මේ රුව නෙත ගැටෙන කිසිවෙකුට ඇය කවුදැයි හඳුන්වාදීමට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නොවන්නේ ගොළු හදවත මෙන්ම අඹ යහළුවෝ කලා නිර්මාණ නිසාමය.ඇය ගැන හරියටම ලියනවා නම් අද නවලිය පත්‍රයේ පිටු ඒ සඳහා ප්‍රමාණවත් නොවනු ඇත. ඒ තරමටම ඇගේ රංගන දිවිය හා බැඳුණු අප නොදන්නා රස මුසුතැන් අනන්තය,අප්‍රමාණය.ඒවා එකින් එක පිළිවෙළට ගළපා ලියන්නේ නම් එය ස්ථිර වශයෙන්ම ඇය සමඟ කතාබහ කර ලියන ලිපියක් නොව නවකතාවක් වනු ඇත.
එහෙත් ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සංකේතවත් කරමින් නවලිය කවරය සරසන්නට කළ ආරාධනය නිහතමානීව පිළිගෙන පැමිණි මේ සුවිශේෂී රංගවේදිනිය පිළිබඳව යමක් ලිවීම අප සතු යුතුකමක් වූයෙන් කිසිදු රංගන පුහුණු පාසලකින් හැදෑරීම් නොකර එදා ගම්පෙරළියේ ලැයිසාට පණදෙමින් සිනමාව හරහා කලා ලොවට පය තැබූ අනුලා කරුණාතිලක නම් වූ ඇගේ කලා දිවියේ සුමිහිරි මතකයන් මෙසේ සනිටුහන් කරමු.
පුංචි කාලෙ මම…
පාසල් යන කාලෙ මම හරිම ලැජ්ජාශීලී චරිතයක්. රඟපානවා තියා හිතවත්ම කෙනෙකුට ඇරෙන්න මූණ දීලා කථා කරන පුරුද්දක් මට තිබුණෙ නෑ. කලාව තුළ රුක්මණී දේවිගෙ රඟපැම්වලට හිතේ ලොකු ආසාවක් තිබුණා.
දවස රූපසුන්දරිය…
මගේ අක්කා ටිකක් දඟකාරයි. එයා තමයි දවස රූපසුන්දරිය තරගය සඳහා මගේ නමින් අයදුම්පතක් යොමු කරල තිබුණෙ. ඒ තරගයේ අවසන් තරගකාරිනියන් පස්දෙනා අතරට මාවත් තේරුණා.
රංගනයට ආරාධනා…
දවස රූපසුන්දරී තරගෙදී මාව දැකල ලෙස්ටර් මහත්මයගෙ ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතයට මගේ රූපෙ ගැළපෙනවා කියල සුමිත්‍රා පීරිස් මහත්මියත් තිස්ස අබේසේකර මහත්මයත් තීරණය කරල තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. ඒත් මාව හරියටම ගැළපුනේ ලයිසාගේ චරිතයට. ඒ වෙද්දි මට අවුරුදු 16 යි.
ගොළු හදවත හැරවුම් ලක්‍ෂ්‍යයක්…
ඉස්කෝලෙ යන කාලෙ මම හරිම ආසාවෙන් කියවපු රසවිඳපු නවකතාවක් තමයි ගොළු හදවත. එය චිත්‍රපටයක් වෙලා එහි දම්මිගේ චරිතයට පණ පොවන්න මට අවස්ථාව ලැබෙයි කියල නම් හීනෙකින්වත් හිතුවේ නෑ. ඒක බොහෝ දෙනාගේ අත්දැකීමක් නිසාම තරුණ පරම්පරාවේ ආකර්ෂණයට ලක්වුණා.
ලෙස්ටර් මහත්මයත් කිව්වා “දම්මි” ලංකාවේ කාටවත් කවදාවත් අමත කරන්න බැරි චරිතයක් වෙනව කියල. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අදටත් දම්මිගෙ චරිතයට ඉහළ ප්‍රතිචාර හිමිවෙනවා. ඒ චරිතය මට ආභරණයක්. බොහෝ දෙනෙක් කිව්වා ගොළු හදවතේ රඟපාල සිනමාවට සමුදුන්නත් කමක් නෑ කියල. ඒ තරමටම ඒ චරිතය ආදරණීයයි.
ජීවන අත්වැල හමුවුණා…
දවස රූපසුන්දරී තරගයට සහභාගිවීමත් සමඟ තමයි මට දයා රණවීර හමුවෙන්නෙ. ඔහු ඉතා දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. මගේ ඡායාරූප ගත්තෙත් ඔහු. ඒ දැන හැඳුනුම්කම් මත ගොඩනැඟුණු පෙම් සබඳතාවයකින් 1968 දී අපි විවාහ වුණා. ඔහු මට හොඳ ස්වාමිපුරුෂයෙක් වගේම මගේ පුතාල දෙන්නට ආදරණීය තාත්ත කෙනෙක් වුණා.
ඒකාකාරී චරිත රටාවක්…
ප්‍රේක්ෂකයා එහෙම දකිනව ඇති. තරුණ කාලෙදි වුණත් සිංදු කිය කිය නළු පෙම්වතුන් එක්ක මල්ගස් වටේ දුවන චරිත මම ප්‍රිය කළේ නැහැ. රංගනය තුළ එවැනි දේත් තිබිය යුතුයි. ඒත් මගේ හිතේ වැඩි කැමැත්තක් තිබුණෙ වාණිජ චිත්‍රපටවලට නොවෙයි.
සිනමා සක්විතිගේ ඇසුර…
මට ඔහුව මුලින්ම හමුවුණේ ලෙස්ටර් මහත්මයගෙ ගෙදරදි ගම්පෙරළිය චිත්‍රපටය සඳහා පැවැත්වූ තිර පරීක්‍ෂණයෙදි. එදා මට ඔහු හා දෙබස් කියන්නත් අවස්ථාව උදාවුණා. හැම අතින්ම අවවාද අනුශාසනා ලබාදෙද්දී මට දැනුනෙ රංගන පාසලකට ගියා වගේ කියල. මම ඔහුට ගොඩක් ගෞරව කළා.
ඒත් දවසක් එතුමා ඇහුවා කැමතිම නළුව කවුද කියල. මම ගත් කටටම කිව්වා ඔයානම් නෙමෙයි කියල. එහෙම කිව්වෙ විහිළුවට. එතුමා බොහොම අහිංසක විදියට හිනාවුණා. ඒත් කාලයක් යද්දී මටම තේරුණා ඔහු බොහොම හොඳ නිහතමානී කෙනෙක් කියල. පස්සෙ මට හිතුණා විහිළුවටවත් මම එහෙම කිව්වෙ අපරාදෙ කියල.
රසික ආදරය…
එදා වගේම අදටත් අඩුවක් නැතුව ලැබෙනවා. ඒත් අපි විවාහ වෙලා දවස් කිහිපයකට පස්සෙ දයාලගෙ ගෙදර ගිහින් මාතර ෆිල්ම් හෝල් එකකට ගියා මම රඟපාපු පුංචි බබා චිත්‍රපටය බලන්න. දර්ශන වාරය අවසන් වෙලා මම උඩුමහලෙ ඉඳලා පල්ලෙහාට බහිද්දි මුළු හෝල් එකේම හිටපු සෙනඟ මාව දැකගන්න වටවෙලා හිටියා. හරිම ආදරයෙන් ඒ හැමෝම වගේ හිනාවෙලා කතාකළා. ඒ දක්වපු ආදරය නම් ජීවත්වෙනතුරු අමතක වෙන්නෙ නෑ.
ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට…
සුදත් දේවප්‍රියගෙ අඹ යහළුවෝ ටෙලි සිත්තම හරහා තමයි මම පුංචි තිරයට පය තියන්නෙ. නෙළුම් කුමාරි එහෙමත් නැත්නම් සුදු අප්පුගෙ අම්මා කියන චරිතය බොහෝ අය ආදර්ශයට ගත්ත ගෞරවණීය චරිතයක් වුණා කියල මම හිතනවා.
වැළ නොකැඩී ලියුම්…
ඒ කාලෙ අදවගේ කෙනෙක් එක්ක කතාබහ කරලා දුක සැප හොයල බලන්න දුරකථන තිබුණෙ නැහැනෙ. ඒ දේවල් සිද්ධ වුණේ ලිපි මාර්ගයෙන්. අපේ ගෙදරට ආදරණීය රසික රසිකාවියන්ගෙන් ලියුම් ලැබුණෙ මලු ගණන්. පුළුවන් හැම වෙලාවෙම මම ඒව කියවල උත්තර ලිව්වා. මගේ පෙම්වතා (දයා) මගේ පිංතූර ගොඩක් ප්‍රින්ට් කරල ගෙනත් දෙනවා. මම ඒ හැම පිංතූරයකම මගේ අත්සන ගහල රසිකයන්ට යවනවා. මට බැරිවුණ වෙලාවට සුමනා දමයන්ති කියන මගේ යෙහෙළිය මම වෙනුවෙන් රසිකයන්ට ලිපි යැව්වා.
ඇගයීම් සම්මාන…
බොහොමයක් හිමිකරගන්නට තරම් වාසනාවක් වුණා. ඒ හැම එකක්ම ලැබුණෙ මගේ දක්ෂතාවලටනෙ කියල මතක් වෙද්දි හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් සතුටක්. ඔය අතරෙ 1969 වසරේ ප්‍රථම වතාවට අපේ රටේ සම්මාන උළෙලකදී ගොළු හදවත චිත්‍රපටයේ දම්මිගේ චරිතය වෙනුවෙන් ජනප්‍රියම සහ හොඳම නිළිය කියන සම්මාන ද්විත්වයම එකම වේදිකාවක් මතදී හිමිකර ගැනීමට හැකිවීම භාග්‍යයක්.
පැමිණි මඟට ආපසු හැරුණොත්…
මට මම ගැනම පුදුමයි. මේ ලැබිල තියෙන කිසිම දෙයක් මම හොයාගෙන ගියේ නෑ. බොහොම ආදරණීය වටිනා ඒ දේවල් මාව හොයාගෙන ආවා. මම හිතන්නෙ ඒ පෙර පිං බලය. රංගනය පටන්ගත්තෙ ලංකාවෙ විශිෂ්ටතම අධ්‍යක්‍ෂවරයා යටතේ. පුංචි කාලෙ ඉඳල ආසකරපු රුක්මණි දේවිය සමඟ චිත්‍රපට දෙකක රඟපාන්න අවස්ථාව උදාවුණා. ගාමිණී ෆොන්සේකා, දයානන්ද ගුණවර්ධන ඇතුළු ක්‍ෂේත්‍රයේ දැවන්තයින් රාශියක් සමඟ එකතුවෙලා කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා. ඒ සුන්දර මතකයන් හැමදාමත් මාව සතුටින් තියනවා.
අද දවස…
දරු මුණුබුරුන්ගේ ආදරය සෙනෙහස මැද බොහොම නිස්කලංකව ගෙවිල යනවා. ලොකු පුතා පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. නොවරදවාම අවුරුද්දකට වතාවක් මාව බලන්න එනවා. නිතර කතාබහ කරනවා. ළඟ ඉන්නවා වගේ තමයි. මම පොඩි පුතා ලේලිය සහ මුණුබුරා සමඟ මාතර ගෙදර තමයි ජීවත්වෙන්නෙ. විටින් විට නොයෙක් නිර්මාණවලට ආරාධනා ලැබුණත් ඉස්සර වගේ කාර්යබහුල වෙලා ඒවායේ යෙදෙන්න අපහසුයි. විශේෂම දේ මම කවදාවත් තවත් කෙනෙකුට කරදරයක් වෙලා වැඩකරන කෙනෙක් නෙවෙයි.
ආරාධනා ලැබෙන උත්සවයකට වුණත් මම සහභාගි වෙන්නෙ මගේ පුතාට, ලේලිට කරදරයක් නොවෙන විදියට ඔවුන්ගේ වැඩකටයුතුවලට අවහිරයක් නොවෙනවා නම් විතරයි. කලාවට ආදරය කරපු කලාවේ නියැළුණු කලාව නිසා ඇගයීමට ලක්වුණ කෙනෙක් විදියට මට ඒ දේවල් වලින් දිවි ඇති තුරා අත්මිදෙන්න බැහැ. බොහෝ සුන්දර මතකයන්ගෙන් හැම වෙලාවෙම හිත පෝසත් නිසා මම කලාවෙන් දුරස්වෙලා කියල මට කිසිම වෙලාවක හිතෙන්නෙ නෑ. මට කවදාවත් කාලාවෙන් අත්මිදෙන්නත් බෑ.
ධම්මික හේවාවසම්