බබාට සංජානනීය රෝග ඇතිවෙන්න පුළුවන්
දරුවෙක් මව්කුස පිළිසිඳගත් දිනයේ පටන් මව්පියන් අපේක්ෂා කරන්නේ නීරෝගී දරු උපතක්. නමුත් එම බලාපොරොත්තුව වෙනස් වී සංජානනීය රෝග එහෙම නැත්නම් උපත ලබන විට පවතින ආබාධ සහිත දරුවකු බිහි වූ විට එම සිහිනය බිඳ වැටෙනවා.
සංජානනීය රෝග යම් යම් අවයවවලට සීමා වෙනවාද?
නැහැ. දරුවන් වෙනුවෙන් ඇතිවන සංජානනීය රෝග අපට හිස සිට දෙපතුල දක්වාම දකින්න පුළුවන්. සමහර උපත් ආබාධ අපට මතුපිටින් දකින්න පුළුවන්. නමුත් සමහර උපත් ආබාධ අපට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. දරුවාගේ ක්‍රියාකාරීත්වය සමග මෙවැනි ආබාධ හඳුනාගැනීමට පුළුවන්. ඒ වගේම ඇතැම් උපත් ආබාධ දරුවා බිහිවීමෙන් පසුව දරුවාගේ ක්‍රියාකාරීත්වය සමග දකින්න ලැබෙනවා.
උපත් ආබාධ ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්..
අපි දරුවකු වෙතින් දකින්න ලැබෙන ව්‍යුහාත්මක වෙනස්කම් ගනිමු. ඒවා විවිධාකාරයි. දරුවාගේ අතපය ඇඟිලිවල වෙනස්කම් තිබෙනවා. සමහර විට අතපයේ ඇඟිලි අඩුවන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිවන්නත් පුළුවන්. මේවා සුළු ආබාධ නමුත් මීට වඩා දරුණු ලෙස ඇතිවන උපත් ආබාධ තිබෙනවා.
දරුවාගේ තල්ල, තොල් ආශ්‍රිතව ඇතිවන ආබාධ
ඇසේ සුද ඇතිවීම
සුෂුම්නාව පිටතට නිරාවරණය වීම
මොළයේ වතුර පිරීම
වැනි ව්‍යුහාත්මක ආබාධ කීපයක්ද වනවා. අපි දකින මීට අමතරව විවිධ අංශවලට බලපාන රෝග තත්ත්වයන් රැසක් තියෙනවා. ඒවා අතර
දරුවාගේ හෘදයේ ක්‍රියාකාරීත්වය ආශ්රිත ආබාධ. සමහර දරුවන්ගේ හදවතේ සිදුරු ඇතිවනවා.එවැනි හෘද රෝග සංකුලතාවන් ඇති දරුවන් නිල්පැහැ ගැනීම, කිරි උරා බීමේ අපහසුතාවන් වැනි රෝග ලක්ෂණත් පෙන්වනවා.
පෙනහලුවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු නිසා හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවීම
සමහර විට එක් වකුගඩුවක් පිහිටා තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් වකුගඩු ක්රියාකාරීත්වයේ ගැටලු තිබිය හැකියි.
ස්නායු ආබාධ
ආහාර මාර්ගයේ පිහිටීමේ දුර්වලතාවන්
ගුද මාර්ගයේ සහ මුත්‍රා මාර්ගයේ අදාළ පරිදි මළපහ සහ මුත්‍රා පිටවීමට අවශ්‍ය සිදුරු නොමැති වීම.
සංජානනීය රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු
ජානමය හේතු – සමහර අවස්ථාවලදී ජානමය සම්බන්ධතාවන් නිසා විවිධ ගැටලු සහිත දරු උපත් සිදුවන්න පුළුවන්. එක් උදාහරණයක් කිව්වොත් අතපය ඇඟිලි අඩු වැඩි වීම් ගැන සඳහන් කළොත් ඔබටත් මේ ගැන අත්දැකිම් ඇති. අපේ සීයාගෙත් අතේ ඇඟිලි වැඩියි. අපේ පුතාට අතේ ඇඟිලි හයක්.
ගැබ දරන කාලයේදී ඇතිවන විවිධ රෝගී තත්ත්වයන්
මෙහිදී දරුවෙක් කුස තුළ සිටින මුල් මාසවලදී සෛල බෙදීම සිදුවනවා. මේ කාලයේදී මව යම් රෝග තත්ත්වයකට ගොදුරු වුණොත් දරුවාගේ සංජානනීය ආබාධ ඇතිවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගැබ දරන කාලයේ මව රුබෙල්ලා, පැපොල වැනි වෛරස ආසාදනයන්ට ගොදුරු වුණොත් සංජානනීය ආබාධ සහිත දරුවන් උපදින්න පුළුවන්.
ගැබිනි මවක් විකිරණවලට ( X Ray ) නිරාවරණය වීම.
ගැබ් දරන කාලයට පෙරාතුව පටන් මවගේ පවතින විවිධ රෝග සහ ඒ සඳහා ලබාගන්නා ඖෂධීය ප්‍රතිකාර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට දැනුම් දෙන්න. එවිට වෛද්‍යවරයා විසින් ඔබේ රෝග තත්ත්වය සමනය වන පරිදි වගේම කලලයට හානියක් සිදුනොවන සේ ඖෂධ නිර්දේශ කිරීමට පියවර ගනු ඇත.
කුස සිටින දරුවා හදිසියේ හෝ උපත් ආබාධ සහිත දරුවෙක් බව දැනගන්නේ කොහොමද?
ගර්භණීත්වයෙන් සති විස්සක් සම්පූර්ණ වුණ පසුව සිදුකරන ස්කෑන් පරීක්ෂණයකින් සමහර සංජානනීය ආබාධ හඳුනාගැනීමට හැකියාවක් තිබෙනවා. සමහර අවස්ථාවලදී කලලයේ පිහිටීම අනුව මේ බැව් නිවරැදිව තහවුරු කරගැනීමට නොහැකි වන අවස්ථාවන්ද තිබෙනවා. සමහර රෝගී තත්ත්වයන් හඳුනාගත හැක්කේ උපතින් පසුවයි. රුධිර පරීක්ෂණ මගින්ද සමහර රෝග තත්ත්වයන් හඳුනාගත හැකියි.
කුස සිටින දරුවා සංජානනීය ආබාධ සහිත බැව් දැනගත් විට කලල ගබ්සාවක් සිදුකළ හැකිද?
අපේ රටේ එවැනි ගබ්සාවකට නීතිමය අවසරයක් නැහැ. ලංකාවේ දැනට පවත්නා නීතිය අනුව මවගේ ජීවිතයට අනතුරුදායක තත්ත්වයකදී හැර දරු කලලයක් ගබ්සා කිරීමට නිතිමය අවසරයක් නැහැ.
සංජානනීය ආබාධ සහිත දරු උපත් අවදානමකින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
කාන්තාවක් විදිහට හැම කෙනක්ම මව් පදවිය අපේක්ෂා කරනවා. ඒ නිසා සංජානනීය රෝග සහිත දරුවකු බිහිවීමට තිබෙන අවදාමෙන් නිදහස් වීමට කලින් සූදානම් විය යුතුයි.
විශේෂයෙන් නෑනා, මස්සිනා විවාහය නිසා විවිධ ආබාධ සහිත දරුවන් උපත ලබන්න පුළුවන්. ඒ නිසා විවාහයකදී තමාගේ සහකරුවා තෝරාගැනීම ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.
මුලින් සඳහන් කළ අන්දමට ගර්භණී කාලයේදී ඇතිවන සමහර වෛරස රෝග මවට ඇතිවුණොත් දරුවා සංජානනීය ආබාධ සහිතව උපත ලබන්න පුළුවන්. ඒ නිසා රුබෙල්ලා එන්නත් හැම දියණියක් විසින්ම ලබාගැනීම වැදගත්. පෝලික් අම්ලයේ ඇති ඌනතාවන් නිසා ස්නායු ආබාධ ඇතිවනවා.
ඒ නිසා කාන්තාවක් විවාහයෙන් පසුව දරුවෙක් අපේක්ෂා කරනවා නම් ගැබ් ගැනීමට පෙර සිටම පෝලික් අම්ලය ලබාගැනීම වැදගත්. අද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විවාහ වුණ කාන්තාවන් ලියාපදිංචි කර ගැනීම මගින් දරුවෙක් ගැබ් ගැනීමට පෙරාතුව පටන්ම ඔවුන්ට පෝලික් අම්ලය ලබා දෙනවා.
විකිරණවලට නිරාවරණය වීම හැකිතාක් සීමාකරන්න. ගර්භණී කාලයේදී ඇතිවන මෙම විටමින් ඌනතාවන් කලලයේ වර්ධනයට වගේම සංජානනීය ආබාධ ඇතිවීමට බලපානවා.
මවගේ ශාරීරික පෝෂණය සහ මානසික සුවතාව
ගර්භණී මවක් වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් ලබාගැනීම නොකළ යුතුයි
ඒ වගේම වෛද්‍යවරයා විසින් ඔබට ලබා ගැනීමට නිර්දේශ කරන ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ වාර්තාවන් සහ වෙනත් පරීක්ෂණ අනිවාර්යෙන් ලබාගන්න.
ඔබේ කුස තුළ සිටින දරුවාගේ සංජානනීය ආබාධ නිසා දරු ප්‍රසූතිය සඳහා මවට දැඩි සත්කාර සහ නොමේරූ ළදරු ඒකක ඇති රෝහලක් වෙත යෑමට උපදෙස් ලබාදෙනවා. වෛද්‍යවරයා විසින් ලබාදෙන මෙම උපදෙස් නොසලකා කටයුතු කරන්න එපා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️