එදා ජිප්සීස් සංගීත කණ්ඩායම ගැයූ පිටි කොටපන් නෝනේ ගීතයට අනුව රංගනයක් ඉදිරිපත් කරමින් ලොවක් වසඟ කරන්නට සමත් වූ ඇය පසු කලෙක සිංහල සිනමාව නැටුමෙන් හැඩකළ බෝනික්කිය ලෙසද කලා ක්ෂේත්රය තුළ නම රඳවන්නේය. නිලන්ති ඩයස් නම් වූ ඕ ආදරණීය දියණිය ශෙනායා ද කැටුව නවලිය සෙනෙහසේ නවාතැනට ගොඩවුණ…
කොහොමද ජීවිතේ, මොනවද අලුත් තොරතුරු ?
ජිවිතේ ඉතින් බොහොම සුන්දරව ගෙවිල යනවා. අලුත් තොරතුරුවලට කියල තියෙන්නෙ සීසන් එක ලඟ නිසා ඩාන්සින් ෂෝස්වලට ලක ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නෙ. රිදී රැයක් ඇතුළු කොන්සර්ට් කිපයකටම රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබිල තියෙන නිසා ඒවායේ පුහුණුවීම් කටයුතුත් ඒක තමයි වැඩිපුර කාලය ගත වෙන්නෙ. ඒ නිසා ටිකක් කාර්යයබහුලයි.
කලාව තුළ ඉහළ ඉල්ලුමක් තිබුණත් ඔබ සාමාන්‍යයෙන් කාර්යබහුල වීමට අකමැති ශිල්පිනියක්
ඒ මගේ හැටි. හැම ඩාන්සින් ෂෝ එකේම චිත්‍රපටයෙම එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයේම පෙනී ඉන්න ඕන කියල මම කවදාවත් හිතන්නෙ නෑ. නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවෙන අතරෙ නිර්මාණයට දායක වෙලා ඒ සතුට විඳිමින් ජීවත් වෙන්න තමයි මම වැඩියෙන් කැමති. නිර්මාණයකට ආරාධනා ලැබුණම සාමාන්‍ය ජීවිතයේ මගේ වැඩ කටයුතුවලට තියෙන කාලය දුවගෙ අවශ්‍යතා ගැන හිතල කොළඹ අවට තියෙන උදේ ගිහින් හවස ගෙදර එන්න පුළුවන් නිර්මාණයකට දායක වෙලා නිලන්ති ඩයස් තවමත් ආදරණීය රසිකයො එක්ක ඉන්නවා කියල දැනෙන විදියට වැඩ කරන්න තිබුණොත් හොඳටම ඇති.

ඔය කියන්නෙ ඔබට යම් යම් සීමාවන් පැනවිලා කියලද ?
ඔව් සීමාවන් තියෙනවා. හැබැයි ඒ වෙන කවුරුත් පනවපු ඒවා නෙවෙයි. මගේ නර්තන වගේම රංගන කටයුතුවලට මා විසින්ම පනවාගත්තු නීති රීති.
පිටි කොටපන් නෝනේ ඔබව මෙච්චර දුරක් අරගෙන එයි කියල එදා හිතුණද ?
නිකමටවත් එහෙම හිතුණෙ නෑ. ඩාන්සින්වලට තියෙන ආසාව නිසාම ජිප්සීස්ලගෙ නර්තන කණ්ඩායමට ජොයින් වුණා. ඒත් එක්කම සිනමාවට පය තියන්නත් ආරාධනාවක් ලැබුණා. හැබැයි එකපාර ඒ කටයුතු දෙකටම සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණේ නෑ. රංගනයද නර්තනයද කියල දෙකෙන් එකක් තෝරගන්න තෝරා ගන්න සිද්ධ වුණා. එදා මම නර්තනය තෝරාගත්තෙ එක පයින්.
ඒ තීරණය නිවැරදියි කියල අද හිතෙනවද ?
අනිවාර්යෙන්ම. ඒ තෝරා ගැනීම ඉතාමත් නිවැරදියි. මොකද මට කොහොමටත් කලා ක්ෂේත්රයට එන්න අවස්ථාව උදා වුණා. සිනමාවට පය තිබ්බෙ ප්‍රධාන චරිතයක් හරහා.
ඒ අතීතය දෙසට හැරුණොත්…
මතක් වෙනකොටත් හිත සතුටින් පිරෙනවා. මම කොහොමත් විහිළු කරල හිනා වෙලා සතුටින් ඉන්න කැමති කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වැනි ශිල්පීන්ගේ චිත්‍රපට නැරඹුවේ උඩ පැන පැන හිනාවෙමින්. කවදාවත්ම හිතුවෙ නෑ ගොඩක් ආදරේ කරපු ඒ ශිල්පීන් එක්ක රඟපාන්න අවස්ථාව උදාවෙයි කියල. ලාල් ප්‍රියදේව මහත්මයා ජොලි හලෝ ෆිල්ම් එකට මාව තෝරගත්තෙ බන්දු සමරසිංහ මහත්මයත් එක්ක රඟපාන්න.
ප්‍රවීණයෙක් එක්ක පළමු රංගනය ප්‍රධාන චරිතයක් වීම නිසා මම ලොකු බයකින් හිටියෙ චරිතය මෙහෙයවන්න පුළුවන් වෙයිද කියල. ඒ අවස්ථාවෙ ලාල් ප්‍රියදේව මහත්මයා කිව්වා ඔයාට වේදිකාවෙ මේ තරම් දක්ෂ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් රඟපාන්න බැරි වෙන්නෙ නැහැ කියල. ඒ දිරිමත් කිරීමත් එක්කම මගේ අම්මිත් මාව උනන්දු කළා ලැබුණෙ හොඳ අවස්ථාවක් ඒක ප්‍රයෝජනයට ගන්න කියලා. ඒ විදියට තමයි රංගන ක්ෂේත්රය ජය ගත්තෙ.

ටෙනිසන් කුරේ මහතා සමඟත් රඟපාන්න ඔබ වාසනාවන්ත වුණා ..
ජොලි හලෝ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් එක්කම රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපටයට ආරාධනා ලැබුණා. එහි මට බන්දු ටෙනිසන් කියන ආදරණීය ශිල්පීන් දෙදෙනා සමගම රඟපාන්න අවස්ථාව උදා වුණා.
නර්තන කණ්ඩායමක් හදාගෙන ඉදිරියට යන අතරෙ ඉදිරි පරපුරට නර්තනය කියාදෙන්න අදහසක් නැද්ද ?
ඇත්තටම මම ඩාන්සින් ගෘප් එකක් හදාගෙන සංදර්ශනවලටත් සහභාගී වුණා. පහුගිය කොරෝනා කාලයේ ඒ දේවල් නතර වුණා. දරුවන්ට නර්තනය උගන්වන්න කියල ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙන්නෙ අම්මලාගෙන්. මමත් ඒකට ආසයි ඒත් පන්තියක් ආරම්භ කළොත් ඒක දිනේට වෙලාවට වගකීමකින් කරගෙන යන්න ඕන. මට තියෙන අනෙක් කටයුතුත් එක්ක තාම ඒ සඳහා කාලය වෙන්කර ගැන්වීමේ ප්රශ්නය තමයි තියෙන්නෙ. ඉදිරි කාලයේ දී ඒ සඳහා බොහෝ දුරට යොමු වේවි.
සැමියාගෙන් කලා කටයුතුවලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද ?
මාව විශ්වාස කරල මගේ හැකියාවන් අගේ කරල ඒ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන එක තමයි එයා මට දෙන ලොකුම සහයෝගය. එතනින් එහාට මට එයාගෙන් ලැබිය යුතු සහයෝගයක් ඇත්තටම නෑ.

ඔහුව ඔබේ ඩාන්සින් පාට්නර් කරගන්න අවස්ථාවක් උදාවෙලාම නෑ නේද ?
එයා මොන උත්සවේට සහභාගි වුණත් අනිත් හැමෝගෙම ගායනය නර්තනය රසවිඳල එන්ජෝයි කරන්න තමයි කැමති. මීඩියාවලට එන්න වුණත් කිසිම කැමැත්තක් නෑ. එයා මාත් එක්ක නටන්න එනව නම් මම ආසයි. ප්‍රශ්නෙකට තියෙන්නෙ මගේ පදේට එයාව නටවන්න බැරි එක තමයි.
එකම දියණිය ශෙනායා අම්මගෙ අඩි පාරෙ එන බව පේනවද ?
මට පේන්නෙ එයත් තාත්ත වගේ ඩාන්ස් කරන්න කැමැත්තක් නෑ. ගොඩක් ආසාවෙන් ක්‍රීඩා කටයුතුවල නියැළෙනවා. ඒ වගේම ස්විමින්වලට දක්ෂයි. හැබැයි ඉතින් මගේ නර්තනය දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
සැමියා ව්‍යාපාරිකයෙක්. ඔබ කලා ශිල්පිනියක්. දෙදෙනාගේ කාර්ය බහුලත්වය සමඟ එදිනෙදා කටයුතු සමබර කරගන්නෙ කොහොමද ?
මහත්තයා ව්‍යාපාරිකයෙක් වුණාට විවේකයක් ලැබුන ගමන් ගෙදර වැඩ කටයුතු ගැන හොයල බලල ඔහුට කරන්න පුළුවන් හැමදේම කරනවා. මම මොන නිර්මාණයට දායක වෙන්නෙත් දුවගෙ, මහත්තයගෙ වගේම ගෙදර වැඩවලට අසාධාරණයක් නොවෙන විදියට. ප්‍රධානම දේ තමයි අපි දෙන්නම හිතන්නෙ මේ හැමදේම අපේ ගෙදර වැඩ කියල. ඒ තුළ හැමදේම ඉබේම බැලන්ස් වෙනවා.
නිලන්තිත් එක්ක අද නවලිය කවරය සරසන්න ආපු ඇගේ එකම දියණිය ශෙනායාවත් අපි මේ කතාබහට එකතු කරගත්තා
දුව ඉගෙන ගන්නෙ මොන ඉස්කෝලෙද කීවෙනි පන්තියේ ද ?
සෙන්බ්රිජට් කොන්වන්ට් එකේ ග්‍රේඩ් ෆයිව්වල තමයි මම ඉන්නෙ.
අම්මි වගේ නටන්න දැන් ඩාන්සින් ඉගෙන ගන්නවද?
ඩාන්සින් නම් මම වැඩිය කරන්නෙ නෑ. ස්පෝර්ට් කරන්න තමයි වැඩියෙන්ම ආස. බැඩ්මින්ටන් ගහනවා ස්විමින් කරනවා. ඉස්කෝලෙ බැඩ්මින්ටන් ටීම් එකෙත් මම ඉන්නවා.
ලොකු වුණාම ක්‍රිඩිකාවක් වෙන්නද හිතාගෙන ඉන්නේ ?
නෑ මම ආකිටෙක්චර් කෙනෙක් වෙනවා.
ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නෙ ?
හෝම්වර්ක් කරල ඉවර වෙලා චිත්‍ර අඳිනවා.
අම්මිගෙ වැඩවලට උදව් කරන්නේ නැද්ද ?
එයා උයන කොට මමත් කිචන් එකට ගිහින් එලවලු කපල දෙනවා. මම ආසයි උයන්න ඉගෙන ගන්න. ඒත් අම්මි කියනවා ඔයා තාම පොඩියි කියලා. හැබැයි ටික ටික කියල දෙනවා.

ඔයාගෙ අම්ම නිලන්ති ඩයස් කියලා යාලුවො දන්නවද ?
ඔව්. මගේ මුළු පන්තියම දන්නවා. අම්මි ලස්සනයි කියනවා. අම්මිගේ ඩාන්සින් ලස්සනයි කියනවා. එයාව ටීවී එකේ දකිනවා කියලත් කියනවා.
ඒ වෙලාවට මොකද හිතෙන්නෙ ?
මගේ යාලුවො අම්මිට ආදරේ නිසා මට සතුටුයි.
එතකොට දුව තාත්තිට උදව් කරන්නෙ නැද්ද ?
එයත් එක්ක ඉන්නකොට මම වාහනේ හෝදන්න උදව් කරනවා. මිදුල අතුගාන කොටත් මම ගොඩක් ආසාවෙන් තමයි තාත්තිට උදව් කරන්නෙ.
උදව් අරගෙන ඒ දෙන්න මොකද කියන්නෙ ?
අම්මියි තාත්තියි මට තෑන්ක්ස් කරනව. අපේ හොඳ දුව හොඳට ඉගෙන ගෙන හොඳ ළමයෙක් වෙන්න කියල තමයි නිතරම කියන්නෙ. එයාලා මට ගොඩක් ආදරෙයි. මමත් අම්මිටයි තාත්තිටයි ගොඩක් ආදරෙයි අපි සතුටින් ඉන්නවා.
ධම්මික හේවාවසම්