත් අදටත් මිනිස්සුන්ගෙ මුවඟ රැඳුණු ගීත කීපයක් කරපු පැරණි සංගීත කණ්ඩායමකුයි අද සෙනෙහසක නවාතැනට ගොඩවද්දගත්තෙ. දයාන් අරවින්ද, තරිඳු රොෂාන් නම ඇහුණ පමණින්ම කවුරුත් දන්නවා අද අපේ කතා නායකයින් දෙන්නා ගැන. ‘මගෙ ආදර ලන්දු, මා හදේ සිතුම්, නෙත් කොණින් බලා’ වගේ එවර් ග්‍රීන් නිර්මාණ බිහිකරපු D -Tap එක්කයි අද අපේ කතාබහ.
තරිඳු… අපි මුලින්ම මේ කතාව D -Tap ආරම්භයෙන් පටන්ගමු
මමයි දයානුයි මුලින්ම මුණගැහුණේ පාසලේ උසස් පෙළ කාලෙදි. 2005 අවුරුද්දෙ වගේ. මට වඩා දයාන් අවුරුද්දක් ජූනියර්. අපි දෙන්නම ඉගෙනගත්තෙ මාතර රාහුලේ. දවසක් ඉස්කෝලේ ඕත් එකට සින්දුවක් හදන්න වුණා. හැමපාරම සීනියර්ස්ල තමයි ඒ සින්දුව හදන්න ඕන. දයාන්ලා තමයි ඒ කාලෙ සීනියර්ස්ලා. ඉතින් එයා සින්දුව
හදාගන්න උදව්වක් ගන්න අපි ගාවට ආවා. ඒ වෙලාවෙ දයාන් එයාගෙ යාළුවා දිමුතු එක්ක ‘නෙත් කොණින් බලා’ සින්දුවෙ පොඩි කෑල්ලක් කිව්වා. ඊටපස්සෙ අපි දෙන්නා එකතු වෙලා ඕත් එකට සින්දුවකුත් හැදුවා. ඕක තමයි පළමු හමුවීම. නැතුව කවදහරි බෑන්ඩ් එකක් හදන බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.
බෑන්ඩ් එක D -Tap වුණේ කොහොමද?
ඇත්තටම බෑන්ඩ් එකක් දාන්න අපි හිතලවත් තිබුණෙ නෑ. මුලින්ම අපි දෙන්නා කළේ Mad Love කියල English Track එකක්. ඒක රේඩියෝ ස්ටේෂන්ස් වලට දෙන්න අපිට වුවමනාවක් තිබුණා. නමුත් නමක් තිබුණෙ නෑ. ඊටපස්සෙ අපි කතා වෙලා අපිත් එක්ක සින්දුව හදන්න එකතු වුණ යාළුවන්ගෙ නම් වලින් නමක් හදාගන්න තීරණය කළා. නම් ගොඩක් යෝජනා වුණා. ඒ අතරේ තිබුණ එක නමක් තමයි D – Tap අපි තීරණය කළා ඒ නමින් Mad Love එළියට දාන්න. D කියන්නෙ දයාන්, T – තරිඳු, A – ඇනා, P – ප්‍රමුදිත්. ඔය යාළුවන්ගෙ නම් වල මුල් අකුරු වලින් තමයි D – Tap හැදුණෙ. දිමුතු කලින්ම ඕස්ට්‍රේලියා ගියා ඉගෙනගන්න. ප්‍රමුදිත් ඇමෙරිකාවෙ ගියා. ඇනාත් ඒ වගේම හැලුණා. අන්තිමේ ඉතුරු වුණේ අපි දෙන්නා විතරයි.
■ මුලින්ම සින්දු ප්ලේ වුණේ FM එකක…
ඔව්. Mad Love නෙත් කොණින් අපි මුලින්ම දුන්නා Y FM එකට. නමුත් අපි මාස තුනක් විතර බලන් හිටියා බලන් හිටියා ප්ලේ වුණේ නෑ. ඊටපස්සෙ අපි නෙත් කොණින් බලා එකට වීඩියෝ එකක් හැදුවා 2006 දි. ඒකත් එච්චර හිට් වුණේ නෑ හිතපු තරම්. ඊටපස්සෙ දුන්න ලන්දු තමයි හිට් වෙලා ගියේ.
සෝෂල් මීඩියා නැති කාලෙ සින්දුවක් මිනිස්සු අතර යවාගන්න කාපු කට්ට කොහොමද?
ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් මීඩියානෙ තිබ්බෙ. රේඩියෝ, ටීවී වලට සින්දුවක් දානව කියන්නෙ ඒ කාලෙ එච්චර ලේසි නෑ. නමුත් අපේ සින්දු ප්ලේ වුණා. කවදාවත් අපි සල්ලි දීලවත් අපෙන් සල්ලි ඉල්ලලවත් නෙවේ සින්දු ප්ලේ වුණේ. ඒ වගේම අපිට FMවල කිසිම ඇඳුනුම්කමත්වත්, සංගීත ක්ෂේත්රයේ ඇඳුනුම්කමක්වත් තිබුණේ නෑ මේ ගමන එන්න. නමුත් ඒ කාලෙ හිටපු වැඩසටහන් නිෂ්පාදකවරු අපිට සෑහෙන්න උදව් කළා. ඒ නිසා තමයි D -Tapලව සින්දුවලින් මිනිස්සු අඳුරගත්තෙ.
මේ ආපු ගමන සුන්දර නෑ නේද?
ඇත්තටම නෑ. මම A/L ඉවර වෙලා කොළඹ ක්ලාස් ආවා. ඒ එන ගමන් මම සීඩීස් ටික අරන් ඇවිත් Y FM එකට දුන්නා. සින්දු දෙකට CD 6 ක් විතර තිබුණා මගෙ අතේ. මොකද දාලා බලද්දි සමහර ඒවා ප්ලේ වෙන්නෙ නෑ. ඒ නිසා කොටස් වෙන වෙනම ගෙනාවෙ. සමහර දවස්වලට විනාඩි දහයේ FM Programs වලට පැය අටක ගමනක් අපි මාතර ඉඳන් ඇවිත් ගිහින් තියෙනවා. ඒ වගේ ලොකු කට්ටක් කෑවා මේ ගමන එන්න. නමුත් අද අපි ආපු ගමන ගැන ආපස්සට හැරිල බලද්දි තියෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්
අදටත් තරුණ්‍යයේ උන්මාදයක් ඇති කරපු ‘ලන්දු’ ගැන කතා කළොත්..
අපි 2007 දි තමයි ‘ලන්දු’ වීඩියෝ එක රිලීස් කළේ. උදේ සිරස TV එකට දුන්න ‘ලන්දු’ හවස ප්ලේ වුණා. නමුත් වීඩියෝ එක එන්න කලින් අපි Proof කරපු ඕඩියෝ එකක් වෛරල් වෙලා තිබුණ නිසා සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා වීඩියෝ එකට. දයාන් සින්දුව ලියල ගෙනාවට පස්සෙ Proof කරල ඉවර වුණේ 2006 දි.
සිරස චාට් ෂෝ එකේ ඒ කාලෙ ‘ලන්දු’ හැමදාම Number one ඒක සෑහෙන්න මිනිස්සු එක්ක ඉමෝෂනලි කනෙක්ට් වුණා. සින්දුවෙ වචනවලට, මියුසික් එකට, වීඩියෝ එකට වගේම වීඩියෝ එකේ චරිතවලට මිනිස්සු ගොඩක් ආදරේ කළා. අපිට ඒ කාලෙ ගොඩක් කෝල්ස් ආවා වීඩියෝ එකේ හිටපු ගෑනු ළමයට ඇත්තටම ඇවිදින්න බැරිද කියල අහල. ඒ තරමටම මිනිස්සු ලන්දු එක්ක බැඳුණා.
ඒ ගෑනු ළමයව පාසලෙන් ඉවත් කළා කියලත් ඒ කාලෙ ගොසිප් හැදුණා නේද?
ඔව් ඔව්, ලන්දු වීඩියෝ එකේ රඟපාද්දි ඒ ළමයා පාසල් යන වයසෙ. කොන්වන්ට් එකක තමයි ඉගෙනගත්තෙ. ඉතින් ගොසිප් එකක් හැදිලා තිබුණා අපේ වීඩියෝ එකේ රඟපාපු නිසා එයාව කොන්වන්ට් එකෙන් අයින් කළා කියල. එහෙම දෙයක් වුණේ නෑ. නමුත් ඇයට කොන්වන්ට් එකේ සිස්ටර් තරවටු කරල තිබුණා පාසල් යන කාලෙ ගීත වීඩියෝවකට පෙනී හිටියා කියල.
මේ ප්‍රශ්නෙ මම යොමු කරන්නෙ දයාන්ට. දයාන්ට ‘ලන්දු’ ලියන්න මොකක්හරි විශේෂ හේතුවක් තිබුණද?
එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නෑ. පාසල් කාලෙ ඇතිවුණ පෙම් සබඳතා සහ ඒවා නැති වුණාම දැනුණ විරහ වේදනාවල අත්දැකීම් එක්ක තමයි මම ඕක ලිව්වෙ. මියුසික් කළේ තරිඳු. මෙලඩි එකයි වීඩියෝ එකයි අපි දෙන්නම එකතු වෙලා හැදුවෙ. ලන්දු සින්දුවෙන් පස්සෙ අපි ඊට කලින් කරපු සින්දුත් මිනිස්සු අහන්න ගත්තා. 2010 වගේ තමයි අපි ලන්දු YouTube එකට දැම්මෙ. වීව්ස් මිලියන 2.6 ක් තියෙනවා. හිතන්නකො අපි සෝෂල්මීඩියා ලොකුවටම පාවිච්චි වන මේ කාලෙ ඕක දැම්මනම් කොහොම හිට් වෙයිද කියල.
සරල පදවලින් ලියවුණු ‘ලන්දු’ මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියල නිකමටවත් හිතුවද?
ඇත්තටම මම හිතුවෙ නෙත් කොණින් බලා සේරටම වඩා හිට් වෙයි කියල. නමුත් හිතුවෙ නැති විදිහට ලන්දු තමයි හිට් වුණේ. හැබැයි අපි ගණන් නොගත්තට ඔෆීෂියලි රිලීස් කරන්න කලින් ලන්දු අහපු හැම යාළුවෙක්ම කිව්වෙ මේක අනිවාර්යයෙන් හිට් වෙනවා කියල. මේක චාට් ෂෝවල Number One වුණත් අපිට බලාගන්න විදිහක් තිබුණෙ නෑ කොච්චර මිනිස්සු ප්‍රමාණයක් අතරෙ රීච් වෙලාද කියල. මොකද යූටියුබ්, ෆේස්බුක් තිබුණෙ නෑනෙ කමෙන්ට්ස්, වීව්ස් බලන්න. දිගට හරහට ලැබුණ කෝල්ස්වලින් තමයි අපිට තේරුණෙ වැඩේ පත්තු වෙලා කියලා.
නැවතත් මම යොමු වෙන්නෙ තරිඳුගෙ පැත්තට. මම ඇහුවොත් D – Tap තවමත් රසිකයන් අද රැඳිලා ඉන්නෙ ලන්දු සහ මා හදේ සිතුම් ගීත දෙක නිසා කියල…
ඔව්, ඇත්තටම අපි කරපු සින්දු වලින් ගොඩක්ම මිනිස්සු අතරට ගියෙ ඔය දෙක. මා හදේ සිතුම් එකට වීඩියෝ එකක් නැති වුණත් ඕඩියෝ එක සෑහෙන ප්‍රසිද්ධ වුණා වගේම අදටත් ඒ ප්‍රසිද්ධියේ අඩුවක් නෑ. සමහරු කියල තියෙනවා එයාලගෙ බබාලා නිදාගන්නෙත් ‘ලන්දු’ සින්දුව දැම්මම කියල.
වැඩියෙන්ම ඒ කාලෙ ප්‍රතිචාර ලැබුණෙ කෙල්ලන්ගෙන්ද කොල්ලන්ගෙන්ද?
ඇත්තටම කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙන්ම බැලන්ස් ප්‍රතිචාර ලැබුණේ. ප්‍රතිචාර කොටස් කීපෙකට බෙදෙනවා. මියුසික් එකට කැමති කොල්ලො කෙල්ලො මට කතා කරනවා. ලිරික්ස්වලට කැමති අය දයාන්ට කතා කරනවා. ඔය අතරේ අපි දෙන්නගෙ පෙනුමට කතා කරපු අයත් හිටියා.
දයාන් දැන් පදිංචිය කොළඹ, තරිඳු මාතර. පැති දෙකක ඉඳගෙන දෙන්නා බෑන්ඩ් එකේ වැඩ කරන්නෙ කොහොමද?
දයාන්ගෙ බිස්නස් මාතර තියෙන නිසා නිතරම මාතර එනවා. කොහොමත් අපි දෙන්නා ඉස්සර ඉඳන්ම ගොඩක් වෙලාවට වැඩ කළේ දෙපැත්තක ඉඳන්.
දයාන්… බෑන්ඩ් එකක් මිනිස්සුන්ගෙ මතකෙ හැමදාම තියෙන්න හොඳ සින්දු දෙකක් තුනක් තිබ්බම ඇතිද?
දෙක තුනක් නෙවේ එක සින්දුවක් තිබුණත් ඇති. ලයනල් රිචීගේ සින්දු කීයක් මිනිස්සු දන්නවද? ‘Hello’ විතරනෙ මිනිස්සු දන්නෙ. ලයනල්ගෙ සින්දු ගොඩක් තියෙනවා. නමුත් එයා මිනිස්සු අතරෙ වැඩිපුරම හිට් වුණේ ‘Hello’ සින්දුව නිසා. හරියට පවතින එක නිර්මාණයක් කළත් නිර්මාණකරුවාගේ නම හැමදාටම මිනිස්සුන්ගෙ හදවතේ තියෙනවා. අපි ෂෝ එකක ගිහින් ලන්දු, මා හදේ සිතුම් කියනකොට ෂෝ එක බලන්න ඇවිත් ඉන්න ඕඩියන්ස් එකත් කෑගහල අපි එක්කම ඒ සින්දු කියන තත්ත්වෙට අපි එයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ.
අලුත් සින්දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘හිතට ළංවෙලා’ අපි හරිම කුතුහලයෙන් දාපු සින්දුවක්. නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක අපි ගායනා කරන්නෙ ඉමේෂා තත්සරණි එක්ක.
ලන්දු රීමේක් කරන්න අදහසක් තියෙනවද?
ඔය ප්‍රශ්නෙ ගොඩක් අය අපෙන් අහනවා. අපි තවමත් හිත හිත ඉන්නෙ ඒක රීමේක් කරනවද නැත්නම් නැත්නම් ලන්දු 2 ගහනවද කියල. මොකද ‘ලන්දු’ කියන්නෙ අපිට අති විශේෂ සින්දුවක්. ඒකට ආයෙ අත ගහනවනම් අපි එක පාරක් නෙවේ සියපාරක්වත් හිතන්න ඕනෙ. රීමේක් කරනවා කියන්නෙ ඒකෙ තියෙන ෆීලින් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනව කියන එක. සමහර ඒවා තියෙනවා පළවෙනි සින්දුව අඬන ෆීලින් එකේ. රීමේක් එක නටන ෆීලින් එකේ. එහෙම කරන්න බෑ අපිට. ඒ නිසා ලන්දු රීමේක් කරනවද කියල අපි තාම හිතල නෑ.
එරංදි කෞශල්‍යා