කලා ලෝකෙ ඉන්න කවුරුහරිම කඩවසම් නළුවෙක් අපේ තරුණියන්ගේ ක්‍රෂ් එකක් වෙලා ඇතිනෙ. ඒ වගේ ක්ෂේත්රයට පය තියපු කාලෙම ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ගේ සිහින කුමාරයෙක් වෙච්ච කෙනෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නෙ. හැබැයි එදා ඒ හිටපු පෙම්වතා අද වගකීම් ගොන්නක් දරන සැමියෙක් වගේම දරු දෙදෙනෙකුගේ පියෙක්. ඔහුත් එරංදිත් විවාහ දිවියට පිවිසිලා හෙටට හරියටම අවුරුදු 10 ක් සපිරෙද්දි අපි හිතුවා මේ පාර නවලිය කවරය සරසන්න වගේම සෙනෙහසක නවාතැනට සෙනෙහස අරගෙන එන්න මේ දෙපලට ආරාධනා කරන්න. අපි මේ කතාව මුලින් විශ්වගෙන්ම පටන්ගත්තා…
විශ්ව කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රූගතකිරීම් සිදුවෙනවා. ඒ වගේම විශ්ව ලංකාගේ අලුත්ම නාට්‍යය වන “සීසර්ලා” හි වැඩකටයුතුත් කරගෙන යනවා. ඊට අමතරව අජිත් ධර්මසිරි මහත්මයගෙ “වර්ණ” චිත්‍රපටිය එළියට එන්න තියෙනවා.
කාලයක් නිර්මාණවලින් ඈත් වෙලා හිටියද?
ඇත්තටම නිර්මාණවලින් ඈත් වෙලා හිටියා නෙවේ. වැඩ කරපු නිර්මාණ එළියට එන්න පොඩි ප්‍රමාදයක් වුණා. නමුත් ඒ කාලෙත් වැඩ නොකර හිටියෙ නෑ.
දරුවො දෙන්නා ගැන සඳහනක් කළොත්…
දුව කවිනද්යා ගංගාධරී කොඩිකාර. එයාට වයස අවුරුදු අටයි. ඉගෙනගන්නෙ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ. පුතා ඔනෙත් ධනල් කොඩිකාර. පුතාට දැන් අවුරුදු හතයි. එයා ඉගෙනගන්නෙ ලයිසියම් එකේ.
ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ආපු කාලෙම විවාහයත් සිද්ධ වුණ නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුවුණාද?
මෙහෙමයි. ඇත්තටම එහෙම එකක් වුණේ නෑ. එහෙම දෙයක් මට දැනුණෙත් නෑ. අදටත් මට ගොඩක් ආදරේ කරන ප්රේක්ෂකයො පිරිසක් ඉන්නවා. විවාහයත් එක්ක ඒකෙ අඩුවක් වුණා කියල මම හිතන්නෙ නෑ. අනිත් එක මම විවාහ වුණේ විවාහ වියයුතු කාලෙ.
කොහොමද ඇයගේ මුණගැසීම…
එරංදි හිටියේ ඕස්ට්‍රේලියාවේ. මේ වෙද්දි අපි අතර නැති සරත් චන්ද්‍රසිරි අපේ ප්‍රවීණ රංගන ශිල්පියා ටුවර් එකකට ඕස්ට්‍රේලියාවෙ ගිය වෙලාවක තමයි එරංදි මගේ නම්බර් එක සරත් අයියගෙන් ඉල්ලගෙන තිබුණෙ. පබළු ටෙලිනාට්‍යයේ ඉඳන්ම ඇය මගේ හොඳ ෆෑන් කෙනෙක්. ඉතින් ඇය ලංකාවට ආපු කාලෙක මට කතා කළා. අපි මුණගැහුණා. ඉතින් ඊටපස්සෙ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැගුණා.
මේ සමරන්නෙ කීවෙනි විවාහ සංවත්සරයද?
දැන් අපි විවාහ වෙලා අවුරුදු දහයක්. මේක මම හදවතින්ම සමරන සංවත්සරයක්. එච්චර කාලයක් ගියාද කියල තවමත් හිතාගන්න අමාරුයි.
මේ ආපු ගමන දිහා ආපහු හැරිලා බලද්දි විශ්වට මොකද හිතෙන්නෙ?
ඇත්තටම ලොකු අත්දැකීම් ගොඩක් එක්ක මේ අවුරුදු දහය අපි දෙන්නා ආවේ. පැහැදිලිවම ගැටීම්, වැටීම්, නැගිටීම් අතර ආපු ගමනක්. මං හිතන්නෙ විවාහ ජීවිතයේ තරම් ක්ෂේත්රයේවත් මම ගැටීම්වලට මුහුණ දීලා නැතුව ඇති. මගේ පවුල ඇතුළෙ මොන ප්‍රශ්න ආවත් මගේ තාත්තා කිව්වෙ ජීවිතේ අරන් යන්න හරි අමාරුයි. නමුත් කොහොමහරි ඒක ඉස්සරහට අරගෙන යන්න ඕනෙ. කසාද බැන්දෙ දෙන්නට දෙන්නා හැමදේම දැනගෙන නිසා මොන ප්‍රශ්න ආවත් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න කියලයි. ඉතින් ඒ අවවාද නිසාම තමයි එරංදිත් මමත් කොච්චර මතගැටුම් ඇති වුණත් මෙච්චර කාලයක් අවබෝධයෙන් මේ ගමන ආවේ.
නිදහස් වෙලාව කොහොමද ගෙවෙන්නෙ?
ඇත්තටම මට නිදහසක් ලැබෙන්නෙනම් හරිම අඩුවෙන්. නමුත් නිවාඩුවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ගතකරන්නෙ දරුවො දෙන්නා සහ බිරිඳ එක්ක. දරුවො දෙන්නා බලන් ඉන්නෙ මම එයාලා එක්ක සෙල්ලම් කරන්න එනකල්. මගේ ගම නුවර. ඉතින් මාසෙට දවස් දෙක තුනක් වගේ තමයි කොළඹ එවෙන්නෙ. නමුත් මේ දවස්වලනම් වැඩිපුර කොළඹ රැඳෙනවා සීසර්ලා නාට්‍යයේ රූගතකිරීම් නිසා.
බිරිඳගෙන් වැඩවලට කොහොම සහයෝගයක්ද ලැබෙන්නෙ?
හොඳ සහයෝගයක් ලැබෙනවා. මුලින් ඇයගේ තේරුම්ගැනීමේ පොඩි ගැටලුවක් තිබුණා. නමුත් පසුකාලීනව ඒක හරිගියා. මම නිලියක් එක්ක රඟපානකොට ඇයට හරි තරහයි, දුකයි. ඒක ඕනම බිරිඳකට දැනෙන දෙයක්. නමුත් මේක මගේ වෘත්තිය නිසා ඇය ඒක තේරුම්ගත්තා. මම වුණත් හැමදේම එරංදිට කියනවා. ෂූටිං ඉවරවෙලා කොහේ ගියත් කියල තමයි යන්නෙ.
ඔබ ඔබේ පළමු රංගනයෙන්ම අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් නළුවෙක්. ආපහු ‘හසරැල්’ ගැන මතකාවර්ජනයක් කළොත්…
ඇත්තම කියනවනම් රංගන ශිල්පියෙකුගේ ජීවිතයේ එහෙම අවස්ථා ලැබෙන්නෙ හරි කලාතුරකින්. පුදුමාකාර විදිහට මම සන්තෝස වෙනවා ඒ ගැන. මගේ ආරම්භක ටෙලිනාට්‍යය වුණ පබළු තුළින්ම ජනප්‍රසාදයට පත්වුණ එකේ සීමාවක් නෑ. මම ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්නෙ මාව චරිතය වෙනුවෙන් තෝරගත්ත එහි සහය අධ්යක්ෂ කපිල අයියට සහ අධ්යක්ෂ සාන්ත සොයිසා මහත්මයට. ඒ වගේම මට මෙච්චර දුර ගමනක් එන්න මගේ ගුරුවරයා වුණ මහේන්ද්‍ර පෙරේරා මහත්මයත් ලොකු සහයෝගයක් දුන්නා.
ඊටපස්සෙ විකාශය වුණ අමා, උතුම් පැතුම්, කෝරලේ මහත්තයා, චායා, රන්තරු කියන්නෙත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ටෙලි නිර්මාණ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මං හිතන්නෙ එච්චර ජනප්‍රසාදයක් මට හිමිවෙන්න මගේ නිහතමානීකමත් බලපාන්න ඇති. මම යන ඕනම තැනක ඕනකෙනෙක් එක්ක හිනාවෙලා කතාබහ කරන මනුස්සයෙක් මිසක් රංගන ශිල්පියෙක් කියන දේ ඔළුව උඩ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි.
කොහොමද ඒ කාලෙ මගතොටේදි ලැබුණු ප්‍රතිචාර?
මාව පාරෙ යද්දි හැමෝම අඳුරගත්තෙ මං ගාව තිබුණ කොළ පාට ටොයොටා සයිනොස් කාර් එකෙන්. අමා ටෙලිනාට්‍යයේ මම පැද්දෙත් ඒ කාර් එක. ලංකාවෙ ඒ කොළ පාට පේන්ට් එක මුලින්ම ගැහුවෙ මම. ඒ නිසා කොහේගියත් මාව නෝට් වුණා මේ යන්නෙ විශ්ව කොඩිකාර කියල. කට්ටිය මං යන යන තැන අඳුරගන්න නිසා මම කාර් එක ටින්ටඩ් කළා. මම දැනන් හිටියෙ නෑ ටින්ටඩ් කරන්න තහනම් කියල. මාව දවසක් තිඹිරිගස්යායෙදි පොලිස් නිලධාරියෙක් නැවැත්තුවා වීදුරු ටින්ටඩ් කරල නිසා. ඊටපස්සෙ මම ඔහුට කිව්වා මම ආටිස්ට්ස් කෙනෙක් නිසා මිනිස්සුන්ට හැමතිස්සෙම පාරෙ යද්දි පේන නිසයි ටින්ටඩ් කළේ කියල.
ඊටපස්සෙ ඔහු මගෙන් ඇහුවා පුතා මම ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නද කියල. එතුමා එදා මට කිව්වා විජේ කුමාරතුංගලා, ජෝතිපාලලා වාහනවල යද්දි වාහන ටින්ටඩ් කරන් ගියේ නෑ. එදා එයාලව මිනිස්සු අඳුගන්නවට එයාල හරි කැමැත්තෙන් හිටියා. නීත්‍යානුකූලව ඔයාට වාහනේ ටින්ටඩ් කරන්න බෑ. නමුත් මම ඔයාට ආදරේ කරන කෙනෙක් නිසා කියන්නෙ මේ ටින්ටඩ් එක ගලවන්න කිව්වා. මට එදා ඒ දීපු ඇඩ්වයිස් එක හදවතට ගොඩක් වැදුණා. මම ටින්ටඩ් එක එදාම අයින් කළා. දැන්නම් ඒ කාර් එක මං ගාව නෑ.
තවමත් විශ්ව කොඩිකාරට පෙම්වතාගේ චරිතය රඟපාන්න පුළුවන්ද?
මට හැමදාම පෙම්වතාගේ චරිතය කරන්න බෑ. ඒක මම පිළිගත යුතු සත්‍යයක්. ඉස්සරහට එන අයට ඒ චරිතවලට අපි අවස්ථාව දිය යුතුයි. හැබැයි පෙම්වතාගේ චරිතය ඇතුළේ විවිධ පෙම්වතුන් ඉන්නවනෙ. මං හිතනවා මට එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම හරි ආසාවෙන්, කැමැත්තෙන් බලන් ඉන්න දෙයක් තමයි විවිධාකාරයේ චරිත කරන්න. වර්ණ චිත්‍රපටියේ සහ සීසර්ලා නාට්‍යයේ තියෙන්නෙ එවැනි වෙනස් චරිත දෙකක්.
අපි ඊළඟට කතා කළේ විශ්වගේ ආදරණීය බිරිඳ එරංදි එක්ක…
එරංදි කොහොමද තනියම බබාලා දෙන්නා එක්ක ජීවිතේ ගෙවෙන්නෙ?
දැන් බබාලා දෙන්නම ඉස්කෝලෙ යන නිසා ටිකක් බිසී. උදේට ඉස්කෝලෙට දාන්නෙ, අරන් එන්නෙ මම. ඊටපස්සෙ එයාලට කන්න බොන්න හදල දෙන්නත් ඕනෙ. සමහර වෙලාවට හරි වෙහෙසයි. ඒත් ඉතින් වෙහෙසයි කියල බෑනෙ. විශ්ව ඉන්න දවස්වලටනම් බබාලව ගෙනියන ගේන වැඩ ටික එයා කරනවා.
දුවයි පුතයි දන්නවනෙ එයාගෙ තාත්තා නළුවෙක් කියලා. කොහොමද එයාලගෙ ප්‍රතිචාරය ඒ ගැන?
ගොඩක්ම දුවගෙ ඉස්කෝලෙ ළමයින් නිතරම දුවට කියනවලු මම ඊයෙ ඔයාගෙ තාත්තා ඉන්න ඩ්‍රාමා එකක් බැලුවා කියලා. නමුත් ඒ දෙන්නට විශ්ව නළුවෙක් කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද චූටි කාලෙ ඉඳන් තාත්තා රඟපානවා දැක්කනෙ.
දෙන්නා වැඩියෙන්ම එකතු කවුරු එක්කද?
මෙහෙමයි. ඒ දෙන්නට මං නැතුව නිදාගන්න බෑ. මම මොකක්හරි වැඩක් කර කර හිටියොත් මම එනකල්ම ඉන්නවා නිදාගන්නෙ නැතුව. ඒත් ඒ දෙන්නට තාත්තාව මඟහැරෙන කාලෙ වැඩියි. ඒ නිසා හැමතිස්සෙම විශ්වව අහනවා. කෝල් කර කර අහන්නෙ තාත්තා කවද්ද එන්නෙ කියල.
ගෙදරදි විශ්ව මොනවගේ චරිතයක්ද?
එයා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නෙ. ගෙදර ඉන්න දවසට උයනවා. ෂූටින් කරල කරලා එයා ගෙදර එන්නෙ ගෙදර නිදහසේ ඉන්න බලාගෙන.
මොනවද හොඳටම උයන්න පුළුවන්?
චිකන් කරි, මාළු මිරිස්, පොල් සම්බෝල තමයි රසටම හදන්නෙ.
ඔහුගෙ දැක්ක හොඳම ගතිගුණය මොකද්ද?
සාමාන්‍යයෙන් මේ ක්ෂේත්රයේ කටකතාවක් නැතුව රැඳිලා ඉන්න හරි අමාරුයිනෙ. වයිෆ් කෙනෙකුට සැක හිතෙන තැන් ඕනතරම් එනවා. හැබැයි විශ්වගේ තියෙන හොඳම ගතිගුණේ තමයි එයා මට හැමදේම කියනවා.
ආරංචියි විශ්ව නිළියො එක්ක රඟපාද්දි එරංදිට ඊරිසියයි කියල?
අපෝ ඕනතරම් එහෙම වෙලා තියෙනවා. ඒක නෑ කිව්වොත් මම සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ. තමන්ගෙ සැමියාට ආදරේ කරන බිරිඳකට ඒක පොදු දෙයක්. විශ්වව බැඳපු අලුත ඔය දේ මට ලොකුවටම තිබුණා. ඒ කාලෙ ඉතින් ආදරේ උපරිමයෙන් සහ හැමතිස්සෙම මෙයා මගේ කියන හැඟීමනෙ තියෙන්නේ. ඉතින් අපි දෙන්නා අතර නිතර ගැටුම් ඇති වෙනවා. මම මූණ එල්ලගත්ත ගමන්. නාට්ටියෙදි විශ්ව නිළියෙක්ගෙ අතින් ඇල්ලුවත් එයා ගෙදර ආවම මම රණ්ඩු කළා.
හැබැයි කාලෙත් එක්ක මම තේරුම්ගත්තා මේක රංගනයක්නෙ කියල. විශ්වත් මට නිතරම කිව්වා මම කරන්නෙ රඟපෑමක් ඔයා හිතන්න එපා කැමරා එක ඕෆ් වුණාට පස්සෙත් මම ඒ නිළියගේ අත අල්ලන් ඉන්නවා කියල. ඒකට මගේ මනස හදාගන්න කිව්වා. පස්සෙ මමම හිතුවා දිගින් දිගට මම මෙහෙම රණ්ඩු කරන්න ගියොත් අපිට පවුල් ජීවිතයක් නැති වෙනවා. ඒ නිසා මම තේරුම්ගන්න ඕනෙ කියල. අවුරුදු දහයකට කලින් හිටපු දෙන්නා නෙවෙයි අද ඉන්නෙ.
කොහොමද ව්‍යාපාර වැඩකටයුතු?
මගේ ඉවෙන්ට් ප්ලෑනින් බිස්නස් එක පටන් අරගෙන දැන් අවුරුදු හයක් විතර වෙනවා. ඊට අමතරව මේ වෙද්දි කේක් ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ගෙදර ඉඳන්ම කරන නිසා බබාලගෙ වැඩ අතපසු වෙන්නෙත් නෑ.
මේ පාර සංවත්සරයට මොනවද විශේෂයෙන් කළේ?
මට ලොකු ආසාවක් තිබුණා මේ පාර ඇනිවසරි එකට ෆොටෝ ෂූට් එකක් කරන්න. මොකද වෙඩින් එකේදිවත් අපි දෙන්නගෙ කාර්යබහුලකම එක්ක ප්‍රී ෂූට් එකක් කරන්න බැරි වුණා. ඒ නිසා ෆොටෝ ෂූට් එකක් කළා. ඊට අමතරව හෙට ළමා නිවාසයකට කෑම වේලක් දෙනවා. සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම අපි ඇනිවසරි එක සෙලිබ්රේට් කරන්න වැකේෂන් එකක් යනවා. මේ පාර කොහෙද යන්නෙ කියල තාම ප්ලෑන් කරල නෑ.
එරංදි කෞශල්‍යා ✍️
Very well presented. Every quote was awesome and thanks for sharing the content. Keep sharing and keep motivating others.
Hi there to all, for the reason that I am genuinely keen of reading this website’s post to be updated on a regular basis. It carries pleasant stuff.
Great information shared.. really enjoyed reading this post thank you author for sharing this post .. appreciated