හරිත් විජේසිංහ අපි හඳුනාගන්නේ The Voice Season 1 රියැලටි වැඩසටහනෙන්. ඒ වනවිට ඔහු ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ හතරවැනි වසරේ සිසුවෙක්. හරිත්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ගායන හැකියාව ගැන ලෝකයම දැනගත්තා. ඒ නිසා ඔහුගේ නිර්මාණ රසවිදීමට ප්‍රේෂකයන් පිරිසක් ඔහු වටා එකතු වුණා.
හරිත් මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල සංගීත වැඩකටයුතුවල තමයි නිරත වෙලා ඉන්නෙ. නොවැම්බර් මාසෙ ඉඳන් මගේ සීමාවාසික වෛද්‍ය පුහුණුව පටන් ගන්නවා.
හරිත්ට මුල්ම පත්වීම කොහේ ලැබෙයිද?
එකනම් හරියටම දන්නෙ නෑ. කොළඹ දිස්ත්‍රික්කයේ රෝහලක් හම්බවෙයි කියල හිතනව.
හරිත් කරපු අලුත්ම සින්දුව මොකද්ද?
ඒක ටිකක් වෙනස් සින්දුවක්.ඒකෙ නම ‘මගෙ ආලේ මා’ මේකෙ පද රචනය, තනු නිර්මාණය මගේ. මේ සින්දුවෙන් මට දෙන්න ඕන වුණ පණිවිඩය තමයි. තමන් තමන්ට ආදරේ කළොත් ජීවිතේට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කියන එක තමයි මම දෙන පණිවිඩය. සමාජයෙන් තමන්ට එන ගැරහුම්, අවලාද, නින්දා වගේම බාධක අමාරුවෙන් වුණත් මැඩගෙන ඉස්සරහට ගියොත් තමන් දිනන බව මේ ගීතයෙන් කියවෙනවා.
ඇයි මෙහෙම සින්දුවක් කරන්න හිතුවේ?
මම මේක කළේ United Nation Development Program එකට. එයාලා මට කියපු අදහස තමයි වාචික හිංසනය, සමාජ මාධ්‍ය අපයෝජනය පිටුදකින ගීතයක් නිර්මාණය කරන්න කියලා. වාචික හිංසනය පිටුදකින්න පුළුවන් එකම විදිහ තමයි අපි තමන් කෙරෙහි තියෙන විශ්වාසය වැඩි කරගන්න එක. වෛරී වචනවලින් වෛරය මැඩලන්න බෑ. මෛත්‍රියෙන් කොහොමද ඉස්සරහට යන්නෙ කියන එක තමයි මට මේ සමාජයට කියන්න ඕන වුණේ.
මේ සින්දුවෙන් නේද ඔයා ගීත රචකයෙක් බවට පත්වුණේ
ඔව්, සින්දු ලියන්න ප්රවිෂ්ටයක් ගත්තා කියලා කියන්න පුළුවන්. ඉදිරියට එන්න තියෙන නිර්මාණත් ගොඩක් ඒවා මමම ලියපුවා තමයි.
හරිත්ට සොෂල් මීඩියාවලින් හොඳ සහ නරක යන දෙකෙන්ම ප්‍රතිචාර හම්බුණා.ඒ හේතුව නිසාද මෙහෙම සින්දුවක් කරන්න හිතුවෙ?
ඒකත් ලොකු හේතුවක් වුණා. මේ ළඟදි මම ස්කින් කෙයා වීඩියෝ එකක් සොෂල් මීඩියා දැම්මා. ඒකෙනුත් මට ලැබුණ කමෙන්ට්ස්වලින් තේරුණා අදටත් ලංකාවෙ මිනිස්සු අවුරුදු තිහක් විතර සංස්කෘතිමය වශයෙන් පිටිපස්සෙ ඉන්නෙ කියල. ඒ සේරටම මුහුණ දෙන්න මට පුළුවන්කම ලැබුණේ මම මං කෙරෙහි තියාගෙන ඉන්න ආත්ම විශ්වාසය. මං දන්නවා මම වැරදි දෙයක් කරන්නෑ කියල.
සෝෂල් මීඩියා කමෙන්ට්ස් නිසා හිත් රිදවගත්ත කලාකරුවෙක් විදිහට අනෙක් අයට කියන්න තියෙන්නේ මොකක්ද?
මේක අපි තුළින්මයි පටන්ගන්න ඕනෙ. අනිත් අයගෙන් උදව් ඉල්ලන්න කලින් තමන් තමන් කෙරෙහි තියාගන්න ඕන ලොකු විශ්වාසයක්. ඒක කියන්න ලේසියි ඒත් කරන්න අමාරුයි. නමුත් එහෙම කරන්න ඕනෙ. තමන් වීඩියෝ එකක් හෝ පින්තූරයක් සෝෂල් මීඩියා දැම්මනම් ඒකෙ වැරදි දෙයක් නැත්නම් මිනිස්සු කියන කතා ගණන් ගන්න එපා. ඒ මිනිස්සු කියන කතා තමන්ගෙ ප්‍රශ්නයක් නෙවේ. එහෙම දුක දැනුනොත් තමන්ගෙ ළඟම කෙනෙක් එක්ක ඒ දේ බෙදාගන්න. තමන්ට තියෙන ප්‍රශ්න හැමතිස්සෙම අනිත් අය එක්ක බෙදාගත්තාම දුක අඩුයි.
විශ්වාසවන්ත නැති කෙනෙක්ට කිව්වොත් ඊට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන් නේද?
ඔව්, අනිවාර්යයෙන්. විශ්වාසවන්ත අය හොයාගන්න හරි අමාරුයි. නමුත් එහෙම කෙනෙක් හොයාගන්නත් තමන් උත්සාහ කරන්න ඕනෙ. එක විශ්වාසවන්ත කෙනෙක් හිටියත් ඇති. අපි හිතමුකො කවුරුත් හිටියෙ නෑ කියල. එතකොට තමන්ට තමන්ගෙ හොඳම මිතුරා වෙන්න වෙනවා. ඒක තමයි එකම ඔප්ෂන් එක. ඒක කරන්න හරි අමාරුයි. අපි අපිටම වෛරකරගන්නවා. අපි එක්කම තරහා වෙනවා. නමුත් තමන් හිතහදාගන්න ඕනෙ ඒ වෙනුවෙන්.
මම බෞද්ධයෙක්. නමුත් ඉස්සර මම ලොකුවට ආගම අදහපු කෙනෙක් නෙවෙයි. මට මෙහෙම ප්‍රශ්න එනකොට මම මගේ ආගම තුළිනුත් ඒ ගැන හිතුවා. බුදු හාමුදුරුවෝ මුළු ලෝකෙට උතුම් දෙයක් කරන්න ආවත් උන්වහන්සේටත් බාධා කරපු අය හිටියනම් බුදුහාමුදුරුවන්ගේ පයට පෑගන දූවිල්ලක් තරම්වත් වටින්නෙ නැති මටත් එහෙම බාධක එන එක පුදුමයක් නෙවෙයි කියල හිතුවා.
දරුවන් සෝෂල් මීඩියා නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනකොට ඒ ගැන වැඩි අවබෝධයක් නැති අම්මෙක්, තාත්තෙක් ගෙන් ලැබෙන්න ඕන සහය කොහොමද?
මගේ අම්මටයි, තාත්තතටයි ගොඩක්හිත් රිදීම් ඇති වුණා. මට ආපු සෝෂල් මීඩියා කමෙන්ට් නිසා. නමුත් මම අම්මටයි තාත්තටයි කිව්වේ ජීවිතේ මම ජයග්‍රහණය කරපු දේවල්වලට සාපේක්ෂව මෙහෙම මඩ ගහන මිනිස්සු තමන්ගෙ ජීවිතේට කිසිම දෙයක් කරගෙන නෑ කියල. එයාල තමන්ගෙ වෙලාව පාවිච්චි කරන්නෙ අනිත් මිනිස්සුන්ව කොහොමහරි පහළට දාන්න කියල. ඒයාලම මම ඊට වඩා ගොඩක් වෙනස් තැනක ඉන්න බව පිළිගත්තා. හැමවෙලාවෙම මට ශක්තියක් වුණා.
ඔය වගේ දෙයක් වුණාම සමහර තැන්වල අපි වැටෙනවා. ඒ වගේ වෙලාවට පවුලේ සහයෝගය වැදගත් නේද?
අනිවාර්යයෙන්ම ඔව්, කවදාවත් කිසිම කෙනෙක් තමන්ගෙ අම්මා තාත්තා වගේ තමන්ට සලකන්නෙ නෑ. ඒකතමයි ඇත්ත කතාව. එහෙම නැති අයත් ඇති. නමුත් මම වාසනාවන්තයි. මගේ අම්මා තාත්තගෙ වගේ ආදරයක් මට ආයෙ ජීවිතේට ලැබෙන්නෙ නෑ. ඒ ආදරේට කෘතගුණ වුණොත් තවත් ආදරේ වැඩිපුර ලැබෙනවා. මම විවිධ දේවල්වලින් ඒ දෙන්නට පෙන්නනවා මම එයාලට ගොඩක් ආදරේ බව. ඒ සපෝට් සිස්ටම් එක කොහොමහරි තියාගන්න ඕනෙ.
හරිත්ට කොහොමද ජීවිතේ ගැන හිතන්නෙ?
මගේ ජීවිතේ මට හිතෙනවා මම හොඳ පාරක් දැනටමත් හදාගෙන යනවා. මගේ ආසාව ඒ ලස්සන පාරෙ ලස්සන ගමනක් යන්න. මේ දවස්වල මම උමාරා ඉන්ස්ටිටියුට් එකේ වෝකල් කෝචින් කරනවා. මම හිතනවා මම හරිම වාසනාවන්ත ළමයෙක් කියල. මොකද මම ආස කරන දේවල් මට ලැබිලා තියෙනවා. සංගීත ජීවිතේ, වෛද්‍ය වෘත්තිය මම ආසම දෙකක්. ඉතින් මේ දෙකෙන් ඉස්සරහට යන්න ලැබුණ එක ගැන මට හරි සතුටුයි.
හරින්දී ලියනගේ