ආහාර මාර්ගය සහ පහළ ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් හඳුනාගැනීම සඳහා බොහෝ රෝගීන් එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණය සඳහා යොමුකරනවා. ආහාර මාර්ගයේ එනම් මුඛයේ සිට ග්‍රහණිය දක්වා වූ ප්‍රදේශයන්හි ඇති සංකුලතාවන් සහ පහළ කොටසේ එනම් ගුද මාර්ගයේ සිට කුඩා බඩවැලේ කෙලවර දක්වා ඇති සංකුලතාවන් හඳුනාගැනීම මෙම එන්ඩොස්කොපි පරීක්ෂණයේදී සිදුවනවා. එන්ඩොස්කෝපි යනුවෙන් හඳුන්වන්නේ ගැස්ට්රොස්කෝප් (Gastroscope) සහ කොලනොස්කොප් ( Colonoscope) යනුවෙන් හැඳින්වෙන නම්‍යශීලී ( Flexible) උපකරණයක්. එය දිගින් මීටරයක් පමණ වෙනවා. එය කෙළවර සවිකර ඇති කුඩා කැමරාවේ ආධාරයෙන් මෙම අභ්‍යන්තර කොටස් පරීක්ෂා කිරීම සිදුවනවා. මෙම උපකරණය නිර්වින්දනයකින් තොරව රෝගියාගේ සිරුර අභ්‍යන්තරයට ඇතුළු කරනවා.
එන්ඩොස්කොපි වර්ග දෙකක් තිබෙනවා
ආහාර ජීරණ මාර්ගයේ ඉහළ කොටස එනම් මුඛය, උගුර, ගලනාලය, ආමාශය සහ ග්‍රහණිය ( Gastracope)
මහ බඩවැල පරීක්ෂා කරන එන්ඩොස්කොපි ( Colonoscope)
එන්ඩොස්කොපි පරීක්ෂණ අවශ්‍ය අවස්ථා මොනවාද?
ඔබේ ඉහළ සහ පහළ ආහාර මාර්ගය ආශ්රිත රෝග සංකුලතා තත්ත්වයන් තිබෙනවා නම් මෙම එන්ඩොස්කොපි පරීක්ෂණය සිදුකිරීමට වෙනවා.
දිගුකාලීනව පවතින උදරයේ දැවිල්ල
උගුරට එන ස්වභාවය
ආමාශ තුවාල
දිගුකාලීන ගැස්ට්‍රයිටිස් තත්ත්වය
මලපහ සමග රුධිරය පිටවීම
රක්ත හීනතාව, ආහාර ගිලීමේ අපහසුතාව
ආහාර හිරවෙන ගතිය
දිගුකාලීන මලබද්ධය
ගුද මාර්ගයේ ගෙඩි / අර්ශස් පිටතට නෙරා ඒම
කිසිම රෝග ලක්ෂණයක් නැතුව පූර්ව පිළිකා තත්ත්වයන් හඳුනාගැනීමට සිදු කරන එන්ඩොස්කොපි Screening එන්ඩොස්කොපි පරීක්ෂණය
පරීක්ෂණය සිදුකරන ආකාරය
ඉහළ සහ පහළ ආහාර මාර්ගය ආශ්රිත එන්ඩොස්කොපි ( Gastracopy) පරීක්ෂණයක් සිදුකරනවා නම් රෝගියා පැය හයක් නිරාහාරව සිටීම වැදගත්.
ආමාශය
ආහාර ගිලින මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වයන් හඳුනාගැනීම, ප්‍රතිකාර ලබාදීමට සහ සැත්කම් සඳහා ඉහත සඳහන් කළ Gastroscope බටය මුඛයෙන් ඇතුළු කරනවා. ඊට පෙරාතුව රෝගියාගේ උගුර ප්‍රදේශය හිරි වැටීම සඳහා ඖෂධ ලබාදෙනවා.
මහ බඩවැල
මහ බඩවැල සහ ඒ ආශ්රිත රෝගී තත්ත්වයන් හඳුනාගැනීම, ප්‍රතිකාර ලබාදීම සඳහා ඉහත සඳහන් කළ Colonoscope බටය අධෝ මාර්ගය ඔස්සේ ඇතුළු කරනවා.
නිරාහාරව සිටිය යුත්තේ ඇයි?
ඉහළ සහ පහළ ආහාර මාර්ගය ආශ්රිත එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදුකරන විට නිරාහාරව සිටීම වැදගත්. විශේෂයෙන් මෙම පරීක්ෂණය ආහාර මාර්ගය ආශ්‍රිතව ( ගලනාලය, ආමාශය, ග්‍රහණිය ) සිදුවන නිසා මේ මාර්ගයේ ආහාර තිබුණොත් අවශ්‍ය වාර්තාව පැහැදිලි නැහැ. ඒ වගේම පරීක්ෂණය අතරවාරයේදී ඔක්කාරය ඇති වුණොත් ආහාර මගින් පෙනහල්ලට බලපෑමක් ඇතිකිරීමට පුළුවන්.
ඉහළ ආහාර මාර්ගයේ එන්ඩොස්කොපි පරීක්ෂණය
මේ අවස්ථාවේදී රෝගියාගේ රුධිර පීඩනය යන්ත්‍රයකට සවි කරනවා. ඊට අමතරව උගුර ප්‍රදේශය හිරිවැටෙන ඖෂධ Spray කිරීමෙන් පසුව මුඛය ඔස්සේ මෙම උපකරණය ඇතුළු කරනවා. ඒ නිසා වේදනාවක් නැහැ. එන්ඩොස්කොපි උපකරණය ඇතුළු කරන විට බෙල්ල ප්‍රදේශයේ සිරවීමක් ( Choking like feeling ) වැනි සංවේදනයක් දැනෙනවා.
එයින් රෝගියාට එතරම් අපහසුවක් ඇතිවන්නේ නැහැ. ඒ ඇසුරෙන් ආමාශය, ගලනාලය වැනි ඉන්ද්රියයන් පරීක්ෂා කරන අතර සැක සහිත තත්ත්වයක් වෙතොත් ඒ පටක කොටසක් ( Biopsy) වැඩිදුර පරීක්ෂණ සඳහා ලබා ගන්නවා.
පහළ ආහාර මාර්ගයේ එන්ඩොස්කොපි පරීක්ෂණය සිදුකරන ආකාරය
පහළ ආහාර මාර්ගය ආශ්රිත එන්ඩොස්කෝපි පරීක්ෂණයකදී ( Colonoscopy ) බඩ සුද්ධ වීම සඳහා වූ ඖෂධ ඊට පෙර දිනයේ ලබා දෙනවා. එය බෙහෙත් පැකට් හතරකින් සමන්විතයි. එක් පැකැට්ටුවක් ජලය ලීටරයක බැගින් දියකර පැයක් ඇතුළත පානය කළ යුතුයි. මෙසේ පැකට් හතරක බෙහෙත් සහ ඒ අතරතුර ජලය වෙනම පානය කළ යුතුයි. පසුදින උදෑසන තව දුරටත් බඩ සුද්ධ වීමට වස්තියක් ගුද මාර්ගයෙන් ඇතුළු කරනවා.
මෙසේ හොඳින් බඩ සුද්ද වීම පහළ ආහාර මාර්ගයෙන් සිදුකරන එන්ඩොස්කොපි පරීක්ෂණයට ඉතා වැදගත්. හොඳින් බඩ සුද්ධ නොවී ඇත්නම් ආහාර මාර්ගයේ ඇති රෝගයක් පැහැදිලිව දැක ගැනීමට නොහැකි වෙනවා. එවැනි අවස්ථාවක නැවත වතාවක් මෙම පරීක්ෂණය සිදුකිරීමට වෙනවා. මෙම පරීක්ෂණයට පෙරාතුව පැය හයක් නිරාහාරව සිටිය යුතුයි. මේ නිසා රෝගියා තමාට ලබාදුන් වෙලාවට පෙරාතුව නියමිත ස්ථානයට පැමිණීම වැදගත්.
මේ පරීක්ෂණයේදී නිදිමත ගතියක් ඇතිවන ඖෂධයක් ලබාදෙන හෙයින් පරීක්ෂණය අතරතුර බඩ තදවීමක් හෝ තෙරපෙන ගතියක් දැනීමට හැකියාවක් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. පරීක්ෂණයේදී මලබද්ධය ඇති කරන හෝ බඩවැලෙන් රුධිරය වහනය සිදුකරන සැක සහිත ප්‍රදේශයක් හඳුනා ගතහොත් එතැනින් පටක ( Biopsy) කොටසක් ලබා ගැනීම සිදු වෙනවා.
එන්ඩොස්කොපි පරීක්ෂණයකදී ඇතිවන සංකුලතාවන්
මෙය ඉතාම ආරක්ෂිත පරීක්ෂණ ක්‍රමයක්. නිර්වින්දනය කිරීම අවශ්‍ය නැහැ.රෝගියා රෝහල්ගත විය යුතු නැහැ. නමුත් ඉතාම කලාතුරකින් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් ගැන සඳහන් කරනවා නම් මෙසේයි.
බඩවැල තුවාල වීම
ඔබ දියවැඩියා රෝගියෙක් නම් නිරාහාරව සිටීම නිසා වෙනත් අතුරු සංකුලතාවන් ඇතිවිය හැකි නිසා අදාළ වෛද්‍යවරයාට ඒ බව කියන්න. ඒ වගේම සමහර විට ඔබ මේ වන විටත් රුධිරය කැටිගැසීම වළක්වන ඖෂධ භාවිත කරන රෝගියෙකු නම් ඒ බවත් කල්තබාම වෛද්‍යවරයාට දැනුම් දීම වැදගත්. එසේ නොදන්වා සිටියොත් හදිසියේ හෝ මෙම එන්ඩොස්කොපි පරීක්ෂණය වෙනුවෙන් වූ උපකරණය ගැටීමෙන් තුවාලයක් ඇති වුණොත් රුධිර වහනය නවතා ගැනීමේ ගැටලු ඇති වන්න පුළුවන්.
නමුත් ඔබ දැනට භාවිත කරන ඖෂධ ගැන වෛද්‍යවරයාට දැනුම් දුන්නොත් අදාළ පරීක්ෂණයේදී කිසිදු අතුරු සංකුලතාවක් ඇති නොවන සේ දැනට භාවිත කරන ඖෂධ පිළිබඳව වූ කළමනාකරණය වෙනුවෙන් ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඒ නිසා යම් දවසක ඔබට එන්ඩොස්කොපි පරීක්ෂණය සඳහා පෙනී සිටින්නට උපදෙස් ලැබුණොත් ඔබේ රෝග ඉතිහාසය සහ භාවිත කරන ඖෂධ ගැනත් වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️