‘වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නෙ වැහි විතරද
රෑ අහසේ තරු තිබුණට
තරු තියෙන්නෙ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් වුණාට
නුඹට ඉන්නෙ මං විතරද’
පහුගිය දවසක නවලිය අපි සුවිශේෂී චරිතයක් කැමරාවට හසුකරගන්න කොළඹ 5 ප්‍රදේශයේ සොඳුරු නිවහනකට ගියා. එදා දවස ගෙවෙනකල්ම අපේ සවන් රැව් පිළිරැව් දුන්නෙ සුභාවත් ගී හඬකින්. විටෙක අපිට ඇසුණා ‘කවිය ඔබ… ‘වැහි දිය මහ බිම තෙමුවට’ ‘පෙම්බර කුමරාන’ වැනි ගීත කොටස්.
මේ අනුව ඔබ දැනටමත් දන්නවා ඇය කවුද කියා. යුගයක් ගීයෙන් නැලවූ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ඇයගේ පුංචි පැටවු දෙදෙනාත් එක්ක නවලියෙන් පළමු වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිය නිසයි අපිට මේක සුවිශේෂීම වැඩක් වුණේ. ඉතින් අලුත් අවුරුද්දෙ අපේ මුල්ම කවරය මේ විශිෂ්ඨ කලාකාරිණිය සහ ඇගේ ආදරණීය පුතුන් දෙදෙනාගේ රුවෙන් සැරසෙද්දි අපේ පිළිසඳරත් ඇයත් සමඟ මේ විදිහට පටන්ගත්තා.
දැන් ඔබේ ජීවිතය තිබුණටත් වඩා හරි සුන්දරයි නේද?
අනේ ඔව්. මුලින්ම කියන්න ඕනෙ මම පළවෙනි වතාවට තමයි මගේ පුංචි පැටව් දෙන්නා එක්ක මෙහෙම ෆොටෝ ෂූට් එකකට සම්බන්ධ වෙන්නෙ. විශේෂයෙන්ම මට මේකට නවලියෙන් ඔයා ආරාධනා කළාම ඉතාම කැමැත්තෙන් තමයි මම ඒ ආරාධනය බාරගත්තෙ. අවුරුදු කිහිපයක්ම මම මගේ දරුවො දෙන්නා වෙනුවෙන් කැප කරලා ගෙදර ඇතුළටම වෙලා හිටියෙ. ඉතින් මම ඇත්තටම සන්තෝස වුණා අම්මා කෙනෙක් විදිහට මුල්ම කවරය නවලිය එක්ක කරන්න.
බොහොම ස්තූතියි ඔබේ ඒ වචනවලට. කොහොමද 2024 ට ඔබේ සූදානම ?
අලුත් ගීත රාශියක් මම පටිගත කරලා තියෙනවා. ඒ ගීත ජනගත කරන්නෙ කොහොමද කියල කල්පනා කරමින් තමයි මේ දවස්වල ඉන්නෙ. ඒකට හේතුව අද අපිට කොච්චර මාධ්‍ය නාලිකා තිබුණත් යහපත් නිර්මාණයක් එළියට දාද්දි ඒ කිසිම මාධ්‍යකින් හොඳ සහයෝගයක් නොලැබෙන එක. ඒ වගේම දීපශිඛා සෞන්දර්ය ශාලිකාවේ වැඩකටයුතු නැවතත් ආරම්භ කළා. මම එතනින් බලාපොරොත්තු වෙන්නෙ සමාජයට කලාකරුවොම බිහිකරන්න නෙවෙයි, හොඳ රසවතුන් ටිකකුත් බිහිකරන්නයි. හොඳ රසවතෙක් ඇති කළොත් ඒ කෙනා මොන වෘත්තිකයෙක් වුණත් සංවේදී හදවතක් එක්ක සමාජයට සේවයක් කරයි.
අපි කතා කරමුකො පුංචි පැටව් දෙන්නා ගැන…
මගේ ලොකු පුතා ආශි දම්සිත්. පොඩ්ඩා අග්‍ර අර්ජිත්. මේ ජනවාරි මාසෙට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. පුතාලට නම් දැම්මේ විශිෂ්ඨ ගී පද රචකයන් දෙදෙනෙක්. ආශි දම්සිත් නම දැම්මෙ කුලරත්න ආරියවංශ මහත්මයා. අග්‍ර අර්ජිත් නම දැම්මෙ මහින්ද චන්ද්‍රසේකර මහත්මයා. ඒ දෙපළ මේ නම් දෙක දුන්නෙ ලොකු තේරුමක් ඇතිව. ආශි දම්සිත් කියන්නෙ ආශිර්වාදය ලත් දැහැමි දරුවා. අග්‍ර අර්ජිත් කියන්නෙ උසස් ජයග්‍රහණ ලබන්නාට. මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ ආයුෂ ටිකක් වැඩි කරලා දෙන්න කියලා මට මගේ දරුවො දෙන්නා ලොකු වෙලා ලෝකෙ දිනනවා දකිනකල්.
ලැබෙන්න ඉන්නෙ නිවුන් දරුවන් කියල දැනගත්තම මොනවගේ හැඟීමක් දැනුණේ ?
අනේ ඒක මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ තරම් සන්තෝසයක් මම ජීවිතේ විඳලත් නෑ. මගේ ජීවිතේට වසන්තය පැමිණියෙ ටිකක් පමා වෙලා. එතකල් මම හිටියේ අම්මා එක්ක. අම්මා මියගියේ අවුරුදු 89 ක් ආයු වළඳලා. අම්මට ලොකු ආසාවක් තිබුණා මමත් අම්මා කෙනෙක් වෙනව දකින්න. මම හිතන්නෙ අම්මගේ ඒ ආසාවත් මට මේ වගේ හුරතල්, ලස්සන දරුවො දෙන්නෙක් ලැබෙන්න ආශිර්වාදයක් වුණා.
පමාවෙලා හරි ආපු ඒ වසන්තය දිහා ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නෙ?
ඒක තමයි මම කලාව වෙනුවෙන් කළ කැපකිරීම. කලාව වෙනුවෙන් පුළුවන් තරම් දේවල් කරලා තමයි මම මගේ පෞද්ගලික ජීවිතේ ගොඩනගාගත්තේ. ඒ වගේම මම වචනෙකින්වත් කාගෙවත් හිතක් රිද්දලා, පවුල් කඩපු කෙනෙක් නෙවෙයි. මගේ විවාහයේදී මගේ ගුරුවරිය වුණ නන්දා මාලනිය තරම් සතුටු වුණ කෙනෙක් තවත් නෑ. මම විවාහයකට එන්නෙ මේ සමාජේ දේවල් සෑහෙන්න දැක්කට පස්සෙ. ආපස්සට හැරිලා බලද්දි මට සතුටු වෙන්න තියෙන කාරණාවලින් ලොකුම කාරණා තමයි ගුරුවරියක් වීම, මගේ අම්මට අම්මෙක් වීම, විවාහය සහ දරුවෝ දෙන්නා.
මම ඇහුවොත් ඔබ වැඩියෙන්ම කාර්යබහුල ගුරුවරියක් විදිහටද මවක් විදිහටද කියලා ?
මගේ දරුවන්ගෙ අවුරුදු තුනම මම හිටියෙ දරුවො එක්ක. මම එදා ඉඳන්ම පවුලට කැප වුණ කෙනෙක්. අම්මගේ අවසන් කාලෙ ඇය අපහසුවෙන් ගත කරද්දි මම ඇයව දාලා කොහෙවත් ගියේ නෑ. ඇගේ අවසන් කාලෙ ඇය එක්කම ඉඳලා එයාට සතුටක් දීලා ඇයව ඒ දුකින් මුදවලා යැව්වා කියන හැඟීම මට තියෙනවා. ගෙදරට මූලික තැන නොදී මම සින්දු කියන්න ගියානම් මගෙන් ඇති වැඩක් නෑ. ඉතින් දරුවන්ගෙ පැත්තෙන් ගත්තමත් මම ඒ විදිහම තමයි. අනිත් පැත්තෙන් මට තියෙනවා සමාජීය වගකීමක් අනිත් දරුවො ගැනත්. ඒ නිසා ඔය රාජකාරි දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා.
මේ පොඩ්ඩො දෙන්නා එක්ක ගෙවන කාලෙ කොහොමද?
හරිම සුන්දරයි. හරිම ආදරණීයයි. මගේ ජීවිතේම දැන් පිරිලා තියෙන්නේ ඒ දෙන්නගෙ සුන්දර, හුරතල් කතාවලින්. අම්මා කෙනෙක් වෙනකොට දුවද පුතාද කියලා වෙනසක් නෑ. මගේ ගුරු ජීවිතය තුළ දරුවන් අත ගාලා, ආදරය කරලා, එයාලා මගේම ළමයි කියන හැඟීමෙන් කටයුතු කරමින් ඒ ගෙවපු ජීවිතේ ආශිර්වාදයක් වෙලා වෙන්න ඇති ඒ දෙන්නා මේ මං ගාවට ඇවිත් තියෙන්නේ. මම ඒ දෙන්නට උපරිම නිදහස දීලා තියෙන්නේ. ඒ දෙන්නා නිවුන්නු වුණත් දෙන්නා දෙන්නෙක්. දෙන්නගෙන් වැඩියෙන්ම දඟයනම් ආශියා. වැඩියෙන්ම ආදරණීයත් ආශි. මල්ලි ටිකක් ස්වාධීන කෙනෙක්.
සැමියගෙන් පවුලට සහ ඔබේ වැඩවලට ලැබෙන සහයෝගය?
චාමික තමයි මගේ ජීවිතේ ලැබීම. මගේ වාසනාවට මට හොඳ ස්වාමියෙක් ලැබුණා. ඔහු මගේ කලාවට හරි ආදරෙයි. නමුත් ඔහු නම් කලාවට සම්බන්ධ නෑ. බැංකු ක්ෂේත්රයේ රැකියාවක් කරන්නෙ. මේ වෙලාවෙ ඉන්නෙත් රටෙන් පිට. ඒකයි මේ ෆොටෝ ෂූට් එකටත් ඔහු නැත්තෙ. නමුත් කෙටි කාලෙකට හෝ ඔහු පවුලෙන් ඈත් වෙන එක ගැන මට දුකයි. මොකද හැමතිස්සෙම මම කැමති පවුලක් හැටියට එකට ඉන්න. විශේෂයෙන්ම දරුවන්ට එයාව ඕනෙ.
ගුරු ජීවිතය ගැන කතා කළොත්..
මම මුලින්ම ගුරුවරියක් විදිහට සේවය කළේ ගොරකාන කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ 1989. වැහෙන්න ගිය පාසලක්. කිසිම සංගීත භාණ්ඩයක් පාසලේ තිබුණෙ නෑ. පස්සෙ මමත් කරුණාරත්න දිවුල්ගනේ සහෝදරයත් එකතු වෙලා ශ්‍රවණ වින්දන නමින් ප්‍රසංගයක් ආරම්භ කරලා සින්දු කියලා තමයි පාසලට අවශ්‍ය සියලුම සංගීත භාණ්ඩ අරන් දුන්නෙ. කොටින්ම බෑන්ඩ් එකට ඇඳුම් මහන්න රෙදි ගන්න ගියෙත් මම. අවුරුදු 6ක් මම ඒ පාසලේ සේවය කළාට පස්සෙ විදුහල්පතිනිය කිව්වා ඔයා මේ ඉස්කෝලෙ වෙනුවෙන් කරපු දේවල් ඇති දීපිකා, කොළඹ ඉස්කෝලෙකට මාරුවක් ගන්න කියලා.
එතනින් පස්සෙ මගේම පාසල වුණ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අවුරුදු 10ක් සේවය කළා. පස්සෙ විසාකා විද්‍යාලයට ගියා. අදටත් විසාකා විද්‍යාලයේ පැවැත්වෙන ‘මියැසි විසාකා’ ප්‍රසංගයේ අදහස මගේ. මම සේවය කරපු කාලෙ විසාකා විද්‍යාලයේ උසස්පෙළට සංගීත විෂය තිබුණෙ නෑ. එක ළමයෙක්ගෙන් මම සංගීත විෂය පටන්ගත්තෙ. මම රූපා ගුණවික්රම විදුහල්පතිනියට දරුවන්ගේ රසවින්දනය වෙනුවෙන් ප්‍රසංගයක් කරමු කිව්වම ඇය මියැසි විසාකා ප්‍රසංගය කරන්න අවසර දුන්නා. ඒ නම දුන්නෙ අරිසෙන් අහුබුදු විද්වතානන්.
පළමු මියැසි විසාකා ප්‍රසංගයේ ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලනීයන්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. නොමිලේම එදා ප්‍රසංගයට සහභාගි වුණ ජැක්සන් ඇන්තනී වගේ කලාකරුවො මම ආදරෙන් මතක් කරනවා. එදා පටන්ගත්ත මියැසි විසාකා ප්‍රසංගය දිහා මම අද ඈත ඉඳන් බලාගෙන සතුටු වෙනවා. නමුත් තවමත් ගොරකාන කණිෂ්ඨෙන් මට විවිධ ආරාධනා ලැබුණත් මියැසි විසාකා ප්‍රසංගයේ 10 වැනි සංවත්සරයටවත් මට ආරාධනාවක් ලැබුණෙ නෑ.
රියැලිටි තරගවල විනිසුරු මඩුල්ලකවත් දකින්න නැත්තෙ ඇයි?
විවිධ අවස්ථාවල මාව විනිසුරු මඩුළුවලට තෝරගෙන තියෙනවා. නමුත් ඒවට සම්බන්ධ නොවෙන්න කාරණා වුණේ මට හිතෙනවා සමහර දේවල් අපිට කරන්න බලයක් ලැබෙන්නෙ නෑ. විනිශ්චයක් දෙද්දි අදෘශමාන හස්තයන් බලපානවා. එතකොට අපිට අවශ්‍ය දේ කරන්න බාධාවක් එල්ල වෙනවා. ඇතැම් රියැලිටි තරගවල තෝරාගැනීම් ඉතාම අසාර්ථකයි. යටි අරමුණුත් තියෙනවනෙ. එහෙම වුණාම සැබෑ දක්ෂයො යට යනවා. ඒ නිසා මම හැමතිස්සෙම කල්පනා කරන්නෙ මගේ හඬින් සහ මට ලැබිලා තියෙන මේ ජනප්‍රියත්වයෙන් මට මේ රටට, දරුවන්ට දෙන්න පුළුවන් දේවල් මොනවද කියලා විතරයි. මගේ එකම සතුට වෙන්නෙ අවසානයේ එක දරුවෙක්ට හරි උගන්නලා මැරෙන එක.
එරංදි කෞශල්‍යා ✍️